2019 මාර්තු 30 වන සෙනසුරාදා

ග්‍රාම නිලධාරී කාර්යාලය ලේ විලක් කළ ද්විත්ව ඝාතනය...

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

පසුගිය 23 වන දිනය උදාවී හෝරා කිහිපයක් ගෙවා දමන්නටත් මත්තෙන් සඳුන්ගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ අහස පොළොව නුහුලන අපරාධයක් පිළිබඳවය. ඒ සඳුන්ගම ග්‍රාමසේවක නෝනයි එයාගෙ අම්මයි කපා කොටා මරා දමා කියාය. 

මෙලෙස ඝාතනයට ලක්ව මිය ගියේ තිස්සමහාරාම සඳුන්ගම ග්‍රාමසේවා නිලධාරිනිය වන වීරවිල පදිංචි 27 හැවිරිදි දෙදරු මවක වන තේනාහැන්නදිගේ නදීෂා ලක්මාලි  හා ඇගේ මව වන 54 හැවිරිදි ජී.එස්.පී. කුමුදුනී මල්කාන්ති නැමති දෙදෙනායි.
වයස අවුරුදු 07ක හා මාස 08 දරු දෙදෙනෙකුගේ මවක වූ ලක්මාලි මහත්මියට ග්‍රාමසේවා නිලධාරිනියක ලෙස පත්වීම ලැබ තවමත් වන්නේ වසරකටත් අඩු කාලයකි. හාහාපුරා කියා ඇයට ලැබුණු පළමු ආණ්ඩුවේ රස්සාව මෙය විය. ඇයගේ පළමු පත්වීම ඇයට ලැබුණේ තිස්සමහාරාම සඳුන්ගම ප්‍රදේශයටය. මොන ප්‍රශ්න තිබුණත් ඇය සිය රාජකාරිය අකුරටම ඉටුකළ නිහතමානී කාර්යශූර නිලධාරිනියකි. සෑම දිනකම මෙන්ම පසුගිය 23 වන දිනද ඇය රාජකාරි කටයුතු සඳහා පැමිණ ග්‍රාමසේවා කාර්යාලය විවෘත කළේ පෙරවරැ 8.00ට පමණය. වෙනදා ග්‍රාමසේවා නිලධාරිනිය පමණක් මෙම කාර්යාලයට පැමිණ මහජන සේවය සැපයුවද පසුගිය දෙසැම්බර් 26 වන දින සිට ග්‍රාමසේවක මහත්මියගේ තනි නොතනියට ඇයගේ මවද ඇය කැටුව යන එන රාජකාරි සඳහා යාමට පුරැදුව සිටියාය. එයට හේතුව වූයේ සිය දියණියට ඇයගේ සැමියාගෙන් ජීවිත තර්ජනයක් එල්ලව තිබූ නිසාවෙනි.

වෙනදා මෙන් ඉකුත් 23 වන දින පෙරවරැවේ ද සිය ග්‍රාමසේවා දියණියගේ කුඩා යතුරු පැදියට ගොඩ වූ මවද ඇය සමඟ සඳුන්ගම ග්‍රාමසේවා කාර්යාලයට පැමිණියේ ඇයගේ ආරක්ෂාවටත් එක්කය. මේ යන්නේ අවසන් ගමන බව නොදත් ග්‍රාමසේවක අම්මාත් ආච්චි අම්මාත් වයස අවුරුදු 07 සහ මාස අටක දරු දෙදෙනා නිවසේ තබා ඉක්මනින් එන්නම් මගේ පුතේ කියා නිවසින් පිටත් වූයේ මේ යන්නේ අවසන් ගමන බව නොදත් නිසාවෙන් විය යුතුය. ග්‍රාමසේවා කාර්යාලයට පැමිණි දෙදෙනාට එහි කටයුතු කිරීමට ලැබුණේ පැය එ‍කහමාරකටත් වඩා අඩු කාලයකි. සිය ග්‍රාමසේවක දියණිය කාර්යාලය තුළට වී රාජකාරී කටයුත්තක නිරතව සිටි අතර ඇගේ ආරක්ෂාවට පැමිණි මව කාර්යාලයෙන් එළියට වී කාලය ගත කෙරැවාය. වේලාව පෙරවරැ 9.30ට පමණ විය. එකවරම ඒ දෙසට සෂි එනු දුටු ග්‍රාමසේවක දියණියගේ මව "පුතේ සෂී මේ පැත්තට එනවා" කියාගෙනම කාර්යාලය තුළට ඇතුළු වූවාය. සෂී යනු ග්‍රාමසේවා මහත්මියගේ සැමියාය. 

ග්‍රාමසේවා කාර්යාලය තුළට පැමිණි සෂි ඔහුගේ ඉනේ තිබූ පිහිය එළියට ඇද්දේය. මෙය දුටු ග්‍රාමසේවක මහත්මිය ඉදිරියට ආවත් ඉන් පලක් වූයේ නැත. මේ රුදුරු මිනිසා අත තිබූ පිහියෙන් ඉවක් බවක් නැතිව ග්‍රාමසේවක නිලධාරිනිය වූ සිය බිරිඳට හා ඇගේ මවට පිහි පහර කිහිපයක් එල්ල කළේය. සිය සැමියා පැමිණ මවට පහර දෙන විට කෑ ගැසීම නිසා ගම්මුන්ද එතනට එක් රැස් වූහ. නමුත් ඒ වනවිටත් සියල්ල සිදුවී හමාරය. ග්‍රාමසේවක මහත්මියගේ මව එතනදීම මිය ගොස් සිටියාය. ගම්වැසියන් පැමිණෙන විටත් ග්‍රාමසේවක මහත්මිය පණ අදිමින් සිටි අතර එතනට ආ පිරිසට ඇය පවසා ඇත්තේ මට වතුර ටිකක් දෙන්න කියා පමණි. අසල්වැසියන් එක්ව ඇයට බීමට කටට වතුරද දමා 1990 හදිසි ගිලන් රථ සේවයට කතා කර දෙදෙනාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි. එහෙත් රෝහලට ගෙනයන්නටත් මත්තෙන් දෙදෙනාම මියගොස් තිබුණි.

කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුව බවට පත්ව තිබුණි. පවුල් ආරවුලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබුණේ බිරිඳගේ මහ ගෙදරයි. බිරිඳගේ මහ ගෙදර තමන්ගේ නමට ලියා දෙන්නැයි ඉල්ලමින් ලක්මාලිගේ සැමියා වන සෂී නිතර නිතර අඩදබර ඇති කරගෙන තිබේ. විටෙක ලක්මාලි සමඟත් තවත් විටෙක ඇගේ මව සමඟත් ආරවුල් ඇති කරගත් මොහු ලක්මාලිගේ සහෝදරියන් දෙදෙනා සමඟද ආරවුල්වල පැටලි තිබේ. කෙසේ නමුත් ලක්මාලි මේ සියල්ල ඉවසා දරා සිට ඇත්තේ සිය කුඩා දරුවන් දෙදෙනා නිසාය. සිය සැමියා වන 29 හැවිරිදි මහ මරක්කලගේ සෂී සනත් පැතුම් මීට පෙර යුධ හමුදාවේ සේවය කළ අයෙකි. මීට වසර කිහිපයකට පෙර ඔහු යුධ හමුදාවෙන් පලාවිත් ගමට වී සිටියේ වෙනත් රුකියාවකට හෝ නොයමිනි. ගම පුරා ඇවිද යමින් දවස පුරා රස්තියාදුවේ ඇවිද ගිය සෂී වැටුණේ නරක සමාජයටය. දින දින ඔහු පුරැදු වුයේ විවිධ විෂමාචාර ක්‍රියා සිදු කරන්නටය. යුධ හමුදවෙන් පලා ආ ඔහු අඹුදරුවන් පෝෂණය කරනවා වෙනුවට කෙටිකලක් තුළ ප්‍රදේශයේ ජනතාවගේ පවා දෝෂදර්ශණයට ලක් වූ විෂමාචාර පුද්ගලයෙක් බවට පත්වීය. කෙටිකලක් තුළදීම සෂි හොඳ දඩයක්කරැවෙක් බවට පත්වීය. ඔහුට ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද ලැබුණි

මොන දේ වුණත් ඔහුට ඕන වුණේ මහ ගෙදර තමන්ගේ නමට ලියා ගන්නටය. එය සිදු වෙන බවක් නොදුටු සෂී පසුගිය දෙසැම්බර් 26 වන දින වීරවිල පොලිසිය අසල ඇති ඇයගේ නිවසේදී බිරිඳට පිහි පහරක් එල්ල කරන්නේ ඇය මරා දමන්නටය. එහෙත් ඇය දිව ගොස් ජීවිතය බේරා ගැනීමට සමත් විය. මෙම සිදුවීම වනවිට එම ස්ථානයේ වීරවිල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුද සිට ඇති නමුත් ඔවුන් හෝ කිසිවක් සිදු කර නැතැයි කියති. සෂී මේ විදියට පොලිසිය පවා බලාසිටියදී පිහියකින් අනින්නේ ඔහුට වීරවිල පොලිසියේ බහුතරයක් නිලධාරීන් හා සමීප සම්බන්ධතාවයක් තිබූ නිසා බව ප්‍රදේශවාසීහු කියති. 

එදා සැමියාගේ පිහිපහර කාගෙන දිව ගිය ලක්මාලි දෙබරවැව මූලික රෝහලට ඇතුලත් වන්නේ ප්‍රතිකාර සඳහාය. ඇය දින කිහිපයක්ම දෙබරවැව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. එහෙත් ලක්මාලි රෝහලෙන් සුවය ලබා ඒමටත් පෙරම වීරවිල පොලිසියේ ඇතැම් නිලධාරින් ඔහුට පොලිස් ඇප ලබාදී තිබුණේ ඉතා පක්ෂග්‍රාහි අයුරින් බව ඥාතීහු කියති.මෙම සිද්ධියත් සමඟ තිස්සමහාරාම කතරගම ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවද ඝාතකයාට එරෙහිව වීදි බසින්නට වූහ. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු වීරවිල නිවස වෙත දේහයන් රැගෙන ආවේය. ඒ 24 වන දිනය. එදින සවස මිය ගිය දෙදෙනාගේ ඥාතීන් හා ගම්වාසීන් එක්ව තිස්සමහාරාම හම්බන්තොට ප්‍රධාන මාර්ගය වීරවිලෙන් හරස් කර විරෝධතාවයක්ද පැවැත්විණි. මෙම විරෝධතාවය සඳහා ගම්වාසින් හා ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතාවයට එක්ව සිටි පිරිස් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිස්සමහාරාම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසියට බාර වූ සැකකරැ පසුගිය 24 වන දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරැණු අතර සැකකරැ ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ජයශාන්තද සිල්වා, තිස්සමහාරාම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජී.අයි.එස්.කේ.එන්. මල්දෙණිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩි දුර පරීක්ෂණ පවත්වති.

සටහන හා සේයාරූ - 
සූරියවැව නුවන්  ජයසේකර