අශෝක හඳගමගේ දසවැනි සිනමා කෘතිය අසන්ධිමිත්තා සිනමා ප්‍රේක්ෂකයා සත්‍යය සහ මායාව අතර අතරමං කරවන අමුතුම සිනමා අත්දැකීමක් ලබාදීමට සමත් නිර්මාණයකි. එය සමන් වික්‍රමාරච්චිගේ එනමින්ම ඇති නවකතාව ආශ්‍රයෙන් කළ සිනමා කෘතියකි. නවකතාවම සිනමාවට නොනැගුණ ද අධ්‍යක්ෂවරයා එය පැවසීමට කදිම සිනමා ආඛ්‍යාන රීතියක් අනුගමනය කරයි.
නවකතාවෙහි එන සුජීව නමැති ප්‍රබන්ධ රචකයා හඳගම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත්කර ඇත. සාහිත්‍ය කෘතියකට ලේඛකයාගේ චරිතය ගැලපුණ ද එය සිනමා කෘතියක් බවට පත්වන විට සිනමාකරුවකු බවට පත්කිරීම වඩාත් සිනමානුරූපි බව පෙනේ.
සුජීවගේ (ශ්‍යාම් ප්‍රනාන්දු) නිවසේ දුරකතනයට එක්තරා රුයක ඇමතුමක් පැමිණේ. ඒ අසල සුජීවගේ බිරිය වසන්ති ද සිටින අතර (යශෝධා විමලධර්ම) ඇය මේ ඇමතුම ගැන නුරැස්සන ස්වභාවයක ඉංගිත පළකරයි. ඇමතුව සුජීව ආහ්ලාදයට පත්කරන ආකාරයක් ප්‍රේක්ෂක අපට පෙනේ. එය පැමිණෙන්නේ ඔහුගේ පාසල් මිතුරියක වන අසන්ධිගෙනි. ඒ නම සැබෑ නම නොව ඇගේ තරබාරු බව නිසා මිතුරන් භාවිතා කළ හැඳින්වීමයි. ඇය සන්ධි නොපෙනෙන තරමට ස්ථූලවීම නිසා අසන්ධිමිත්තා නම ලබන්නීය.
අසන්ධි තම ඇමතුමේදී පවසන්නේ තමා මිනී තුනක් මැරූ කසාද දෙකක් කරගත් ගැහැනියක් බවත් ළඟදීම එල්ලුම්ගස් යාමට පෙර මේ කතාව චිත්‍රපටයකට සුදුසු නිසා තම පාසල් මිතුරා හමුවී පැවසිය යුතු බවත්ය. මෙහිදී අපට සිනමා අධ්‍යක්ෂවරයාගේ කුඩා පවුල යථාර්ථමය ලෝකයේ හමුවේ. ඒ සුජීවගේ බිරිය හා පුතා සමගිනි. සුජීවට එන ඇමතුම ගැන බිරියට සතුටක් නැත. එය සාමාන්‍ය අඹුසැමි ලෝකයට පොදු සැකමුසු හැඟීමකි. සැබැවින්ම මේ හැඟීම්වලට කිසිම පදනමක් ද නැති බව පසුව සිනමා කෘතිය තුළින් පැහැදිලි වේ.
අසන්ධිමිත්තා මායාමය චරිතයකි. සැබවින්ම ඇය වැනි චරිතයක් සිටියද? ඇය කියන්නේ සැබෑ කතාවද? නැත. ඇගේ චරිතයත් ඇය මුහුණ දුන් සිද්ධි සියල්ලමත් පරිකල්පනික මැවීම් පමණි. මෙහිදී අපට පෙනෙන්නේ සුජීව හා අසන්ධි අතර සන්නිවේදනය සිදුවන්නේ දුරකතන හරහා බවය. කිසිවිටෙක ඔහුට අසන්ධි හමුවන්නේ නැත. එහෙත් ඇය හමුවීමේ අවශ්‍යතාවය නිතර ඔහුගෙන් ඉඟිකෙරේ. රාත්තල් 300ක් බරුති අසන්ධි ප්‍රේක්ෂකයා වෙත ගෙන එනුයේ කුතුහලය දනවන ආකාරයෙනි.
චිත්‍රපටය පුරා අසන්ධි සහ සුජීව අතර හටගන්නා මායා යථා සබඳතා දැකගත හැකිය. ඒ අතර අසන්ධිගේ ජීවිත අත්දැකීම් තිරයේ මැවේ. අපට පෙනෙන්නේ ඒ අසන්ධි සුජීවට පවසන කතාව බවයි.
නවකතාව මගින් සාර්ථක තිර රචනයක් කර සිනමා නිර්මාණයක් කිරීමේ අභියෝගය හඳගම ජයගෙන ඇත. එමෙන්ම ප්‍රේක්ෂකයාට සිතීමට අවස්ථාව ලබාදෙන කෘතියක් ද තිළිණ කරයි. මෙය නැරඹීමට වෙහෙසක් නැති අපූරැ ගලායාමක් සහිත චිත්‍රපටයකි.
මිනී තුනක් මැරෑ බව පවසන අසන්ධි පවසන කතාව ආශ්‍රයෙන් සුජීව කතාවක් ගොඩනගා ගනී. සුජීව එම කතාව ගොඩනගන්නේ තම අවශ්‍යතාව පරිදිය. ඒ අනුව එය අසන්ධිගේම කතාව ද යන පැනය ද මතුවේ.
අසන්ධි බස් රථයේ දී හදිසියේ හමුවන විකී හෙවත් වික්‍රමසූරිය (ධර්මප්‍රිය ඩයස්) සමඟ පවුල් කෑම අරඹයි. ඇගේ දරු දෙදෙනා වශයෙන් හඳුන්වන ළමුන්ට විකී පාඩම් කියාදෙයි. ඒ අතර අපට අසන්ධිගේ පෙර විවාහයේ සැමියකු ලෙස සලකිය හැකි පුද්ගලයකුගේ මනෝභාවයන් (ඩබ්. ජයසිරි) ද ප්‍රතිනිර්මාණය වේ. විකී සහ අසන්ධි අතර ගැටුම් ඇතිවන්නේ ඔහු රැකියාවක් නොකර නිකම් සිටීම නිසාය. අසන්ධි රථවාහන පාලිකාවක ලෙස කටුක රුකියාවක් කරනු පෙනේ. එහිදී ඇයට පීඩාකාරී අත්දැකීම්වලට ද මුහුණ පෑමට සිදුවේ. මේ අතර අසන්ධි සහ විකී එකතු වී මුදලක් උපයා ගැනීම සඳහා අපූරු වෘත්තියක් ආරම්භ කරයි. දුකට පත් ගැහැනුන්ට සහන සැලසීමේ සේවයකි. ඒ අතර එවැනි දුකට පත් තරුණියක හමුවීමට විකී සහ අසන්ධිමිත්තා යයි. එම නිවසේදී විකී අතින් තරුණියක සහ කාන්තාවක ඝාතනය වේ. ඔවුන් දෙදෙනා එතැනින් පැන යති.
නැවතත් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා යථාර්ථයට ගෙන එන්නේ සුජීව හරහාය. සුජීව අසන්ධි පදිංචිව සිටි කුලී නිවස සොයායයි. ඇය හමු නොවේ. ඇය පැවසූ බොහෝ දේවල් ව්‍යාජ බවට ඉඟි එහිදී හමුවේ. මෙහිදී අපට පෙනෙන්නේ තරබාරු වෙනත් අයගේ ආකර්ශනයකින් තොර කාන්තාවක තමන් මවාගත් ලෝකයක් තම පාසල් මිතුරකුට පැවසීමෙන් විඳින තෘප්තියක් බවය. එය අසත්‍යයක් වුවද මායා ලෝකයේ ජීවත් වන ඇය සලකන්නේ එය යථාවක් ලෙසය. ඇය තමන්ට පෙර විවාහවලින් ලැබුණු දරුවන් දෙදෙනකු සිටින බව පැවසුවත් සුජීව එම නිවසට ගිය විට දැකගැනීමට ලැබෙන්නේ ඒ ගමේ වෙනත් පවුලක කොල්ලන් දෙදෙනකු බවය. ඝාතන තුනකට වගකිව යුතු බව පැවසුණද මෙහි හමුවන්නේ විකී නම් චරිතය අතින් සිදුවන ඝාතනය.
මේ සියල්ලම මායාවන් බව අවසානයේ අධ්‍යක්ෂවරයා ඍජුව පවසයි. මෙය සමන් වික්‍රමාරච්චිගේ නවකතාව ඇසුරින් හඳගම තැනූ විත්‍රපටයක් පමණක් බවත් යථාර්ථයක් නොවන බවත් කතාව අවසානයේදී පැවසේ.
මෙහි නළුවරණය ද ඉහළ මට්ටමක පවතී. අධ්‍යක්ෂවරයා දුෂ්කර අසන්ධිමිත්තා චරිතයට නිල්මිණි සිගේරා තෝරා ගනී. ඇය එම දුෂ්කර ක්‍රියාව ජයගෙන ඇති බව ගමන් විලාසය. වචන උච්චාරණය ඇසේ සහ මුහුණේ ඉඟි ආදියෙන් පෙනේ. එහෙත් අපගේ සිත්ගත්ම චරිතය විකී ලෙස දෙපිටකාට්ටු චරිතයක් රඟපාන ධර්මප්‍රිය ඩයස්ය. ඔහුගේ ව්‍යාජ ජීවිතය යථාර්ථමත් ලෙස තිරයේ මැවීමට ධර්මප්‍රිය ඩයස්ගේ ප්‍රතිභාව මතුවේ. දෙබස් උච්චාරණයෙන්, ඇවිදින හා හැසිරෙන විලාසයෙන් ඔහු සැබෑ වික්‍රමසූරිය බවට පත්වේ. යශෝධා විමලධර්ම සහ ශ්‍යාම් ප්‍රනාන්දු ද ප්‍රතිවිරුද්ධ ගතිලක්ෂණ සහිත අඹුසැමියන් ලෙස රංගන ප්‍රතිභාව දක්වති. රැක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, සඳලි හඳගම, ගයනි හසන්තිකා ආදී නළුනිළියන් සියලු දෙනාම මෙහි සාර්ථක චරිත නිරූපණයකට පිවිසෙති.
චන්න දේශප්‍රියගේ කැමරාව මෙහෙයවීම ද චිත්‍රපටයේ රිද්මය හා මානව බද්ධවේ. එය විටෙක අඳුරැ අහුමුළු හරහා ද විටෙක චරිත පසුපස දුවමින් ද මනාව ග්‍රහණය කරගනී. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණය ද කපිල පූගලආරච්චි සංගීතයද චිත්‍රපටයට ලබාදී ඇත්තේ මනා සහයෝගයකි.
කුසුම්සිරි විජයවර්ධන