අයියෝ එපා තාත්තේ මර බියෙන් ඒ හඬ ඇසුණේ නව හැවිරිදි පිරිමි දරුවකුගෙනි. බීමට ඇබ්බැහි වූ පියෙක් තම බිරිය, බාල පුතු සහ වැඩිමහල් පුත්‍රයා ඉදිරියේ එලෙස සිය 9 හැවිරිදි දෙවැනි පිරිමි දරුවා උස්සා පොළොවේ ගැසූ සංවේදී පුවතක් වාර්තා වූයේ මොරගහහේන මිල්ලෑවවත්ත ප්‍රදේශයෙනි. ගම් ප්‍රදේශයම කම්පාවට පත්කළ එම සිද්ධියත් සමඟ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවා පාදුක්ක රෝහලට ඇතුළත් කළ පසු හෝමාගම රෝහලට යැවිණි. තත්ත්වය බරපතළ නිසා එතැනින් කොළඹ ජාතික රෝහලටත් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරැකර යවන්නට වෛද්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබුණි.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන පරිදි මෙසේය.
සඳමාලි එවකට හිරිමල් යොවුන් වියේ පසු වූ තරුණියකි. ඇය කුමාර සමඟ පෙමින් බැඳෙන්නේ වයස අවුරුදු 18ක් වන්නටත් පෙරාතුවය. ඒ වෙද්දී කුමාර සඳමාලිට වඩා වසර 5ක් වයසින් වැඩිමහල්ය. දෙදෙනා අතර ගොඩනැගී තිබූ අපිරිමිත ආදරය අවසානයේ සඳමාලිගේ වයස අවුරුදු 18 වන්නටත් මත්තෙන් ඔවුන් විවාහ දිවියට එළැඹුණේ දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය.
ස්ථිර ආදායමක් නොවූ කුමාර කොහෙන් හෝ හොයාගන්නා කුලී වැඩකින් කීයක් හෝ අතමිට මොලවාගත් අතර ඒ ආදායම නිවෙසේ වියදමටත් මදිවන තරම්ය. මේ නිසා දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ කල්ගෙවූ සඳමාලි දිනපතා පාන්දරින් අවදි වී කිරි කැපීමේ රස්සාවට යාමට පුරුදුව සිටියාය.
මෙසේ කල් ගෙවූ යුවළට පළමු දරුවා ඉපදෙන්නේ මීට වසර පහළොවකට පමණ ඉහතදී ඔවුන් විවාහ වී වසරක් පමණ ඉක්මවන විටදීය. ආර්ථික අපහසුතා කොතරම් වුවද ඒ වනවිටත් කුමාර මත්පැන් භාවිතයටත් හුරු වී සිටියේය. ඇතැම් විටෙක ඔහු සවසට ගෙදරට එන්නේ සිහිවිකල්වන තරමට කට ගොන්නක් බීගෙනය. එවිට බිරියගේ වචන හෝ හැසිරීම කුමාරට රුස්සන්නේ නැති ගාණය. මේ නිසා ඇතිවන වචන හුවමාරු අඬදබර කෙළවරක් නැත. සොඳුරු විවාහයේ ප්‍රාර්ථනා මෙලෙස එකින් එක බොඳවන්නට විය. මේ ආකාරයට වසර දහසයක් පමණ කල්ගෙවූ පවුලට පහළොස් වැනි වියේ පසුවන වැඩිමල් දරුවාට අමතරව නව හැවිරිදි පුත්‍රයෙක් ද වයස අවුරුදු 3ක පිරිමි දරැවෙක් ද එක්ව සිටියහ.
මෙසේ කල්ගෙවමින් සිටි සඳමාලිටත් ඇගේ ආදරණීය දරුවන් තිදෙනාටත් බීමත්ව පැමිණෙන පියාගෙන් සිදුවන හිරිහැර අඩම්තේට්ටම් ක්‍රමයෙන් වැඩි විය. මේ නිසාම නිවෙසේ ඇතිව තිබුණේ ඉතාමත් ගැටලුකාරී තත්ත්වයකි. ඊට පිළියමක් නොවූයෙන් දරු තිදෙනා සමඟ මොරගහහේන පොලීසියට ගිය සඳමාලි අවස්ථා කීපයකදී තමුන්ටත් දරුවන්ටත් ස්වාමියාගෙන් වන හිරිහැර පිළිබඳව පැමිණිලි කළාය. පොලීසිය ඇගේ ස්වාමියාත් සමඟ පවුල පොලීසියට කැඳවා අවස්ථා කීපයකදී ඔවුන්ගේ ගැටලු සමථයකට පත්කළ අතර ඔවුන් උපදේශන සේවා ලබාගැනීම සඳහා ද යොමු කරන්නට කටයුතු කොට තිබුණි.
දශක එකහමාරකට ඉහතදී ආදරයෙන් බැඳී විවාහපත් යුවළට මේ වෙද්දී ජීවිතය නීරස වන තරමට හේතු උදා වී තිබිණ. ඊට එක් ප්‍රධාන හේතුවක් වී තිබුණේ මත්පැන් පානයට ඇබ්බැහි වූ සැමියා උපයන සියල්ලම බීමට වියදම් කිරීමත්, ඊට අවශ්‍ය මුදල් නොවූ විටෙක බිරිය සතු මුදල් බලෙන් හෝ රැගෙන ගොස් පදමට වෙරි වී පැමිණ බිරියට හා දරුවන්ට පහර දෙන්නට ක්‍රියාකළ නිසාත්ය.
මේ ආකාරයට ගතවූ 17 වැනිදා සඳමාලි දරු තිදෙනා සමඟ මිල්ලෑවවත්ත නිවෙසේ ගතකරමින් සිටියදී බීමත් ස්වාමියා නිවසට පැමිණ තිබුණේ දහවල් 1.30ට පමණය. එසේ පැමිණි කුමාර සිය බිරියගෙන් මුදල් ඉල්ලන්නට වූයේ තරමක සැරපරුෂ වචන භාවිත කරමිනි. ඊට අවනත නොවූ සඳමාලි තමාගේ පාඩුවේ සිටියද කුමාර සිහිවිකල් වූවකු ලෙසින් බැණවදිමින් නිවෙසේ තිබූ පොත්පත් හා ලිපි කීපයක් රැගෙන ගිනි තබන්නට ක්‍රියා කළේය.
සැමියාගේ කෘරත්වය වටහාගත් සඳමාලි ඇය සතුව තිබූ රුපියල් 500ක් කුමාරට දුන්නේ කරදරයෙන් මිදීම සඳහාය. මුදල් අතට ගත් කුමාර ඒ මොහොතේම නිවසින් පිටත්ව ගියද ඒ සොයන්නට සඳමාලි හෝ දරුවන් උත්සාහ කළේ නැත. දිගින් දිගටම සැමියාගෙන් සිදුවන කරදර පිළිබඳව කළකිරැණු සඳමාලි දරු තිදෙනා කැටුව මොරගහහේන පොලීසිය වෙත ගොස් නැවත පැමිණිල්ලක් සිදුකළේ ඉන් අනතුරුවය.
පොලීසියෙන් පිටත් වූ මවත් දරු තිදෙනාත් යළි නිවෙස වෙත ගමන් කරමින් සිටියාය. ඒ අතරමඟදී අහම්බයෙන් හමුවූ කුමාර “තොපි කොහේද ගියේ... අදත් පොලීසි ගියාද...? මට විරුද්ධව පැමිණිලි දාන්න ආ... කියමින් බැණ වදින්නට පටන් ගත්තේය. මේ අතර අතපය දිගුකරමින් සිය බිරියට හිරිහැර කරන්නට කුමාර කටයුතු කළේ දරු තිදෙනා ඉදිරියේමය.
ගහන්න එපා... අම්මාට ගහන්න එපා... යැයි කියමින් තම පියා වළකන්නට ඉදිරියට ආවේ ඔවුන්ගේ දෙවැනි පුත්‍රයා වන 9 හැවිරිදි කවිඳුය. ඒත් සමඟම එහාට වෙයන් තෝව උස්සලා පොළොවේ ගහනවා... යැයි කී කුමාර ආවේගයෙන් දරුවා වෙත පැමිණ එසැණින් දරුවා දෑතින් ඔසවා බිම ගැසූවේ හිතක් පපුවක් නොමැති නරුම විලාසයෙනි.
කාලය සඳමාලිට වචනයක් හෝ කියන්නට ඉඩ තැබුවේ නැත. පොළොවේ ගැසූ දරුවා සිහිසුන්ව මහ මඟ වැටී සිටියේය. ආදරණීය දරු පැටියාගේ වේදනාව ඉවසුම් නොදුන් සඳමාලී යටිගිරියෙන් හඬ තලද්දී කුමාර එතැනින් පැන ගත්තේ ආගිය අතක් සොයනු බැරි ලෙසය.
මේ විලාපය ඇසී එතැනට ආ ගම්මුන් එක්ව දරුපැටියා පාදුක්ක රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළහ.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන්නට සඳමාලි පියවර ගත් අතර ඒ වනවිටත් සැකකාර ස්වාමිපුරුෂයා වන කුමාර ප්‍රදේශය අතහැර පළාගොස් තිබුණි. සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ මොරගහහේන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස දින තුනකට පසුව සැකකාර ජයසිංහගේ දොන් ශාන්ත කුමාර (40) නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබූහ. සිද්ධියෙන් අනතුරට පත්ව සිටියේ මොරගහහේන මිල්ලෑව කණිෂ්ඨ විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි. සැකකාර පියා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
සමන්ත ප්‍රදීප් විල්තෙර