2019 මාර්තු 23 වන සෙනසුරාදා

තහනමින් මිදුණු සටන් කලාව අංගම්පොර

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1768
අංගම්පොර සටන් කලාව මහ රාවණ යුගයේ සිට පැවත එන සටන් කලාවකි. රාවණ පරපුර මෙම සටන් කලාවේ නියම උරුමක්කාරයෝ වෙති. මනුෂ්‍යයා බිහිවීමත් සමඟ ඔහුට එරෙහිව සතෙකු හෝ යමෙකු පහරදීමට සැරසෙද්දී මිනිසා විසින් ගනු ලබන පළමු සටන් පහර ලෝකයේ සටන් කලාව ආරම්භය විය.
 
රාවණ රජුගේ සීයා වූයේ පුලස්ති ඍෂිවරයාය. ඔහු ලොව සිටින දක්ෂතම වෙදැදුරා විය. පුලස්ති ඍෂිවරයා හරහා රාවණා රජුට වෙදැදුරැ ශාස්ත්‍රය ලැබුණි. ඒ හරහා ‘නිල’ ස්ථාන පිළිබඳ හොඳ දැනුමක් රාවණාට ලැබුණි. අංගම්පොර සටන් කලාවට මෙම නිල ස්ථානද ඇතුළත් විය.
 
අංගම්පොර ලෙසින් හඳුන්වනු ලබන්නේ ඇඟේ ඇති අංග සහ ‘පොර’ ලෙසින් සටනද එක්වූ තැන ‘ඇඟේ සටන’ කල්යත්ම ‘අංගම්පොර’ ලෙසින් හැඳින්වීය. ඇතැම්හු මෙය ‘අංගම් හරඹ’, ‘අංගාගත හෙරළ’ ලෙසින්ද හැඳින්වූහ. අංගම්පොරයට අංග කිහිපයක් ඇතුළත්ය. අංගම්, ඉලංගම්, මායා අංගම්, මන්ත්‍ර ශාස්ත්‍රය, තන්ත්‍ර, හෙල නිල වෙදකම, හේවා අංගම්, ඉලංගක්කාරම් එයින් සමහරකි.
 
“ලෝකයේ බොහෝ සටන් ක්‍රමවල මූලාරම්භය වන්නේ මෙම අංගම්පොර සටන් කලාවෙනුයි. බොහෝ රටවල් ‘රෙස්ලින්’ ලෙසින් පොර බදනවා. නමුත් ඒ සටන් කලාව ඇතිවන්නටත් පෙර අංගම්පොර සටන් කලාවේ පොර බැදීම ඇතුළත් වෙලා තියෙනවා. ජිම්නාස්ටික් ලෙසින් හඳුන්වන්නේ අංගම්පොර සටන් කලාවේ ‘පිනුම්’ ලෙස හඳුන්වන කොටසයි. වූෂූ ලෙස හඳුන්වන්නේ මෙහි ඇති ආයුධ සටන් කලාවයි. කරාටේ ලෙසින් හඳුන්වන්නේද අංගම්පොර සටන් කලාවේ පවතින අතින් පයින් සටන් කිරීමේ ක්‍රමයයි. නමුත් අපි ළඟ තිබෙන අංගම්පොර සටන් කලාවේ මේ සෑම කලාවක්ම අන්තර්ගත වෙනවා...” යැයි හෙළ යක්ක සටන් කලාස්ථානයේ ගුරු සුමුදු අමල්ක දේශයට පැවසීය.
 
අංගම්පොර සටන් කලාවේ නිල ඇල්ලීමට හිමිවන්නේ සුවිශේෂී තැනකි. නිල යනු අපගේ ශරීරයේ ඇති සියුම් නහර තන්ත්‍ර එකතුවන තැනටය. එම තැන අපගේ ශරීරයේ මර්මස්ථාන ලෙසින්ද හැඳින්විය හැක. ඕනෑම සතුරකුට පහර දීමෙන් විශේෂයෙන් නහර තුනකට වඩා එකතුවන තැනක් වන මාරාන්තික නිලයට පහරදීමෙන් ශරීරයේ රැධිරය ගමන් කරන ස්ථානවලට රුධිරය ගමන් නොකිරීමෙන් බොහෝ විට සතුරා සිහිමුර්ජාවට පත්විය හැක. අංගම්පොර සටන් කලාවේ නිල ඇල්ලීමෙන් සිහිමුර්ජා කිරීමටත් නැවත සිහි ගැන්වීමේ ක්‍රමයක් ඇත. එල්ල කළ පහරත් සමඟ ඇතැම්විට දින ගණනාවක් සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවන අවස්ථාද ඇත. ශරීරයේ නිල එකසිය හතක් පවතී. එයින් මාරාන්තික නිල ස්ථාන විස්සකට වැඩි ප්‍රමාණයක් ඇත. බොහෝ නිල ස්ථාන ඇත්තේ මිනිසාගේ පපුවෙන් උඩ කොටසේය. නමුත් පාදයේදී ඉතා සියුම් මාරාන්තික නිල ස්ථාන ඇත. පාදයට පහර දී හිසේ ඇති නහර පීඩනයට පත් කිරීමේ ක්‍රමවේදයක්ද අංගම්පොර සටන් කලාවේ පවතී. අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්නා ආධුනිකයකුට එකවරම නිලයට පහර දිය නොහැක. ඒ සඳහා සටන් කලාව ප්‍රගුණ කළ යුතුමය.
 
නිලයට පහර දිය යුතු එක් එක් පහරවල් ඇත. ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. නිලයට පහර දුන් පසුව සතුරා දක්වන ප්‍රතිචාරය අනුව එම පහරේ සාර්ථකත්වය පිළිබඳවද අවබෝධයක් නියම අංගම්පොර සටන්කරැවාට ලබාගත හැක. එම පහරට ලබාදිය යුතු ප්‍රතිකාරද දැන සිටීම ඉතා වැදගත් වේ.
 
අංගම්පොර සටන් කලාවේ පරම්පරා ඉතිහාසයක් පවතී. මෙම සටන් කලාවේ ගුරුකුල දෙකක් ඉතිහාසයේ පවතී. ඒ මරුවල්ලිය සහ සුදලිය නම් පරම්පරායි. රජ කාලේ රජයට පක්ෂපාතීව සටන් කලාව කරගෙන ගිය පරම්පරා දෙක වන්නේද මෙයයි. ඔවුහු නිතරම රාජ මාලිගාවට ගොස් සටන් කලාව පෙන්වා රජු සැනැස්සූහ. මෙම පරම්පරා දෙකට අමතරව තවත් පරම්පරා කිහිපයක් පැවතියද ඔවුන් රජුට පක්ෂපාත වූයේ නැත.
 
“සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයා උපන් වෙලාව අනුව වේලාපත්කඩය (හඳහන) බලා ග්‍රහ පිහිටීම් අනුව කලාව පිහිටීම පිළිබඳව පරීක්ෂා කරලා බලනවා. අසුර නැකැතින් උපන් කෙනෙකුට අංගම්පොර ඉතා හොඳට ගැලපෙනවා. අසුර නැකැතින් උපන් කෙනෙකු සටන්කාමියකු බව අපි විශ්වාස කරනවා. උපන් වෙලාව හරහා මිනිසුන්ගේ ජීවිත අපට කියවන්න පුළුවන්.” යැයි සුමුදු අමල්ක පැවසීය.
 
අංගම්පොර සටන් කලාව 1815 දී තහනමකට ලක්විය. විදේශිකයෝ අප රට ආක්‍රමණය කිරීමට නිරන්තරයෙන් උත්සාහ දැරූහ. මේ ආක්‍රමණයන් සමඟ අපේ සටන් කලාව පිළිබඳ විදේශිකයෝ මවිතයට පත්වූහ. කිසිදු තුවාලයක් නොමැතිව සුද්දෝ මිය ගියහ. ඒ හරහා ඔවුහු මෙම මියයාමට හේතු සොයාබැලූහ. ඒ ඉතිහාසයේදීද සුද්දන්ට කේලම් කියූ සිංහලයන් හරහා ඉංග්‍රීසීන්ට මෙම සටන් කලාව පිළිබඳව ආරංචිය ලැබුණි. ඔවුහු අංගම්පොර සටන් කලාව පිළිබඳ තොරතුරු සොයාබැලූහ. ඒ හරහා මෙම සටන් කලාව 1815 දී තහනම් කෙරිණි.
 
පසුව අංගම්පොර සටන් කලාවේ ගුරැවරැන්ට දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියම විය. අංගම්මඩු ගිනි තබනු ලැබීය. මේ සිදුවීම් හේතුවෙන් අංගම්පොර සටන් කලාව මඳක් පසුබෑවේය. නමුත් මෙය වැළලී ගියේ නැත. අවසානයේදී අංගම්පොර සටන් කලාව විවිධ ක්‍රම හරහා රැක ගැනීමට ජීවත්ව සිටි ගුරුවරු උත්සාහ දැරූහ. අංගම්පොර සටන් කලාවට සතුන්ගේ විවිධ කොටස් එකතු වන්නේද මේ හරහාය. සත්ව අංවලින් නිර්මාණය වූ අං කිරිඤ්ඤය නිර්මාණය වන්නේද මේ හරහාය. මර්මස්ථාන හා ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයකට එමගින් පහරදීමට හැකියාව ඇත.
 
අංගම්පොර තහනමින් පසුව ඌරාවළේ සටන ආරම්භ විය. අංගම්පොර මඩු ගිනි තැබීමෙන් පසුව සිංහලයා විසින් විශාල වළවල් කපා ඒ තුළ අංගම් පොර පුහුණුවීම් සිදුකළහ. රාත්‍රී කාලයේදී වල් ඌරෝ මේ වළවල්වලට වැටුණහ. ඌරන් වැටුණ වළ අවසානයේදී ඌරාවළ විය.
 
අංගම්පොර සටන් කලාව රැක ගැනීමට උඩරට නැටුම් සම්ප්‍රදායද ඉවහල් විය. උඩරට නැටුම් හරහා පිනුම් ක්‍රම රුකගැනීමට සිංහලයෝ උත්සාහ දැරූහ. ඒ නැටුම් කලාව හරහා අපගේ සටන් කලාව සඟවා රැකගැනීමට උත්සාහ කෙරිණි. දිග රිටි කැරකැවීම ගිනිබෝල සම්ප්‍රදාය තුළින් රැක ගැනීමට එමෙන්ම වැදි නැටුම, ලී කෙළි නැටුම වැනි නර්තනවලින් සුද්දන් වළ දමන්නට උත්සාහ දැරූ සටන් කලාව සිංහලයෝ රැකගත්හ.
 
අද වෙද්දී විදේශිකයන්ගෙත් අංගම්පොර සටන් කලාව ඉගෙනීමට විශාල කැමැත්තක් ඇත. නමුත් අංගම්පොර සටන් කලාව යනු සිංහලයාගේ සටන් කලාවකි. අපගේ හෙළ සිංහලුන්ගේ උරුමය අප විසින් රුකගත යුතුය. මෙය සිංහලයාට උරැම වූ සටන් කලාවකි. නියම උරුමක්කාරයෝ වන්නේද හෙළ සිංහලුන්ය. බුදුදහමේ වතාවත් අනුව මෙම සටන් කලාව ප්‍රගුණ කළ යුතුය. භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමද පුහුණු කරයි.
 
අංගම්පොර කලාව හා බැඳුණු විශේෂ ආයුධ වර්ග කිහිපයක් ඇත. එතුණු කඩුව, සිංහල කඩුව, හෙල්ල, මුගුර, යෂ්ටිය, කිණිස්ස, රිට, කලා කිරිඤ්ඤය, යගදාව, ත්‍රිශූලය, තෝමරය මේ අතර කිහිපයකි. ඊට අමතර අංගම්පොර සටන් කලාව සඳහා යොදාගනු ලබන ගැට (වෙළුම්) ක්‍රම කිහිපයක්ද ඇත. ඕනෑම තියුණු ආයුධයක් වුවද ක්ෂණිකව මෙම ගැට හරඹ මගින් බිම දැමීමේ හැකියාවක් ඇත. මෙයින් ප්‍රතිවාදියාව හිරකරවීමකට පමණක් නොව ඔහුව මරණයට පවා ලක්කිරීමේ හැකියාවක් මෙම වෙළුමේ ඇත. මෙම ගැට ක්‍රම මඟින් ප්‍රතිවාදියාගේ මස් ඇදීම, අස්ථි බිඳීම, නහර ඇදීම, හුස්ම හරකරවීම, පොළෝවේ ගැසීමත් සමඟ සිරුර තැලීම, බිඳීම, අත පය ආදී සියුම් ස්ථාන පැන්නවීම ආදී අනතුරැ සිදුකළ හැක.
 
 
අංගම්පොර සටන් කලාවේ නියැළෙන බොහෝ පිරිමි රැවුල සහ හිසකෙස් වවති. අතීතයේදී ඍෂිවරු හිසකෙස් සහ රුවුල වැවූහ. මෙයින් ඇඟේ සමබරතාවය ඇතිවේ. රැවුලට හා කොණ්ඩයට විශ්වයේ ඇති ශක්තිය උත්තේජනය කරනා ක්‍රමවේදයන් ඇති බවද භාවනා ශක්තිය වර්ධනය කිරීමට රැවුල බොහෝ උපකාර කරන බවද ඔවුන්ගේ විශ්වාසයයි. ඉතිහාසයේ සිටි අංගම්පොර සටන්කාමීන්ගේ කොණ්ඩය පිටුපස කුඩා කොණ්ඩ ගෙඩියක් ගසති. සටනකදී යම් පහරදීමකින් සටන්කාමියා බිම ඇදවැටුණහොත් හිසේ පිටුපස ආරක්ෂා කිරීම සඳහා ඔවුහු මෙම ක්‍රමය අත්හදා බැලූහ. නිල ස්ථානයට එල්ල කළ හැකි කුඩා ආයුධ මෙම කොණ්ඩය හා රැවුල තුළ සඟවා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ.
 
ඉංග්‍රීසීන් තහනමට ලක්කෙරූ අංගම්පොර සටන් කලාව අද වෙද්දී තහනමින් ඉවත් කර ඇත. මේ වනවිට එය ශ්‍රී ලාංකික බොහෝ නිර්මාණවලට සටන් අංගයක් ලෙසින්ද ඉදිරිපත් වී ඇත. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ දඬුබස්නාමානය ටෙලිනාට්‍යය හරහා අංගම්පොර අපේ කලා නිර්මාණවලටද එකතු විය. අංගම්පොර සටන් කලාව සියුම් වේගවත්, ශක්තිමත් මෙන්ම ජවසම්පන්න සටන් කලාවකි.
 
බේරා ගනු පිණිස මා දිනු සිහළ        රට
පවරා තිබෙන වගකිවයුතු මෙහෙය   මට
ඉටුකළ යුතුය නොබියව එඩිතරව     සිට
අසිපත මගේ පණ රැකදෙයි සියලු    විට
 
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ: සුමුදු හේවාපතිරණ
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00