යාල කැලේ මැද පන්සලක් හදලා අපිට හරි කරදරයක්
මේ ප්‍රකාශය කර තිබෙන්නේ වනජීවී අධ්‍යක්ෂකවරයෙක්! හැබැයි මතක තියාගන්න ඓතිහාසික සිතුල්පව්ව පුණ්‍යභූමිය දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩසිටි රුහුණේ පැරැණිතම වටිනාම වසර 2200ක අතීතයට උරුමකම් කියනා උතුම් බෞද්ධ පූජනීය ස්ථානයක් මෙන්ම කාවන්තිස්ස මහරජු විසින් කරවූ පින්බිමක්.
ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරුඹ හේමරතන නාහිමියෝ තම ඓතිහාසික පින්බිමට නොයෙකුත් අපවාද පරිභව කරනා වනජීවී මහතුන්ට එසේ ප්‍රකාශ කරනුයේ දැඩි සිත් වේදනාවකිනි.
චිත්තල පබ්බත ලෙස මහාවංශයේ සඳහන් සිත් අලවනසුළු මෙම ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානය බෞද්ධයන්ගේ උතුම් පුණ්‍ය භූමියක් වුවද මෑතක සිට විහාරස්ථානය වෙනුවෙන් වක්‍රව සිදුකරනා වනජීවී ක්‍රියාකාරකම් තමන් නොව සම්බුද්ධ ශාසනයට සිදුකරනා මහත් ද්‍රෝහීකමක් බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරැඹ හේමරතන නාහිමියෝ කීහ.
දැන් සිතුල්පව්ව වනජීවියට කරදරයක් වෙලා. සිතුල්පව්වට බැතිමතුන් එන්න මාර්ග දෙකක් තියෙනවා. තිස්සමහාරාම යෝධකණ්ඩිය හරහා මාර්ගයත් කතරගම කටගමුව හරහා මාර්ගත් වෙනවා.
මේ පාරවල්වලින් හවස හයෙන් පස්සෙ එන බැතිමතුන්ට වනජීවී මුරකපොළුවලින් කියනවාලු, මේ වෙලාවේ යන්න එපා භයානක වනසතුන් ඉන්නවා. හරිම භයානකයි කියලා බිය කරනවාලු. ඇයි මේ වාගේ බැතිමතුන් බය කරන්නේ. අතීතයේ පවා බැතිමතුන් ගොන් කරත්තවලින් හුළු අතු පත්තුකරගෙන උතුම් පින් බිම වඳින්න රෑ තිස්සේ ඇවිල්ලා තියෙනවා.
තව චෝදනාවක් වනජීවිය කරනවා. මම පළතුරු කන්න දීලා අලි ඇතුන් පන්සලට ගෙන්වා ගත්තා කියලා. දැන් ඊට පස්සේ අලි වාහනවලට ගහලා කෑම ඉල්ලනකොට මට දොස් කියනවා, හාමුදුරුවෝ තමයි අලින්ට කන්න දීලා පුරුදු කළේ කියලා. මට පළතුරැ කන්න දීලා සත්තු හීලෑ කරගන්න ඕනෙ නැහැ. මේ කැලයේ සත්තු මේ උතුම් පින්බිමට ආදරෙයි. මම බුද්ධ පූජාව පූජාකරන්න යනවිට මගෙ ඉදිරියෙන් පළමුවෙන් යන්නේ මුවා. ඊට පස්සේ ගෝනා, ඊට පස්සේ ඇතා යනවා.
ඒක මහ පුදුම අවස්ථාවක්... බුදුරජාණන් වහන්සේටත් පාරිල්‍යෙය වනයේදී පාරිල්‍යෙය ඇතා ඇවිත් උවටැන් කළා කියලා සඳහන් වෙනවා. මට පළතුරු සත්තුන්ට දෙන්න මේ පන්සලේ දේවාලයක් නැහැ. ඔය කථා වනජීවියෙන් හදපු ඒවා. පසුගිය වර්ෂවල දැඩි නියං කාලේ සත්තුන්ට කන්න නැතිවෙලාවේ ලංකාවෙන්ම පින්වතුන් යාල කැලේට ඇවිත් සත්තු වෙනුවෙන් පළතුරු, කොළ වර්ග, බොන්න වතුර දුන්නා. වනජීවිය එක වැවකට වතුර බවුසරයක් දැම්මේ නැහැ. හැබැයි වනජීවිය කෝටි ගණනක් මේ සත්තු නිසා හම්බ කරනවා.
දැන් බලන්න අද වනවිට යාලට වෙලා තියෙන තත්ත්වය. මෙහි යුද හමුදාව රැඳී සිටිය කාලේ කිසිම දෙයක් කියන්න නැහැ. හොඳට හමුදාව විනයගරුකව කටයුතු කළා. එහිදී කිසිම අපරාධයක් සිදුවුණේ නැහැ. දැන් යුද හමුදාව නැති නිසා මෙහි විශාල අපරාධ වෙනවා. පසුගිය කාලේ වටිනා ගස් කපලා පටවාගෙන ගියා. සතුන්ගේ ගාත් පණ පිටින් කපාගෙන මස් කන්න අරගෙන ගියා. මේවා වනජීවිය දැක දැක නිහඬව සිටීම මහා පුදුමයක්.
පසුගිය කාලේ හිටිය වනජීවී බලධාරීන් විහාරස්ථානයට ඇවිත් වන්දනා කර බුද්ධ පූජාවන් සඳහා හවසට සහභාගි වෙනවා. ඒත් අද සිතුල්පව්ව වෙනුවෙන් අභූත චෝදනා එල්ල කරමින් වනජීවිය කටයුතු කිරීම ගැන බොහොම කනගාටුවක් දැනෙනවා.
මේ ළඟකදි ඉඳලා සිතුල්පව්වේ සැරිසරනා ඇතෙක් වාහනවලට පහරදෙනවා. ඒ ගැන කියන්නේ ඒ සතා කවදාහරි මිනිහෙක් මැරුවොත් මොකද වෙන්නේ. මේ සතාව වෙනත් ජාතික උද්‍යානයකට ගිහින් දමන්න කියලා කොතෙක් බලධාරීන්ට කිව්වත් ඒ අය මේ ගැන තඹ දොයිතුවකටවත් මායිම් කරලා අහන්නේ නැහැ. මේ වනජීවී හැමෝටම අද අවශ්‍යවෙලා තියෙන්නේ සිතුල්පව්වට බැතිමතුන් එන එක නවත්වා විහාරස්ථානය හුදකලා කරන්නයි.
වනජීවී සහ වන සම්පත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
යාල වනෝද්‍යානය තුළ නීති විරෝධී වැඩ වෙනවා කියලා කවුරු හරි කියනවා නම් මම ඒවා පිළිගන්නේ නැහැ. යාල කොතැනක හෝ විනාශයක් සිදුවෙනවා නම් මට කියන්න. මම වහාම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒවාට මගෙන් කිසිම අනුකම්පාවක් නැහැ.
සිතුල් පව්වේ ප්‍රශ්නයක් තියෙනවා. හාමුදුරැවෝ අලියාට කන්න දීලා පුරුදු කරගෙන, ඊට පස්සේ අලියාගෙන් කරදරයි කියලා ඒ සතාව වෙනත් තැනකට ගිහින් දාන්න කියනවා. එහෙම ඒ සතාගේ නිජභූමිය දාලා වෙනත් ප්‍රදේශයකට ගෙනියන්න බැහැ. දැන් ඇතෙක් මැරිලා ඉන්නවා. එම සතාගේ ශරීරයේ විෂ තිබෙනවා කියලා මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා. ඒ ගැන තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. අපේ වනජීවියෙන් සිතුල් පව්වට හානියක් නැහැ. ඒ අය කරන්නේ සතුන්ගේ නිජභූමිය ආරක්ෂා කරන එකයි.
ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම් කැළුම් කොටගොඩහෙට්ටි මහතා මෙසේ සඳහන් කළේය.
පසුගිය කාලය පුරාම සමහර පත්තරවලින් සිතුල්පව්ව විහාරස්ථානයත් නායක ස්වාමීන් වහන්සේත් සම්බන්ධ කරමින් විශාල අභූත චෝදනා රාශියක් එල්ල කරලා තියෙනවා. ඇත්තටම කියන්න කනගාටුයි මේ උතුම් පුණ්‍ය භූමියට ඇයි මේ තරම් ගරහන්නේ කියලා.
සිතුල් පව්වේ වෙන වැඩ නිසා නායක හිමියන්ගේ ඉහමොළ රත්වෙලා කියා එක පත්තරයක සඳහන් කරලා තියෙනවා. මෙවැනි සසුනට විශාල සේවයක් කරන හිමි නමකට මේ අයුරින් අපහාස වෙන ලෙස සටහන් කිරීම අපි බෞද්ධයන් වශයෙන් අනුමත කරන්නේ නැහැ.
අද වනවිට වනජීවිය විවිධ බාධා එල්ල කරමින් සිතුල් පව්වට වන්දනාවේ එන බැතිමතුන් නවතාලීමට කටයුතු කරනවා. මේ සම්බන්ධව අපි තරයේ විරෝධතාවයන් බලධාරීන්ට ප්‍රකාශ කර සිටිනවා.
වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.එච්.කේ. පතිරත්න මහතා මෙසේ කීය.
මම 1998 දී යාල උද්‍යාන භාරකරු ලෙස සිටිනා විට මම තමයි සිතුල්පව්වේ ප්‍රධාන දායකයා. පොසොන් පින්කම්වලට කඨින පින්කම්වලට අපි විශාල අනුග්‍රහ දැක්වූවා. ඒත් අද වනවිට සිතුල්පව්ව සහ වනජීවිය අතර දුරස්වීමක් සිදුවෙලා තියෙනවා.
පසුගිය කාලේ නියඟය අවස්ථාවේදී රටේම ජනමාධ්‍යයෙන් යාල සතුන්ට කන්න නැතුව මැරෙනවා කියලා විශාල හඬක් නැගුවා. ඒ නිසා විවිධ කෑම සතුන්ට ගෙනත් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අද එම කෑම බලාගෙන සතුන් වාහනවලට කරදර කරනවා.
යාල අපරාධ වෙනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පසුගියදා හීන්වැව ප්‍රදේශයේදීත් දඩයක්කරුවන් කිහිප දෙනකු අපි අල්ලා ගත්තා. සිතුල්පව්වට විශාල බැතිමතුන් රාශියක් එනවා. එහෙම ඇවිත් කැලේට රිංගලා දඩයම් කරන්නත් පුළුවන්. ඉතිං මේ නිසා පන්සල වරදක් ලෙස අපි දකින්නේ නැහැ. එදා අනූව දශකයේ සිතුල් පව්වේ තිබුණ ඓතිහාසික ප්‍රෞඪත්වය අද නැහැ. මේ වෙනස්වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ මිනිසාගේම චර්යා රටාවන්. සිතුල්පව්ව විහාරය ගැන අපේ කිසිම අමනාපයක් නැහැ.
සටහන - රුක්මන් රත්නායක