2019 මාර්තු 30 වන සෙනසුරාදා

ළමා ලෝකයේ කාලය ඇති කළ වෙනසක අරුමේ

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 2409

වර්තමානයේ වෙසෙන දරුවන්ගේ ළමා කාලය සහ 60-70 ගණන්වල අප ගෙවූ ළමා කාලය වර්තමාන දරුවාට අසාධාරණයක් නොවන ලෙස පරිස්සමින් සැසඳිය යුත්තකි. වර්තමාන දරුවා තාක්ෂණය හරහා ලෝකයට විවෘත වූ අයෙකි. පරිගණක ඉන්ටනෙට් තාක්ෂණය නිසා ලොව හැම අස්සක් මුල්ලක් ගානේ සිදුවන සිද්ධි, කරන නිර්මාණ, සිදුවන නවීකරණ පිළිබඳ තතු වර්තමාන දරුවා වැඩිහිටියන්ටත් කළින් ග්‍රහණය කරගන්නේය. ඒ ඔවුන්ගේ ලෝකයයි. 

අප ගෙවූ ළමා කාලයේදී තතු දැනගත්තේ පතපොතිනි. පුවත්පතිනි. සැණෙකින් යමක් දැනගත්තේ නම් මේ ගුවන්විදුලිය හරහාය. ලෝකයේ බොහෝ විස්තර අප දැනගන්නේ සිද්ධිය සිදුවී දින ගණනක් ගෙවී ගිය පසුවයි. එකල එළිදුටු ළමයා උදෙසා වූ නිර්මාණ ගැළපුණේ ඒ කාලයටයි. චමත්කාරය පැවතියේ අපේ ළමා කාලයේ පමණකැයි කියමින් මෙකල දරැවාගේ ළමා කාලයට ගැරහීමේ අයිතියක් අපට නැත. එහෙත් ඔවුන්ගේ ළමා කාලය සුන්දර තත්ත්වයට පත්කිරීමේ වගකීම අපට ඇත. 

වර්තමාන දරුවාගේ ළමා කාලය සුන්දරත්වයට පත්කරන නිර්මාණ හෝ වැඩසටහන් අඩු නම් ඒ ගැන දොස්තැබිය යුත්තේ වැඩිහිටියන් වූ අපටමය. නවීන දරුවාගේ ලෝකය තේරුම් ගෙන ඔහුගේ චමත්කාරයක්, නිර්මාණ ශක්තිය වර්ධනය කරන, ඔවුනටම වෙන්ව නිර්මාණ බිහිකිරීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන්ටයි. එසේ නොකළහොත් සිදුවන්නේ ලැබෙන විවේකයකදී දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව තමාට ගැලපෙන හෝ නොගැලපෙන (Vedio) වීඩියෝ ක්‍රීඩාවක දරුවා නිරතවීමයි.

අතීත නිර්මාණ වර්තමානයට පදනම සපයන නිසාත්, දරුවාටම කියා වෙන් වූ සාර්ථක නිර්මාණ එළිදැකීමේ අඩුවක් පෙනෙන නිසාත්, දරුවාගේ නිර්මාණාත්මක ලෝකය චමත්කාරයට පත්කළ අපේ කාලයේ ගී නිර්මාණ ප්‍රමුඛ වැඩසටහන් හා නාට්‍ය ගැන මතක් කරගැනීම වැදගත් වේ.

නවසිය හතළිස් ගණන්වල සහ පනස් ගණන්වල කුමාරතුංග මුනිදාස, හියුබත් දිසානායක, ආනන්ද රාජකරුණා ආදී කවීන් ළමා පරපුර උදෙසා කළ නාට්‍ය නිර්මාණ අපේ බාලාංශ පන්තිවලදීම අපට සමීප වූයේය. හෝඩි පන්තිවලදීම අපට සමීප වුයේය. හෝඩි පන්තිවල අප භාවිත කළ පත පොතේ එම කවි ගී නොතිබුණත් අපට කලින් භාවිත වූ පෙළ පොත්වල ඒවා තිබිණි. අපේ අයියලා අක්කලා ඒවා දැනසිටි නිසා අපට ද එම කවි ගී සමීප වූයේය. සමහර කවිවලට තනු යෙදුණේ පසුකාලීනවයි. (1984 එළිදුටු නන්දා මාලිනියගේ හඳහාමි කැසට් පටයේ එවැනි ගී කිහිපයක් ඇය ගායනා කළාය.) අප කුඩා කාලයේ අපට කැමති රිද්මයකට අපි ඒවා හඬ නගා කීවෙමු. ඒ වනවිට ආනන්ද රාජකරුණා ලියූ “රෝස මලේ නටුවේ කටු” ගීය පැරැණි ගායකයකු විසින් ගුවන්විදුලියේ ගායනා කර තිබිණි. හියුබත් දිසානායක ලියූ “හඳපානේ රෑ යාමේ” ගීය නවමඟ පොතක තිබුණු අතර එව සුනිල් සාන්තයන් ඒ කාලයේම ගුවන්විදුලියට ගායනා කර තිබුණි. එහෙත් “සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක්” ගීය ඒ කාලයේ අප ගැයුවේ අපේ මුවට නැගුණු රිද්මයකටයි. කුමාරතුංග මුනිදාසයන් රචනා කළ ඒ ගියේ වර්ණනා වූ රාත්‍රිය කොළඹ සමීපයේත් අපි දුටුවෙමු.

“බකමූණේ සිනාසෙතී
අනික කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී”

ගුවන් විදුලියේ ළමා පිටියේ ගී අපට ඇසෙන්න ගත්තේ එය “සිරි අයියා”ගෙන් කරු අයියාට (කරුණාරත්න අබේසේකරයන්ට) බාරවූ පසුවයි. ඒ වනවිට ළමා පිටියේ ගී ගැයූ නන්දා මාලිනී, අමිතා වැදිසිංහ, චන්ද්‍රා කබ්රාල්, ඉන්ද්‍රාණි සේනාරත්න ආදී ශිල්පීන් ළමා වියෙන්, තරුණ වියට එළඹ සිටියහ. ඒ කාලයේ චන්ද්‍ර කබ්රාල් ගායනා කළ ගීයක් මිතුරන් සමඟ එක්වූ විට අද ද අපි ගායනා කරන්නෙමු.

“ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ - හඳ මාමේ
කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්නේ
හීන්සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ
මේ පුංචි නංගා ඔබගේ”

අපේ ඇඟේ තිබූ දාංගලයට එම්.එස්. ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස් ආදීන්ගේ වේග රිද්ම ගී වලට අප ඇදී ගිය අතරතුර සිතේ කොහේ හෝ කොනක තිබූ සංවේදී ගතියක් නිසා ළමා ගී වලට ද ඇහුම්කන් දුන්නෙමු. කළු මැණිකගේ ගල්ලෑල්ල, බුබුළු බුබුළු ජලේ නැගෙන ආදී ගී ඇසෙන විට අදටත් අපේ සිත අතීතයට දිවයයි.

1963 ආරම්භ කරන ලද ගුවන්විදුලියේ “හඳමාමා” වැඩසටහන එකල පොඩිත්තන්ගේ නිර්මාණ කුසලතාව හොඳින් වර්ධනය කළේය. එකල එය මෙහෙය වූයේ සුමනා ජයතිලක නැන්දා සමඟ ලැම්බට් පෙම්මාවඩු මාමාය. ගීත රසවින්දනය, රචනා ශක්තිය පමණක් නොව රූපය නොපෙනෙන ගුවන්විදුලියෙන් පොඩිත්තන්ගේ චිත්‍ර ඇඳීමේ ආසාවද ඉන් වර්ධනය කළේය. එහිදී චිත්‍ර අඳින්නට දුන් නිමිති, පාසලේ දුන් මාතෘකා මෙන් වචන දෙක තුනකින් කියවෙන (වැසි දිනයක්, වෙසක් උත්සවය වැනි) මාතෘකා නොවේ. ඇතැම්විට පොඩිත්තන්ට අඳින්නට යෝජනා කළේ එම වැඩසටහනේම කී කතන්දරයෙන් සිතට නැගුණු රූපයකි. කුඩා කාලයේ මා ඇසූ හඳමාමා වැඩසටහනක සිඩ්නි ආටිගල ගැයූ “නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා” ගීතය ප්‍රචාරය කොට ඒ ආශ්‍රයෙන් චිත්‍රයක් එවන්නට පොඩිත්තන්ට යෝජනා කෙරිණි. සෙල්ලම් බඩු කරත්ත අප දැක නොතිබුණත් චිත්‍රයට නගන්නට වටිනා රූප රාශියක් එම ගීතයේ තිබිණි.

“පීනනා මාළුවෝ, මෝටර් සයිකල් බොහෝ
හේවිසීකාරයෝ, පෝනියෝ, බෝ නටන්න හැකි
ගී කියන්න හැකි පුංචි පුංචී නැටුම් කාරයෝ
තුට්ටු දෙකයි මේ අලි, වලිගේ වනයි වේගෙනී”

සෙනසුරාදා (හෝ ඉරිදා) දවල් මිල්ටන් පෙරේරාගේ හඬින් “ගුණ නුවණට මග පෙනෙන්න - පුංචි අපට දැනුම් දෙන්න - හඳමාමට සවන් දෙන්න.” යන කව ඇසෙද්දී අපි රේඩියෝව ළඟට ගියෙමු.

හැත්තෑ ගණන්වල හවස් වරුවේ ඇසුණු ළමා ගීත ගැයුණේ අපි කුඩා කාලයේ දුටු පරිසරය ගැනය නැතහොත් චරිත ගැනයි. කොණ්ඩේ බැඳපු සීයලා. ඉබිගමනින් යන ආච්චිලා ඒ අතර සිටියෝය. ලයනල් සිල්වා පද රචනා කළා වික්ටර් රත්නායක තනුව පේෂල මෙන්ඩිස් ගායනා කළ “අනේ සීයේ අමල් බිසෝ” ගීය හැත්තෑ ගණන්වලදී බෙහෙවින් ජනප්‍රිය වූයේය. අප කුඩා කළ දුටු සීයලාව මේ ගීය ඇසූවිට මතකයට නැගේ.

“ජැන්ඩි පහට සරම ඇඳල
ඉන වට හවඩියක් බැඳල
පුංචි අපට ආස හිතෙන 
ඉස්සර රජ කතා කියලා
ගෙයි පිළ උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්...”

හැත්තෑ ගණන්වල නිර්මාණය වූ ළමා ගී වලින් බොහෝවිට ළමයා ඉන්නා සැබෑ ලෝකයම නිර්මාණාත්මකව ඉදිරිපත් වූයේය. මදුරැවකු දෂ්ඨ කරන විට මොනම උපාසක මහතකුට වුවද උගේ ඇඟ මත තම අත පාත්වීම නිරායාසයෙන් සිදුවන දෙයකි. දරැවාටද එය පොදුය. බොරැ සදාචාරයක් තුළ දරැවා කෘත්‍රිමව තැබීමට එකල ගීත රචකයා උනන්දු නොවූයේය.

“ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ?
ඒකයි මං කෙනිත්තුවේ උඹේ ඔලුව” 

ගැමියාගේ බීමත් බව දරුවාගේ ගීත ලෝකයෙන් එකල රචකයා හැංගුවේ නැත. උදේ සිට මහන්සි වන ගැමියා රා කට්ටක් බී හවස් යාමයේ ගෙදරට ඒම මහලොකු අරුමයක් නොවේ.

“රා බී මත් වී අපේ තාත්තා
වැනි වැනි ඇවිදින් බෙරිහන් දෙන විට
දෑතින් අල්ලා පඳුරේ හිඳුවා
පස්වෙනි පන්සිල් පදය කියන්නට
දස සිල් මාතාවක් වෙන්නම්...”

මතකයේ හැටියට ඒ ගීය ගායනා කළේ රෝහිණී ජයසිංහයි. රෝහිනී ජයසිංහ ඇතුළු ළමා ගායිකාවන් කිහිප දෙනෙකුම විශාරද නන්දා මාලිනී බිහිකළාය. දිනපතා හවස හතට පමණ ප්‍රචාරය වුණු ගුවන් විදුලි ළමා වැඩසටහන කාලයක් මෙහෙය වූයේ එතුමියයි. “මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්” ගීය එම වැඩසටහනේ තේමා ගීතය වූයේය.

හැත්තෑව දශකයේ මුල භාගයේ (1971) ළමා ගායනා ලෝකයට ශිරෝමී ප්‍රනාන්දුගේ අවතීර්ණය ද ළමා ගී වල උන්නතියක් ඇති කළේය. ඈ ගැයූ “කොන්ද නමාගෙන” “අම්මා“ ගී එකල නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූයේය. එම ගී වල පද රචනයක් තනු නිර්මාණයක් කර තිබුණේ මිල්රෝයි ධර්මරත්න විසිනි.

ගුවන්විදුලියේ ළමා රංග පීඨය අප සිත්ගත් ළමා නාට්‍ය එකල ප්‍රචාරය කළේය. ටී.බී. ඉලංගරත්න ලියූ “අඹ යාළුවෝ” ළමා කතාව පාදක කරගෙන නිර්මාණය වුණ ගුවන් විදුලි නාට්‍ය අප විනෝදමත් කළා පමණක් නොව අපේ රස වින්දනයද වර්ධනය කළේය. අද හැම අතින්ම දක්ෂයන් බවට පත්ව ඉන්නා සමන් අතාවුදහෙට්ටි සහ අසෝක අතාවුද හෙට්ටිගේ ළමා හඬ එම නාට්‍යයෙන් ඇසුණා තවමත් මතකය.

ඒ කාලයේ හෙන්රි ජයසේන ලියා තිබූ “තවත් උදෑසනක්” නම් ළමා නාට්‍යයත් ඔහු ලියා තිබූ ළමා ගීතත් අතිශය චමත්කාර වුවත් ඒවා ශ්‍රාවකයා වෙත සන්නිවේදනය වූයේ අඩුවෙනි. මහාචාර්ය සරච්චන්ද්‍ර නිර්මාණය කළ රත්තරන්, කඳා වළලු, එලොව ගිහින් මෙලොව ආවා, වෙල්ලවැහුම් වැනි නාට්‍ය ළමයා අරමුණුකොට නිර්මාණය කළ නාට්‍ය නොවූවද ඒවා ළමයින්ට උචිත නිර්මාණයන්ය.

මඩොල්දූව චිත්‍රපටය 1976 ප්‍රදර්ශනය ඇරඹුණත්, මෙරට දරුවන්ට කියා වෙනම චිත්‍රපටයක් මුලින්ම නිර්මාණය වූයේ ටයිටස් තොටවත්ත අතිනි. ඔහු තිරයට ගෙන ආ “හඳයා” චිත්‍රපටය ළමයින් උදෙසා චිත්‍රපට බිහිවිය යුතු බවට සන්කෙරුණු මාර්ගෝපදේශයක් වූයේය. නවසිය අසූගණන්වල සහ අනූ ගණන්වල රූපවාහිනී සැකිළි රූ වැඩසටහන් හා හඬ කැවීම් ඒකකයෙන් එතුමා කළ මෙහෙවර සුළුපටු නොවේ. 

හා හා හරි හාවා, දොස්තර හොඳ හිත, වලස් මාමා වැනි කාටුන්වලින් විදේශ කාටුන් අපේ රටට ගැලපෙන පරිදි ප්‍රතිනිර්මාණය වූයේය. දරුවන් එපමණක් නොව අපිද ඒවා නරඹා සතුටින් කුල්මත් වූයෙමු.

අදටත් දරුවන්ට රංග කලාව ඉගෙන ගන්නට තිබෙන ඉඩප්‍රස්ථා බෙහෙවින් අඩුය. දශක කිහිපයක් පුරා දරුවන්ගේ නිර්මාණ කුසලතාව වර්ධනය කිරීමට සෝමලතා සුබසිංහ කිසිවිට අමතක නොවන මෙහෙවරක් ඉටුකළාය. දරුවා තුළ නිසඟයෙන්ම පවතින දඟ ගතිය නිර්මාණයක් බවට පත්කර ගන්නා හැටි ඇය කියා දුන්නාය. ඈ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ රන්මලී, තොප්පි වෙළෙන්ඳා, පුංචි අපට දැන් තේරේ, හිම කුමරිය, ගමරාළ දිව්‍ය ලෝකෙට ආදී සියලුම ළමා නිර්මාණ ළමයින්ට නාට්‍ය කලාව උගන්වන ගුරුවරුන්ට පෙන්විය යුතු නිර්මාණයන්ය.

මේ වනවිට ළමා රාජ්‍ය නාට්‍ය උළෙලක් වාර්ෂිකව පැවැත්වීම සතුටට කරුණකි. එහෙත් ළමා නාට්‍ය සම්බන්ධයෙන් පොදු ජනයා දැනුම්වත් කිරීමේ මෙහෙවරක් ජනමාධ්‍ය මගින් ප්‍රමාණවත් ලෙස ඉටුකර නොමැත.

නොබෝදා අනූ වැනි විය සපිරූ සිබිල් වෙත්තසිංහ චිත්‍රවලින් පමණක් නොව ළමා කතා ලොවෙන්ද පරපුරු ගණනාවකට සමීප වූවාය.

කතන්දර කියන අම්මලා සීයලා වර්තමාන සමාජයේ නිවෙස් තුළ නැත. නාගරික හා අර්ධ නාගරික කුඩා පවුල් ඒකකවල දෙමාපියන් දරුවන් දකින්නේ වැඩ ඇරී ගෙදර ආ පසුවයි. වර්තමාන දරුවන්ට රූපවාහිනියද යල් පැනගිය තත්ත්වයකි. බොහෝ විට ඔවුන් නිවසේ තනි වන්නේ පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් සමඟයි. තනිකම නිවා ගන්නටත් දැනුම වර්ධනය කරගන්නටත් කොම්පියුටරය හොඳම භාණ්ඩයකි. දරුවාගේ නිර්මාණ කුසලතාව වර්ධනය වන්නේ පරිගණකය නිසි පරිදි භාවිත කළ විටයි. රූපවාහිනී තිරයකට වඩා පරිගණක තිරයට දරුවා ලැදිවන්නේ ඒ මගින් දරුවාගේ මතයට ප්‍රතිචාර දක්වන නිසාය. පරිගණක තිරයේ ප්‍රතිචාරයත් සමඟ තනිවන දරුවාට බොහෝවිට තමා අවට ලෝකය සමඟ මානව සම්බන්ධතා පවත්වන විට ලැබෙන මානව ප්‍රතිචාර අමතක වෙයි. ලැබෙන ප්‍රතිචාරයක් ඉක්මනින් ලබාගැනීමට පරිගණකය ඔහුට හුරුකරයි. විවේක බුද්ධියෙන් ඉවසා දරා ඉන්නා කාලයකට මේ නිසා දරුවා හුරු නොවේ. පරිගණකයේ සීමාව පවා දරාගන්නට නොහැකිවී එය “Speed” මදි යැයි එයට දොස් තබයි.

දරුවා වෙතින් ගිලිහී ගිය මෙකී විවේක බුද්ධිය (පරිගණක භාවිතය අත නොහැරම) ඔහුට ලැබෙන සමාජ වටපිටාවක් සකස් කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි. සුන්දර නිර්මාණවල අගයන්, මානව සබඳතාවල අගයත් දරැවාට දැනෙන්නේ එවිටයි.

 සමන් පුෂ්ප ලියනගේ