2007 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළෙඳපොළෙන් බොර තෙල් මිලදී ගැනීම සඳහා විදේශීය බැංකු හතරක් හරහා අත්සන් කරන ලද හෙජින් ගිවිසුම නිසා සිදුවූ අතිවිශාල පාඩුව පිළිබඳ මේ වනවිට යළිත් කතාබහක් ආරම්භ වී තිබේ. එයට හේතුව විගණකාධිපතිගේ වාර්තා පදනම් කරගෙන කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නුදුරු දිනක මේ පිළිබඳ පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට නියමිත බැවිනි.
දැනට වසර 10ක අතීතයක් හිමි හෙජින් ගිවිසුම පිළිබඳ ගැටලුවට ඇතැම් නිලධාරීන්ට එරෙහිව ගත් අධිකරණ සහ විනය ක්‍රියාමාර්ගවලට පසුව සම්පූර්ණයෙන් නිවාරණය වී ඇතැයි බොහෝ දෙනා මේ වනවිට නිගමනය කර ඇතිවාට සැකයක් නැත. එහෙත් අළුයට සැඟව තිබූ ගිනි පුපුරක් මෙන් මෙම කුප්‍රකට ජාවාරම පිළිබඳ තොරතුරු යළිත් කරළියට පැමිණෙමින් තිබේ. නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පියවර ගැනීම නිසාම මෙම ගැටලුව යටපත් කර දැමිය නොහැකිය. එයට හේතුව මෙයින් සිදුව ඇති දැවැන්ත මූල්‍යමය පාඩුව ආවරණය කිරීමට ගත් කිසිදු ප්‍රතිඵලදායී ක්‍රමෝපායක් පිළිබඳ වාර්තා නොවන බැවිනි.
ඇත්තවශයෙන් මෙම අවිචාරවත් ගිවිසුම අත්සන් කිරීම නිසා තෙල් මිලදී ගැනීමේදී සංස්ථාවට සිදුවූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි 2500කට අධිකය. මෙයට අතිරේක වශයෙන් බැංකු හතරට ගෙවන්නට සිදුවූ අලාභයද සලකා බලන විට අපට වූ හානිය අතිවිශාලය. මෙම මුදල් අයකර ගන්නේ කාගෙන්ද? එයට වගකිවයුත්තන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා ඔවුන්ගේ වත්කම් ප්‍රමාණවත් වේද? මේ වනවිට අලාභය අයකර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේද යන්න සොයාබැලිය යුතුය. කෙසේ වුවද කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවිට මේ පිළිබඳ විශාල වශයෙන් කරුණු අනාවරණය වනු ඇත.
හෙජින් ගනුදෙනුවේ ආරම්භය වන්නේ 2006 සැප්තැම්බර් 14දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයකි. එහි කොටසක් මෙසේ විය.
න්‍යාය පත්‍රයේ විෂයන් සාකච්ඡාවට පෙරාතුව ජනාධිපතිතුමාගේ ආරාධනය මත සිය නිලධාරීන් දෙදෙනකුගේ සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ලෝක වෙළෙඳ පොළේ ඉහළ යන තෙල් මිල හමුවේ ස්ථායිතාව පවත්වා ගැනීම පිළිබඳ දෘෂ්‍ය ආධාරක සහිතව ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. ඒ පිළිබඳ පත්‍රිකාවක්ද අමාත්‍ය මණඩලයේ අමාත්‍යවරැන් වෙත පිළිගන්වන ලදී.
ඉන් අනතුරුව සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කළ ඉදිරිපත් කිරීමේදී යෝජනා කළ විකල්පයන් පිළිබඳ තීරණයක් ගත හැකිවනු පිණිස, මෙම කරුණ මහ බැංකුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය, ඛනිජ තෙල් හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ අදාළ අන් කවර හෝ ආයතනවලින් සැදුම්ලත් නිලධාරි කණ්ඩායමක් විසින් තවදුරටත් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ කමිටුවක්ද පත්කරනු ලැබූ අතර භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර පත්කළ එම කමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ඛණිජ තෙල් අමාත්‍යංශය හා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතනවල නියෝජිතයන් පත්කර තිබුණි.
එම කමිටුවේ නිර්දේශ මත නිර්මාණය වූ හෙජින් ගිවිසුම ප්‍රධාන පෙළේ බැංකු හතරක් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟව අත්සන් කළ එකකි. මෙම ගිවිසුම අත්සන් කළේ එවකට විශාල ලෙස ලෝක වෙළෙඳ පොළේ ඉහළ යමින් තිබුණු බොරතෙල් සංස්ථාව මිලදී ගැනීමේදී සංස්ථාවට යම් සහනදායී මිලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. එම බලාපොරොත්තුවෙන් අත්සන් කළ මෙම ගිවිසුමෙන් සංස්ථාවට ලබාගත හැකිව තිබූ වාසිය වෙනුවට විශාල අවාසියක් සිදුවූයේ 2007-2008 වසරවලදී ඉහළ යමින් පැවැති තෙල් මිල මෙම ගිවිසුම අත්සන් කළ පසු පහළයාමේ ප්‍රවනතාවක් ඇති වීමය. ඒ නිසා ගිවිසුම මගින් වාසියක් ලබනවා වෙනුවට සංස්ථාවට සිදුවූයේ අවාසියක්මය.
ගිවිසුම අනුව එකඟව තිබුණේ ලෝක වෙළෙඳ පොළේ බොරතල් බැරලය අමෙරිකානු ඩොලර් 100ක් ඉක්මවා යනවිට එම 100 මිලට තෙල් බැරල් ලක්ෂ 2ක් සංස්ථාව ගතයුතු බවය. තෙල් මිල තව තවත් ඉහළ ගියද ගැනුම් මිලේ වෙනසක් නොවේ. උදාහරණයක් වශයෙන් පවසතොත් තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් වූ අවස්ථාවක වුවද සංස්ථාවට ඩොලර් 100 බැගින් මිලට ගත හැකිවිය. මෙය බැරලයකට ඩොලර් 30ක වාසියකි. එසේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලය ඩොලර් 100ට වඩා අඩුවූවද සංස්ථාව මිලට ගත යුත්තේ ඩොලර් 100 ගණනේය. තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා පහළ ගිය අවස්ථාවක වුවද සංස්ථාවට සිදුවන්නේ ඩොලර් 100 බැගින් මිලට ගැනීමට නිසා බැරලයකින් රුපියල් 20ක් පාඩුව දැරීමටය. ගිවිසුම අනුව ප්‍රකට බැංකු හතරක් හරහා ගිවිසුම බැඳුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක වෙළෙඳ පොළේ මිල සහ ගැනුම් මිල අතර පරතරය බැංකු මගින් ලෝක වෙළෙඳ පොළේ නිෂ්පාදකයන්ට ගෙවිය යුතුය. එම මුදල තෙල් සංස්ථාවෙන් බැංකුවට ප්‍රතිපූර්ණය කෙරේ.
ගිවිසගත් බැංකු හා තෙල් ප්‍රමාණය මෙසේය.
බැංකුවේ නම ගිවිසගත් බැරල් ප්‍රමාණය
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් 300,000
සිටි බෑන්ක් 400,000
ඩොයිෂ් බැංකුව 100,000
කොමර්ෂල් බැංකුව 200,000
ගිවිසුමෙන් තවදුරටත් එකඟ වී තිබුණේ තෙල් බැරලයක මිල ඩොලර් 130ට වඩා ඉහළින් අඛණ්ඩ මාස 3ක් පැවති විට තෙල් සංස්ථාවට උපරිම වශයෙන් මසකට බැරල් 100,000ක් පාදක මිලට මිලදී ගත හැකි බවය. යම් ලෙසකින්බැරලයක මිල ඩොලර් 100ට අඩුවෙන් මාස 12ක් එක දිගට පැවැති විට එම මාස 12 සඳහා මසකට පාදක මිලට බැරල් 20,000 බැගින් ගැනීමට සංස්ථාවට සිදුවේ මෙයින් පසු ගිවිසුම අහෝසි වෙයි.
අවාසනාවකට මෙන් මෙම ගිවිසුම අත්සන් කර ටික දිනකින් පසු මිල පහළ වැටුණු අතර විශාල මුදලක් නියම මිලට අමතර වශයෙන් ගෙවීමට සංස්ථාවට සිදුවිය. මෙය සිදුවූ විශාලතම පාඩුවකි.
මෙම ගිවිසුම කරුණු නිසියාකාරව අවබෝධ කර නොගෙන අවිචාරවත් ලෙස හැදූ එකක් නිසා ශ්‍රී ලංකාවට ලාභය වෙනුවට විශාල පාඩුවක් සිදුවූ බවට චෝදනා එල්ල විය. මහ බැංකු අධිපති ඇතුළු ඛනිජතෙල් අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් නිවැරදිව තම වගකීම් ඉටු නොකිරීම නිසා සංස්ථාවට විශාල පාඩුවක් සිදුවූ බව පෙනෙන්නට තිබිණ. වෘත්තීය සමිති සහ මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ මෙම ගිවිසුම දෙපාර්ශ්වයටම නිසි ආකාර තුළනය කිරීමකින් තොරව නිපැදවූ එකක් බවය. තෙල් මිල වැඩි වූ විට සංස්ථාවට වාසිය ලැබෙන්නේ මාස 3ක කෙටිකාලයකට වන අතර මිල පහළ ගියවිට මාස 12ක් පුරා වැඩිමිලක් ගෙවීමට සංස්ථාවට සිදුවෙයි. මෙහිදී සංස්ථාවට ලැබෙන වාසියට වඩා අවාසිය වැඩි බව ආර්ථික විද්‍යාව ගැන අවබෝධයක් නැති සාමාන්‍ය කෙනකුට වුවද සනාථ වේ.
2008 සැප්තැම්බර් මාසයේදී ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය අමෙරිකානු ඩොලර් 50ක් වූ විට පාදක මිල වූ ඩොලර් 100ක් ගෙවීමට සංස්ථාවට සිදුවිය. බැරල් 100,000ක් එම මිලට ගැනීම නිසා සංස්ථාවට එකට එකක පාඩුවක් සිදුවිය. මෙම කාලයේදී සිදුවූ සමස්ත පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 775 සිට බිලියනය අතර විය.
මෙම තත්ත්වය නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 2009 ජනවාරි මස ලබාගත් නියෝගයක් පරිදි තවදුරටත් හෙජින් ගිවිසුම පවත්වාගෙන යාම බලරහිත කර ගෙවීම් තාවකාලිකව නැවැත්වීම සිදුවිය. එම තීන්දුවෙන් අධිකරණය මෙම ගිවිසුමට බැඳීමේදී යම් දූෂණ වංචා සිදුව ඇති බවටද නිගමනය කර තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිටි බැංකුව සහ ඩොයිෂ් බැංකුව තෙල් සංස්ථාව ජාත්‍යන්තර බේරැම්කරැවකු හමුවට පමුණුවූ අතර මෙම ගිවිසුම අවලංගු කිරීම මගින් සංස්ථාව අන්තර්ජාතික සම්මුතීන් කඩකර ඇති බවට චෝදනා නැගීය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය මේ සඳහා දැක්වූ මැදිහත්වීම අල්ප විය.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එරෙහිව ලන්ඩන් උසස් අධිකරණයට පැමිණිලි කළ අතර 2011 අප්‍රේල් 12දා එයින් නිකුත් වූ නියෝගය ප්‍රකාරව තෙල් සංස්ථාවට අමෙරිකානු ඩොලර් මිලියන 160ක් සහ පොලියද ගෙවිය යුතුවූ අතර මුළු මුදල ඩොලර් මිලියන 180ක් විය. මෙම නඩු තීන්දුවටද තෙල් සංස්ථාව අභියෝගයට ලක්කළ අතර එම අභියාචනය 2012 ජූලි 27 දින ලන්ඩන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වුවද ස්ටෑන්ඩර්ඩ් බැංකුව සහ තෙල් සංස්ථාව අතර වසර 5ක් තිස්සේ පැවැති මෙම හබය 2013 ජූනි මස 30දා ඩොලර් මිලියන 60ක් ගෙවීමෙන් සමථයකට පත්කර ගැනීමට සංස්ථාවට හැකිවිය.
මෙම නඩු කටයුතු වෙනුවෙන් එවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිව සිටි ඒ.එච්.එම්. ෆවුසි සහ මහ බැංකු අධිපති අජිත් කබ්රාල් ඇතුළු උසස් නිලධාරීන් රුසක්ද විදේශ ගතවූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සහ තෙල් සංස්ථාවේ නිලධාරීහු මෙයට සහභාගි වූහ. මෙම නඩු වෙනුවෙන් නඩු ගාස්තු හා ගමන් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 488ක් ගෙවීමට රජයට සිදුව තිබිණ. මෙය ගෙවිය යුතු අලාභයට අතිරේක වශයෙනි.
මෙම කාලයේදී තෙල් සංස්ථාවේ කිසිදු සේවකයකුට හෙජින් ගිවිසුමට අදාළ කිසිදු පුවතක් හෝ අදහසක් මාධ්‍යයට ප්‍රකාශ කිරීම බලධරයන් විසින් සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබ තිබීම නිසා මෙම සුවිශාල වංචාව පිළිබඳ සත්‍ය පුවත් දැනගැනීමට මහජනතාවට නොහැකි විය. මෙලෙසට වුවමනාවෙන්ම යටකර තිබූ මෙම සුවිශාල වංචාව දැන් යළිත් එළියට ඇදෙමින් තිබෙන්නේ කෝප් කමිටුව හරහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවිනි.
ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත පවසන්නේ මෙම සුවිශාල වංචාවට නිලධාරීන්ට පමණක් දඬුවම් පැනවීම ප්‍රමාණවත් නොවන බවය. මෙය එම රජය ගත් ප්‍රතිපත්ති තීරණයක් වූ අතර නිලධාරීන් කළේ එය ක්‍රියාත්මක කිරීම පමණකි. එවකට සිටි ජනාධිපති සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයාගෙන් මෙම අලාභය අයකර ගැනීම කළයුතු අතර නිලධාරීන් කර ඇත්තේ එම නියෝග ක්‍රියාත්මක කිරීම පමණකි. මෙම මුදල් බැංකුවලට ගෙවන ලෙස තෙල් සංස්ථාවට නියෝග කර ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින් බවද ඛනිජ තෙල් මිල මාස දෙක තුනකින් අඩුවන බව දැන දැනම මෙම ගිවිසුම සංස්ථාවට අවාසි සහගත ලෙස අත්සන් කර ඇත්තේ විශාල ලෙස කොමිස් මුදල් ලබාගැනීමේ චේතනාවෙන් බවද ඔහු කියයි. මෙය නිසියාකාරව අත්සන් කළා නම් එවකට ඛනිජතෙල් මිල පිළිබඳ ගවේෂණයක යෙදී මෙය කළයුතුව තිබුණි. එහෙත් එසේ සිදු නොවිණි. මිල එකට එකක් අඩුවූ විට මාස 12ක් තිස්සේ වැඩි මිලක් ගෙවීමට ගිවිස ගැනීම අමු අමුවේම විශාල ජාතික අපරාධයක් බව සභාපති කියයි.
මෙම ගිවිසුම නිසා ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් මිල අඩු වූ විට මෙරට ජනතාවට අඩු මිලට අළෙවි කිරීමට රජය කටයුතු කළේ නැත. හෙජින් ගිවිසුමෙන් සිදුවූ පාඩුව ආවරණය කිරීමට යයි ජනතාවට වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට එවක රජය කටයුතු කර ඇත. ඒ නිසා සාමාන්‍ය ජනතාවට දෙපැත්තකින් හිරිහැර සිදුවූ බව අවධාරණය කරන සභාපතිවරයා මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳ වළ දා තිබූ සියල්ල ගොඩට ගෙන ජනතාවට සිදු වූ හානිය වගකිව යුත්තන්ගෙන් අයකර ගත යුතු බව කියයි.
යසවර්ධන රුද්රිගු