පරිසර හිතකාමීත්වය තිරසාර සංවර්ධනය යනු කාලයක් තිස්සේ අපේ කන්වලට ඇසෙන පද පෙළකි. විශේෂයෙන්ම රටක් සංවර්ධනය කරා යන ගමන්මඟ තුළදී පරිසර හිතකාමීබවට හා තිරසාර සංවර්ධනයට යොමු කළ යුතු අවධානය අතිමහත්ය. විදුලි නිෂ්පාදන ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාව හිඳින තැන නම් තිරසාර සංවර්ධනයට හා පරිසර හිතකාමීත්වයට බොහෝ ඈතය.
මන්ද ජල විදුලි නිෂ්පාදනයට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් ඉසිලුව ද මේ මොහොත වනවිට (වියළි කාලගුණ තත්ත්වය හමුවේ) අප පරිභෝජනය කරන විදුලියෙන් ජල විදුලිය නියෝජනය කරන්නේ සියයට 8ක් තරම් වූ අල්ප ප්‍රමාණයකි. සෙසු බහුතරයක් එනම් සියයට අසූවකට වැඩි විදුලියක් නිපදවෙන්නේ ගල් අඟුරු හා ඩීසල් මගිනි.
කෙසේ නමුත් පසුගියදා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා අතින් විවෘත කෙරුණු එළුවතිව් විදුලි බලාගාරය නව විදුලි බලාගාර සංකල්පයක් ප්‍රායෝගිකව සනාථ කරපෙන්වීමක් ලෙස සැලකිය හැක.
ප්‍රාමාණිකව කුඩා විදුලි නිෂ්පාදනයක් සිදුකරන නමුදු (කිලෝවොට් 60) එය වැදගත් වන්නේ දෙමුහුන් නොව තෙමුහුන් බලාගාරයක් වන නිසාය. එනම් සූර්ය බලය, සුළං බලය හා ඩීසල් යන ශක්ති ප්‍රභේද තුන ඔස්සේම විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව එය සතුය. එය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 187ක මුදලක් වැයවී ඇති අතර ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව හා ලංකා විදුලි බල මණ්ඩලය විසිනි.
එළුවතිව් යනු යාපනය අර්ධද්වීපයෙන් නොඑසේනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගොඩබිමින් කිලෝමීටර 3.3ක් දුරින් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් දූපතකි. වර්ග කිලෝමීටර 1.7ක කුඩා දූපතක් වන මෙහි පවුල් සංඛ්‍යාව 130ක් පමණ වේ. නව බලාගාරය ඉදිකිරීමට ප්‍රථම එහි විදුලි සැපයුම පැවැතියේ නිවාස 73කට පමණ වන අතර ඒ ද උදෑසන 4.30 සිට උදෑසන 6.00 පමණ දක්වාත් නැවතත් රාත්‍රී 6.00 සිට රාත්‍රී 10.30 පමණ දක්වාත් පමණි. එනම් දිනකට විදුලි බලය සැපයෙන්නේ පැය හයක් පමණි.
විදුලිබල උත්පාදනය සිදුවූයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැපයුණු ඩීසල් ජෙනරේටර ආධාරයෙනි. ඊට හේතුව වූයේ ප්‍රධාන ගොඩබිමේ සිට කිලෝමීටර 3.3ක දුරින් පිහිටි දූපතක් නිසා ජාතික විදුලි පද්ධතිය එළුවතිව් දූපත කරා සම්බන්ධ කිරීමට නම් සබ්මැරීන් කේබල් වශයෙන් මුහුදු පතුල ඔස්සේ විදුලි රැහැන් ඇදිය යුතු අතර ඊට දරන්නට සිදුවන පිරිවැය ඉතා අධික බැවිනි.
මෙතෙක් කල් බෝට්ටු මාර්ගයෙන් (පෞද්ගලික කොන්ත්‍රාත්කරැවකු හරහා) ඩීසල් බැරල් එළුවතිව් දූපත වෙත ප්‍රවාහනය කරමින් විදුලි නිෂ්පාදන කටයුතු කරගෙන ගිය අතර මුළු වියදම් එකතුව ගෙන බැලූ විට එක් විදුලි ඒකකයක් නිපදවීමට වැයවුණු මුදල රුපියල් 50කටත් වැඩිවිය. නමුත් අලාභය ලංකා විදුලි බල මණ්ඩලය විසින් දරාගනිමින් විදුලිය සැපයුණේ රටේ සෙසු ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන් ඒකකයට රුපියල් දෙකයි පනහ බැගිනි. 2010 වසරේදී සිදුකළ ගණනය කිරීමකට අනුව එළුවතිව් හි නිවාස 73ක අර්ධ වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 19,420කි. ඒ අනුව 2010 වසර වනවිට එළුවතිව් දිවයිනට විදුලිය සැපයීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවන පාඩුව රුපියල් මිලියන 1.75ක් පමණ වෙතැයි ගණන් බලා තිබුණි.
යාපනය අර්ධද්වීපය ප්‍රදේශය ස්වභාවයෙන්ම වියළි කාලගුණයක් දක්නට ලැබෙන පෙදෙසකි. එළුවතිව් ආදී ආසන්න දූපත් ප්‍රදේශවල පවතින්නේද එවැනිම කාලගුණයකි. ඔක්තෝබර් සිට පෙබරවාරි කාලය තුළ මෝසම් සුළඟින් වර්ෂාව ලැබෙන අතර වසරේ සෙසු සෑම කාලයක්ම හොඳින් හිරු රශ්මිය පතිත වන වියළි කාලගුණයක් දක්නට ලැබේ. එනිසා සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීමටත් මෝසම් සුළං ධාරාව මෙන්ම දූපතක් වීම නිසා මුහුදු සුළං ශක්තිය හොඳින් උපයෝගී කරගැන්මටත් ඉහළ හැකියාවක් එය සතුය.
එමෙන්ම යම් හෙයකින් සූර්ය හා සුළං යන බල ද්වයයම නැතිවුවද ඩීසල් හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවත් පවතින නිසා බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට එළුවතිව් දූපතට අවස්ථාව උදාවේ. අනෙක් අතට ඒකකයක් රුපියල් 9.14ක් වැනි මිලකට නිෂ්පාදනය කිරීමේ අවස්ථාව හිමිවීම ලංකා විදුලි බල මණ්ඩලයට මහත් වාසිදායක තත්ත්වයක් ලෙස සැලකිය හැක.
අනෙක් අතට මහා පරිමාණ විදුලි බලාගාර මත උවමනාවට වඩා රඳා පැවැත්ම නිසා කොයි තරම් හානියක් රටට සිදුවන්නේ ද යන්න නොරොච්චෝලේ බිඳවැටීම් හරහා පසුගිය කාලය පුරාවටම විද්‍යාමාන විය. මෙරට තාප විදුලි නිෂ්පාදනයෙන් සියයට 50ක්ම නිපදවෙන්නේ නොරොච්චෝලේ බලාගාරයෙනි. එහි ඇති මෙගා වොට් 300 බැගින් වන විදුලි ජනක යන්ත්‍ර තුනක් ආධාරයෙනි. විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ යම් හෙයකින් නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍ර තුනෙන් දෙකක් ක්‍රියා විරහිත වුවහොත් අනිවාර් යෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ය. යථාර්ථය එයය.
එවන් පසුබිමකදී කුඩා ප්‍රමාණයේ මෙවන් විදුලි බලාගාර පැවැතීම අතිශය වැදගත් කාර්යයකි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද තවමත් සුඛෝපභෝගී විදුලි නිෂ්පාදන ක්‍රමවේදයක් ලෙස සැලකුණ ද දීර්ඝ කාලීනව රටටත් ලෝකයටත් ඉන් ඇතිවන යහපත ද නොසළකා හැරිය හැක්කක් නොවේ.
තව ද මෙම දෙමුහුන් හා තෙමුහුන් බලාගාර සංකල්පය ජාතික විදුලි පද්ධිතියට ළඟාවීමට අපහසු හා ළඟාවීමේදී පිරිවැය අධික ප්‍රදේශවලදී සාර්ථකව අත්හදා බැලීමේ හැකියාවක් පවතී ද යන්න එළුවතිව් ආදර්ශයෙන් උගත හැකි වනු ඇත. රැපියල් බිලියන ගණනින් පාඩු ලබන විදුලි බල මණ්ඩලයට ලාභ ලැබීම කෙසේ වෙතත් පාඩු අවම කරගැනීමට හෝ මෙවැනි ව්‍යාපෘති මහෝපකාරී වනු ඇත.
රජිත ජාගොඩ ආරච්චි