2019 මාර්තු 23 වන සෙනසුරාදා

කොණ්ඩේ අණ්ඩරේ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 412

ඉහේ සිට දෙපතුල දක්වා මිනිසා කරන මෝස්තර මාවන ශිෂ්ඨාචාරය පුරා කලින් කලට වෙනස් වූයේය. මානව මෝස්තර තුළ හිසට කරන මෝස්තර කොණ්ඩා මෝස්තර නැතහොත් හිස්වැසුම් මෝස්තරය. දෙපතුල්වලට අදාළ මොස්තර වන්නේ පාවහන් මොස්තරයි. හිසටත් දෙපතුලටත් යොදන මෝස්තර කලින් කලටත් ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් වන්නට බලපාන හේතු බොහෝය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම මෝස්තර වෙනස් වන්නේ දේශගුණය සහ පොළොවේ ස්වභාවයන් හේතුකොටගෙනය.

මිනිසා ඇඳුම් නිර්මාණය කරගැනීමේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමයි. කොණ්ඩය වැවෙන්නේද ශරීර උෂ්ණත්වය අරාක්ෂා කරගැනීමේ ජීවවිද්‍යාත්මක අවශ්‍යතාව නිසාය. ශරීර ගත උණුසුමෙන් 25%ක් පිටට මුක්තවන්නේ හිස මතින් නිසා හිස මත කොණ්ඩය තිබෙන ආකාරයෙන් සහ එහි වර්ණයෙන් මුහුණේ ස්වරූපය පිටට පෙනෙන ආකාරය බොහෝ දුරට තීරණ කරනු ලබයි. කොණ්ඩයට මොස්තර යොදන්නේ එමගින් මුහුණටත් සිරුරටත් එකතුවන පෙනුමට බලපෑමක් එක් කරන්නටය. හිරු රුසින් සිරුරට ඇතුළු වියහැකි (UV – Ultra Violet) පාරජම්බූල කිරණවලින් ශරීරය ආරක්ෂා කරගැනීම කොණ්ඩයේ කාර්යයක් නිසාත්, එය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් නිසාත් කොණ්ඩා මෝස්තරයක් ලෙස කොණ්ඩය බූ ගෑමෙන් (මුඩු කිරීමෙන්) නරක ප්‍රතිඵල අත්වීමට ඉඩ තිබේ.

අපේ ජීවිත කාලය ඇතුළත තට්ටය ගෑමේ, කොණ්ඩයට කැටයම් දැමීම, වවා තරමකට හෙලාගැනීම, පිට මත හලාගැනීම හෝ කොණ්ඩය බැඳීම, කොණ්ඩයෙන් දෙකන් වසාගැනීම ආදීනේක විධිවලින් පිරිමි කොණ්ඩා මොස්තර වෙනස් වී තිබේ. මෙම මෝස්තර වෙනස් වීම්වලට නම් බලපාන්නට ඇත්තේ ශරීර උෂ්ණත්වයත්, පාර ජම්බුල කිරණවත් නොව සමාජකාරණාය. සාමාන්‍ය ව්‍යවහාර බාසාවෙන් කිවහොත් කාලෙන් කාලෙට හෝ වයසට හැදෙන උණය.

අප කුඩා අවධියේ පාසල් යන කාලයේ එවකට තරුණ පිරිමින්ගේ කොණ්ඩා මෝස්තරයක් වූයේ බම්ප් එක තැබිමයි. ජැක් පීරීම යනුවෙන් හැඳින්වූයේද එවැන්නකි. මහගම සේකරයන්ගේ අම්මා ගැන කියවෙන කවක අම්මා කුඩා කල ජැක් පීරා ඔහුගේ කොණ්ඩය සකසා දුන් බව කියැවේ. යම් ක්‍රීම් වර්ගයක් යහමින් උලාගෙන නළලට උඩින් නයි පෙනයක් වැනි කෙස් එකතුවක් හදාගැනීම එකල මෝස්තරයක් වූයේය. ඒකාලයේ පැමිණි බටහිර චිත්‍රපටවල නළුවන්ට ද මෙම කොණ්ඩා හැඩය තිබුණේය.

ලංකාවේ නාගරික තරුණයාගේ අවුරුදු 100කට වඩා පැරුණි ඡායාරූපවලින් පෙනීයන්නේ සමස්ත වශයෙන් ඔවුන් කොණ්ඩය කපා තිබුණු බවයි. අතීතයේ පටන් මෑතක් වනතුරුම ලාංකික ගැමියා කොණ්ඩය දිගට වැව්වේය. එක්දහස් හයසිය ගණන්වල පටන්ම මෙය පුරුද්දක් වූ බව රොබට් නොක්ස්ගේ Historical Relation Of Ceylon ග්‍රන්ථයෙන් පෙනේ. ඩේවිඩ් කරුණාරත්න ලියූ එහි සිංහල අනුවාදය වූ “එදා හෙළදිව පොතේ” මෙසේ සඳහන් වේ.

“සිංහලයන්ගේ බාල මහලු කොයි කාගේත් පසුපසින් ලිහාලූ දිගු කෙස් කළඹක් වෙයි. වැඩෙහි යෙදෙන විටත් ගමනෙහි යන විටත් කොණ්ඩය ගුලියක් කොට පසු පසින් ගැටගසා ගිනිති.”

මෙම පිරිමි මෝස්තරය නවසිය ගණන්වල මුල් භාගයේත් පැවති බව පැරණි ඡායාරූපවලින් පෙනේ. මෑතක් වන තුරැම ගම්බද පිරිමි කොණ්ඩය වැව්වෝය.

නාගරික තරුණයා මෝස්තරයක් ලෙස කොණ්ඩය වවන්නට පෙළඹෙන බව පෙනෙන්නට ගත්තේ 1970 ගණන්වල පටන්ය. විදේශ හිපි සංස්කෘතියට සාපේක්ෂව ඒ කාලයේ ශ්‍රී ලාංකික නාගරික තරුණයා කොණ්ඩය වවනු පෙනුණි. හැත්තෑගණන්වල පැවති නාගරික සාදයක ස්වරූපය මහගම සේකරගේ ප්‍රබුද්ධ කාව්‍යයේ නිරූපණය වේ. එහි කොණ්ඩා මෝස්තර ගැන ද උපහාසයෙන් කරුණු කියැවේ.

“තරබාරු ප්‍රභූවරු 
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යම්තමින් වසාගත්

සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා 
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත් කොණින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

සිටියේ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස්වලු ඇති
පුව ඉතිරි ලිඟු වෙනස නැති”

බ_ස්ලිගේ කොණ්ඩා හැඩය මෙරට නාගරික තරුණයා හට බෙහෙවින් බලපෑම කෙරුණු බව පෙනුණි. බ_ස් රඟපෑ Enter The Dragon කොළඹ මුල්වරට ප්‍රදර්ශනය වූයේ 1974දීය. ඉන්පසු තැන් තැන්වල ඔහුගේ රුව ප්‍රදර්ශනය වන්නට ගත්තේය. මෙම චිත්‍රපටය මෙරට තරුණයා අතර කරාටේ  ක්‍රීඩාව ජනප්‍රිය වන්නට බලපෑ අතර අනෙක් අතට ඔහුගේ කොණ්ඩා මෝස්තරය ද ජනප්‍රිය වූයේය. එයට කීවේ බ_ස්ලී කට් කියාය. දෙකන් වැසෙනසේ කොණ්ඩය දෙකනින් පහළට වැටෙන්නට ගත්තේය. දෙපසින් කන් වැසෙන කොණ්ඩය ඇතුළට කරකවා පීරන්නට රවුම් කොණ්ඩා බුරුසුව ආවේ ඒ කාලයේය. පදිකවේදිකාවේ ඒවා ගජරාමෙට විකිණෙන්නට ගත්තේය. සැලුන්වල Hair Dryer භාවිතා කරන්නට පටන් ගත්තේත් ඒ කාලයේය. සාමාන්‍ය සැලූනයක පිරිමි කොණ්ඩයක් කපන්නට ඒ කාලයේ අයකළ ගාස්තුව රුපියල් පහකට අඩු වුවත් කොණ්ඩය ෂැම්පූ කර රවුම් බුරැසුවෙන් ඇතුළට කරකවා හෙයා ඩ්‍රයරයෙන් වේලන්නට රුපියල් 50කට වඩා අයකෙරිණි. එසේ කරගන්නට තරුණයෝ එම සැලුන්වල පෝලිමේ උන්හ.

නාගරික තරුණයා අතර කොණ්ඩය වැවීමේ රැල්ලක් 1990 ගණන්වලද පැතිර ගියේය. සමහර තරුණයෝ පෝනිටේල් දැමුවෝය. කොණ්ඩය වවා පෝනිටේල් දමාගෙන බුලත්විට හපන නාගරික තරුණයෝ නිතර අපට මගතොටේ හා වැඩවලදී මුණගැසුණෝය.

නාගරික තරුණයන් කොණ්ඩා මෝස්තරයක් ලෙස තට්ටය ගානු පෙනුණේ 2000 වසර ආසන්නයේ පටන්ය. විදේශ රටවල එවැනි මෝස්තර රැල්ලක් පැතිරීම ඊට මුල්වන්නට ඇතැයි සිතන්නට කරුණු ඇත.

අපේ කාලයේ ඉංග්‍රීසි චිත්‍රපටවල රඟපෑ “යූල් බ්‍රයිනර්” නම් අතිදක්ෂ නළුවෙක් උන්නේය. ඔහු වරක් “ලෝරන්ස් ඔලීවියර්ද පරදා ඔස්කා සම්මානය හිමි කරගත්තේය. යූල් (ජූල්) බ්‍රයිනර් සිටියේ තට්ටය ගාලාය. එහෙත් කිසිම තරුණයකු ඔහුව අනුකරණය කරන්නට ඉදිරිපත් වූ සෙයක් නොපෙණිනි.

තට්ටය ගැන හොඳ යාන් හැල්ලක් අප අතර ජනප්‍රියව පවති. පිළිවෙළට කොණ්ඩය පීරණ පුද්ගලයකුගේ වයසත් සමඟ කොණ්ඩය යන්නට පටන්ගත්තේය. එහෙත් ඔහු පිළිවෙළට කොණ්ඩය පීරීම අත්හලේ නැත. අන්තිමට කෙස් ගස් තුනක් ඔහුගේ හිසේ ඉතිරිවිය. එදා උදේ වැඩට යන්නට පෙර ඔහු පනාව ගෙන එක කෙස් ගසත් හිසේ වමට පීරුවේය. තවත් කෙස් ගසක් දකුණට පීරුවේය. ඉතිරි කෙස් ගස කෙළින් තිබෙන්නට හැරියේය. ඊළඟ දිනයේ වැඩට යනවිට උදේ හිසේ තිබෙණු පෙනුණේ කෙස් ගස් දෙකකි. ඔහු පනාව ගෙන පිළිවෙළට එක කෙස් ගසක් දකුණට පීරුවේය. අනෙක වමට පීරැවේය. ඊළඟ දවසේ ඔහුගේ හිසේ තිබුණේ එක කෙස් ගසකි. “අද කොණ්ඩේ අවුල් කරගෙන යනවා.” ඔහු තීරණය කළේය. ඔහු ජීවිතේ පළමු වරට කොණ්ඩය අවුල් කරගෙන ගියේ එදාය.

කාන්තා කොණ්ඩා මෝස්තර ගැන වැඩිමනක් දේ කියන්නට නොගියේ එම මෝස්තර පින්තූරවලින් විනා වචනවලින් විස්තර කිරීම අපහසු නිසාය. අනෙක් රූපලාවණ්‍ය ගැන නොදැන ඒක ගැන කියන්නට ගියහොත් අමාරුවේ වැටෙන නිසාය.
ශ්‍රී ලාංකික කාන්තාවෝ ඉතා උනන්දුවෙන් ඇඳුම් මෝස්තර සොයා යන නමුත් එදිනෙදා ජීවිතයේ දී ඊට සාපේක්ෂව කොණ්ඩා මෝස්තර යොදන්නේ අඩුවෙන් බව පෙනේ. ඔවුන් විශේෂ කොණ්ඩා මෝස්තර යොදාගන්නේ (මඟුල් ගෙයක්) මංගල උත්සවයක් වැනි විශේෂ උත්සවයකදීය. “නැත්නම් ඔහේ පෝනිටේල් එකක් වගේ එකක් දාගෙන යනවා.” ශ්‍රී ලංකාවේ කතුන්ගේ එදිනෙදා කොණ්ඩා මෝස්තර ගැන රූපලාවණ්‍ය ශිල්පිණියක් එසේ කීවාය. මෑතකදී බහුල ලෙස කාන්තා කොණ්ඩා මෝස්තරවල කොණ්ඩය වර්ණ ගැන්වීමත්, ස්ට්‍රේට් කිරීම වැනි ශිල්පීය ක්‍රමත් අනුගමනය කරනු පෙනිණි.

හිස්වැසුම් භාවිත කිරීමේ රැල්ලක් කැපී පෙනෙන ලෙස මෙරට පැතිරී ගිය බවක් පෙනෙන්නට තිබුණෙ නැත. බොහෝ විට චාරිකාවක් යනවිට හෝ අව්වෙන් බේරෙන්නට තොප්පි පරිහරණය කළා මිස මෙරට විලාසිතාවක් ලෙස තොප්පි භාවිතයක් නොවූ බව පෙනේ. හැත්තෑ ගණන් මැද කාලයේ නම් විවිධ වර්ණයෙන් තොප්පි මසාගෙන කාන්තාවන් පළඳිනු පෙනුණි.

දැන් විවිධ වර්ගයේ පාවහන් තරුණයන් භාවිත කරනු පෙනුණත් අපේ කාලයේ තරුණයන් අතර ජනප්‍රියතම පාවහන් යුගල වූයේ “රබර් සෙරෙප්පු” කුට්ටමයි. එකල (60-70 දශක වල) පරිභෝජනයේ පැවති අල්පේච්ජ බව හා එම රබර් සෙරෙප්පු භාවිතය බෙහෙවින් ගැලපුණේය. ගමන් බිමන් යන්නටත් චිත්‍රපට ආදිය බලන්නටත් එදිනෙදා සාමාන්‍ය ගමන්වලටත් තරුණයෝ රබර් සෙරප්පු පළදින්නට පැකිලුණේ නැත. ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ අහස් ගව්ව චිත්‍රපටයේ විමල කුමාර් ද කොස්තා රබර් සෙරප්පුවේ කැඩුණු පටිය කටුවකින් අමුණමින් යන දර්ශනයක් තිබිණි. එය එකල තරැණයින් නිතර කළ දෙයකි. පටියක් කැඩුණද රබර් සෙරෙප්පු විසි කළේ නැත. ඔවුහු කටුවකින් අමුණාගෙන එකල එය තවදුරටත් පරිහරණය කළහ. එවැනි සෙරප්පුවක පින්තූරයක් මෑතකදී ඉතා වටිනා සිහිවටයක් සේ FBහි පළකර තිබුණේය.

අද අපි විවිධ ගමන්වලට විවිධ පාවහන් භාවිතා කරන්නට පුරුදුව සිටිමු. කැෂුවල් ස්මාර්ට් කැෂුවල් Formal ආදී එකිනෙකට වෙනස් සපත්තු අද යන ගමනේ අරමුණු අනුව භාවිතයට අපි හුරුව සිටිමු.

ශරීරයේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් සමඟ සාමාජීය අවශ්‍යතාවටද අද යම් ප්‍රමුඛතාවක් දෙන්නට සිදුවී තිබේ. ඒ අනුව අපි හිසටත් දෙපයටත් මෝස්තර එක් කරමු. එහෙත් දෙපයින් ඇවිද දෙපයේ වටිනාකම වැඩි කර ගැනීමේත් මෝස්තරවලින් සරසන හිස ඇතුළතින් වර්ධනය කොට දැනුමත් බුද්ධියත් දියුණු කරගැනීමේත් වගකීම අප සතුවේ. ඇවිද්ද පය දහස් වටී. බුද්ධිය වර්ධනය කරගත් විද්වත් හිස සියදහස් වටී.

 සමන් පුෂ්ප ලියනගේ 
 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00