2019 මාර්තු 30 වන සෙනසුරාදා

රාහු කාලය ටක්කෙටම හරිද?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 728

රාහු කාලයේ සුබ කටයුතු නොකරන පුරුද්දක් අපට ඇත. එයට හේතුව රාහු කාලයේ කරන සුබ දේ අසුබ වියහැකි යැයි පිළිගෙන තිබෙන බැවිනි. ඇත්තවශයෙන්ම රාහු කාලය යහපත් දේ සඳහා යොදාගැනීම නුසුදුසු ද යන්න පිළිබඳ විවිධ මත ගැටුම් පවතී. අවුරුදු ලිතේ රාහු කාලය දක්වා ඇත්තේ එම කාලයේ වැඩ වැරුමක් සිදුවිය යුතුයැයි සලකා ගෙනය. නැකැත් තැනීමේදී ද ජ්‍යොතිෂවේදීන් රාහුකාලය මගහැර තනයි.

රාහු කාලය පිළිපැදීම නූගත් මෝඩ අමනෝඥ පුරුද්දක් යැයි මූනඉච්ඡාවට ගරහන බොහෝ දෙනා රහසිගතව රාහු කාලය අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. කේන්ද්‍ර හඳහන් විශ්වාස කරන්නේ නැතියැයි ප්‍රසිද්ධියේ පවසන උගත් බුද්ධිමත් ධනවත් අය තම දුවගේ පුතාගේ අධ්‍යාපන, විවාහ මංගල්‍ය වගේ වැදගත් කටයුතු යොදාගැනීමේදී හොර රහසේම කේන්ද්‍ර බලන බව නොරහසකි. ඔවුන් එසේ රහසිගතව මෙය කරන්නේ කේන්ද්‍ර පසුපස යාම තම උගත්කමට, වියත්කමට කැළලක් ලෙස සමාජය පිළිගනීවී යන සැකයෙන් වියහැකිය.

රාහු කාලය මේ තරම් දුරට ජනතාවගේ හිස් තුළට රිංගවීමට අපේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් මෙන්ම ජනමාධ්‍යයද වගකිව යුතු බව කිව යුතුයි. ජ්‍යොතිෂවේදීන් තම සාක්කු පුරවන දැනීම සඳහා රාහු කාලය පිළිබඳ ජනතාව බියට පත්කර ඇත. කොහොම වුණත් පරම්පරාවෙන් පැවැත ගෙන ආ පුරැදු නිසා බොහෝ දෙනා රාහු කාලය අනුගමනය කරන්නට පෙළඹී ඇතිබවද පෙනෙන්නට ඇත. රාහු කාලය පිළිබඳ සිංහලෙන් ලියැවුණ මුල්ම ග්‍රන්ථය වන්නේ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගේ ජීවිතය හා ග්‍රහයෝ යන පොතය. එහි 387-389 යන පිටුවල ගුලිකාව හා රාහුකාලය යනුවෙන් පළකර ඇති විස්තර අනුව සතියේ දින හතේ රාහු කාලය පවතින අයුරු දක්වා තිබේ.

එහි දැක්වෙන කරැණු අනුව දවසක දිවා කාලය එනම් හිරු උදාවේ සිට බැසීම දක්වන කාලය 8ට බෙදූවිට පැය 1 විනාඩි 30 කොටස් 8ක් ලැබේ. ඒ කොටස් අට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ක්‍රමයෙන් ඒ දින හිමියාගෙන් පටන්ගෙන ඔහුගෙන්ම අවසන් වන ලෙස යෙදී ඇත. මෙයින් ශනි හිමි කොටස ගුලික ලෙසද, කුජ හිමිකොටස මෘත්‍ය ලෙසද, බුද හිමි කොටස අර්ධ ප්‍රහරණ ලෙසද ගුරැගේ කොටස සමකණඨක යැයිද හැඳින්වේ. සඳු, ශුක්‍ර හිමි කොටස් නිදොස් හෙවත් හිස්වේ. රාහු කාලය යනු මේ රවි හිමි කොටසය.

මේ අනුව ඉරිදා සහ සෙනසුරාදා යන දිනවල පමණක් ඉරිදා රවිගේ අවසන් කොටස රාහු කාලය ලෙසද ශනිදා ශනිට හිමි පළමු කොටස ගුලික ලෙසද අර්ථ දක්වා ඇත. ජීවිතය හා ග්‍රහයෝ පොතේ දැක්වෙන මෙම සිද්ධාන්තය අනුව සතියේ දින හතේ රාහු කාලයන් යෙදෙන කාල පාරාසයක් දැනට සම්මතයේ ඇති රාහු කාල හා ගැලෙපන්නේ ඉරිදා සහ බදාදා දින දෙකේ පමණක් වීම විශේෂයි.

සංස්කෘතික ශ්ලෝක අනුව සිල්වා ඈපා අප්පුහාමි ලියූ ගුණදොස් සංග්‍රහය නම් පැරැණි ග්‍රන්ථය අනුව දැක්වෙන රාහු කාලය හා ජීවිතය හා ග්‍රහයෝ පොතේ දැක්වෙන රාහු කාලය බොහෝ දුරට සමාන නමුත් එහි සෙනසුරාදා දිනයේ රාහු කාලය හා යම කණඩයේ ස්ථාන මාරුවී ඇත.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දිනපතා රාහු කාලය නිවේදනය කිරීම මුලින්ම සිදුකළේ අපේ අසල්වැසි භාරත දේශයයි. අනතුරැව අපේ රටේ මාධ්‍ය ද එය අනුකරණය කිරීමට පටන්ගෙන ඇත. අද එය අනිත් සැමදේ මෙන්ම වාණිජකරණයට ලක්ව ඇත.
මෙයට වසර 2000 පමණ පෙර භාවිතයේ විසූ “වරහමිහිර* නම් පඬිවරයා රචිත දෛවඥ වල්ලභ නම් ග්‍රන්ථයේ දැනට සම්මත රාහු කාලයේ සිද්ධාන්තය පැහැදිලි කර ඇත. මෙහිදී දින අනුව රාහු කාලය බෙදීම වෙනුවට අට දිශාව අනුව දිවා කාලය කොටස් අටකට බෙදා ඇත. දින හතේ දින හිමියන්ට දිවා කාලයේ කොටස් අට බෙදීයාමේදී එනම් හත අටට බෙදීමේදී එකම දින හිමියාට කොටස් දෙකක් ලැබුණත් දිශා අටට බෙදීමේදී එසේ නොවීමත් දිශා අටට කාලය බේදීමේදී සිද්ධාන්තයේ ක්‍රමවත් වීමත් සම්මත රාහු කාලය ලෙස අදටත් භාවිත කරන වරහමිහිර පඬිවරයාගේ කෘතියේ අඩංගු රාහු කාල සිද්ධාන්තයේ විශේෂ ලක්ෂණයයි.

සතියේ දිනවල රාහු කාලය බැලීමේදී බිත්ති ලිත්, දිනපොත් ආදියේ රාහු කාලය දක්වා ඇත්තේ සුර්ය උදාවේ සංශෝධනය රහිතවය. එහෙත් එදිනෙදා සූර්ය උදාව අනුව නිවැරදි රාහු කාලය සකසා ගතයුතු වෙයි. සතියේ දිනවල අදාළ රාහු කාලයන් සඳහා සම්මත රාහු කාලය එසේම යොදාගත හැක්කේ උදේ 6.00ට හිරැ උදාව සහ සවස 6.00ට හිරැ බැසීම සිදුවන අවස්ථාවේ පමණය. ඒ නිසා අද භාවිත කරන රාහු කාලය එසේ නිවැරදි විය යුතු වෙයි.

යසවර්ධන රුද්රිගු 
(අන්තර්ජාලය ඇසුරෙනි)

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00