2019 මාර්තු 30 වන සෙනසුරාදා

කොටස් වෙළෙඳපොළේ වෙන්දේසියට යන ඊ.පී. එෆ්. සල්ලි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජන කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 21 දා කොළඹ පැවැති ව්‍යාපාර සමුළුවකදී ප්‍රකාශයට පත්කළේය. එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රජය කොටස් වෙළෙඳ පොළ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර මුලින් පැවැති මට්ටමට කොටස් වෙළෙඳ පොළ ඉහළ නැංවීම සඳහා පියවර ගනිමින් සිටින බවය. එහි එක් පියවරක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදල යළිත් වරක් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට තීරණය කර ඇති බවද ඔහු අවධාරණය කර ඇත.

මේ වනවිට අපේ කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස කඩා වැටෙමින් පවතී. එයට හේතුව රුපියලේ අගය පිරිහීම මෙන්ම රටේ ඇති දේශපාලන සහ ආර්ථික අවිනිශ්චිතාව නිසා බොහෝ දෙනා කොටස් වෙළෙඳ පොළේ ආයෝජනයට මැලිකමක් දැක්වීමය. අලුතින් ආයෝජකයන් ආගමනය වීම කෙසේ වෙතත් සිටින ආයෝජකයන් පවා විටින් විට සිය කොටස් ඉවත්කර ගෙන යාම නිසා කොටස් වෙළෙඳ පොළට හෙනහුරු දශාව ලැබී ඇත.

2012 වසරේ දෙසැම්බර් 26 දිනෙන් පසු අඩුම අගය වාර්තා වූයේ 2019 මාර්තු 31 වැනිදාය. මෙදින වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ලෙසින් වාර්තා විය. 2012 සිට මේ දක්වා පහළයාම ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ 7.95කි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ තරම් දුර්වල අඩියකට වැටී තිබියදී ආණ්ඩුව උත්සාහ කරන්නේ එය නගා සිටුවීමට සේවක අර්ථ සාධක අරමුදල බිල්ලට දීමට යැයි සේවකයෝ චෝදනා කරති. සේවක අර්ථ සාධක අරමුදලේ ගිණුමෙන් රුපියල් කෝටි දෙලක්ෂ හයදහසක් (2,06,000) ආයෝජනය කිරීමට ආණ්ඩුව මේ වනවිට පිඹුරැපත් සකස්කර අවසන්ය.

මේ රටේ විවිධ ආණ්ඩු සේවක අර්ථ සාධක අරමුදල සමඟ පන්දු ක්‍රීඩාවට සූදානම් වූයේ එහි විශාල මුදලක් තිබීමත් කිසිදු වෙහෙසකින් තොරව එම මුදල් ලබාගැනීමට හැකිවීමත් නිසාය. මෙහිදී ආණ්ඩුවට සේවකයන් පිළිබඳ අනුකම්පාවක් ඇතිව ඇති අතර ඔවුන් කියන්නේ අඩු පොලියක් ලැබෙන අර්ථසාධක අරමුදල විශාල පොලියකට කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමෙන් සේවකයන්ට විශාල ආදායමක් ලබාදීමට කටයුතු කරන බවය.

එහෙත් මේ තාක්කල් විවිධ අවස්ථාවල අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇතත් එයින් ලැබීඇත්තේ පාඩුවක් මිස ලාභයක් නම් නොවේ. 2017 වසර අවසන් වනවිට මෙසේ යොදවා තිබූ කෝටි 9088 කොටස්වල සැබෑ අගය 2018 අවසන් වනවිට කෝටි 7,485 දක්වා අඩුවී ඇති බව අනාවරණය කෙරේ. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවල දැක්වෙන පරිදි 2016 වසරේදී කෝටි 471ක් වූ ආයෝජන ආදායම 2017 වනවිට කෝටි 299 දක්වා කෝටි 172කින් පහළ වැටී තිබේ. එයින්ම උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය පැහැදිලිය. එසේ තිබියදී ආණ්ඩුව උත්සාහ කරන්නේ අරමුදලේ ඉතිරි මුදල ද විනාශ කිරීමටයැයි වෘත්තිය සමිති චෝදනා කරයි. මේ පිළිබඳ සේවකයන් අතර දැනටමත් විශාල නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්ද පසුගිය 2011 වසරේදී සේවක අර්ථසාධක අරමුදල වෙනුවට දායක විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති කිරීමට උත්සාහ කළ බව අපට මතකය. එහිදී සේවකයන් ප්‍රබල උද්ඝෝෂණවල අඛණ්ඩව නිරතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවිය. එහෙත් එම තත්ත්වය අළු යට සැඟවුණු ගිනි පුපුරක් ලෙස යටපත්ව සිට යළි මතුවෙන්නට පටන්ගෙන ඇති බව අගමැතිවරයාගේ අනාවරණයෙන් පෙනේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් දියත් කළ උද්ඝෝෂණයේදී රොෂේන් චානක සේවකයා ජීවිතය පූජා කිරීම අතීතය ගැන විපරම් කරන විට විශේෂයෙන් කැපීපෙනෙයි.

මෙවරද ආණ්ඩුව ගනිමින් පවතින නිර්ලජ්ජි උත්සාහය ව්‍යර්ථ කර සේවක අර්ථ සාධක අරමුදල දිවි පරදුවට තබා හෝ රැකගන්නා බවට සේවකයෝ ප්‍රතිඥා දෙති.

මේ පිළිබඳ දේශය පුවත්පතට අදහස් දැක්වූ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මෙසේ පවසයි.

“අගමැතිතුමා සේවක අර්ථ සාධක අරමුදල කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට යන බවට පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු අපි වෘත්තිය සමිති 21ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සමඟ පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡාවක නිරත වුණා. ආණ්ඩුවේ තීරණයට වෘත්තිය සමිති එකඟ නැති බව අපි පැහැදිලිව ප්‍රකාශ කළා. අපි විමසුවේ මෙමගින් සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් අපයෝජනය නොකරන බවට මොකක්ද ඔබට දෙන්න පුළුවන් සහතිකය කියලයි. එතැනදී ඔහු කීවේ මුදලේ සුරක්ෂිත භාවය තහවුරැ කරන බවයි. එහිදී අප විමසුවේ ඔබ මොනවා කිව්වත් අවසානයේදී දේශපාලන බලපෑම්වලට ඔබට යටත්වීමට සිදුවෙනවා නොවේද යන්නයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණවලට එකඟ නොවී සිටිය නොහැකි වන බවද අප පැවසුවා. එහිදී ඔහු නිරැත්තර වුණා.

දැනට සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කරන මුදල්වලින් සියයට 92ක් පමණ දෙන්නේ භාණ්ඩාගාර සුරැකුම් පත්වලටයි. එයින් සිද්ධ වෙන්නේ අයවැය පරතරය පියවීමයි. භාණ්ඩාගාර සුරුකුම් පත්වල ආයෝජනය කිරීම යම් පමණකට හෝ අඩු අනතුරු ඇතිවන දෙයක්. එය රජයේ ආයෝජනයක්. එහෙත් කොටස් වෙළෙඳ පොළට දමනවය කියන්නේ පෞද්ගලික සමාගම්වල ආයෝජනය කිරීමත්. අනිත් අතට මෙයට පෙර ආයෝජනය කර ඇත්තේ එයාලංකා, මිහින් ලංකා වැනි පාඩු ලබන සමාගම්වලයි. මෙවැනි සමාගම්වල ආයෝජනය නිසා දැනටමත් අරමුදලට හානි වෙලා තියෙනවා.

අනිත් අතට මහබැංකු අධිපතිවරයා අයවැය පරතරය අඩුවෙන බව පැවසුවත් අපට ඒ ප්‍රකාශය පිළිගන්න බැහැ. අද අයවැය ලේඛනයේ තත්ත්වය අනුව අයවැය පරතරය වැඩිවෙනවා මිස අඩුවීමක් දක්නට නැහැ. ඒ නිසා අපට ඇත්තේ දෙගිඩියාවක්.

සේවක අර්ථ සාධක අරමුදලේ මේ වනවිට රුපියල් ට්‍රිලියන 2.5ක් පමණ තියෙනවා. දකුණු ආසියාවේ වැඩිම සේවක ගිණුම මෙයයි. මෙම මුදල් දුප්පත් ශ්‍රමිකයාගේ දහදිය බිඳුවලින් උපයාගත් ප්‍රතිඵලයි. මෙයින් සේවකයන්ට සහනය සලසනවා නම් කළයුතු දේවල් බොහෝ තියෙනවා. සේවක සෞඛ්‍ය රක්ෂණාවරණ ඇති කළ හැකියි. එසේම නිවාස යෝජනා ක්‍රම, සේවක පුහුණුව වර්ධනය කිරීම ආදී අංශවලට යොමුකරන්න පුළුවන්. ලොව දියුණු රටවල මෙවැනි මුදල් සේවක සුබසාධනයටයි යොදලා ඇත්තේ.

අනිත් දුර්වලතාව තමා සේවක අර්ථ සාධක අරමුදල ගැන තීරණ ගැනීමට පත්කරන මණ්ඩවල සේවක නියෝජනයක් නොමැති වීම. සේවකයන් නැතිව වෙනත් අය කොහොමද සේවකයන්ගේ මුදල් පිළිබඳ තීරණ ගන්නේ? මෙය අපේ මුදල කොල්ලකෑමක්. මෙහිදී මහ බැංකු අධිපති පැවසුවේ තීරණ ගන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිසා එයට සේවකයන් පත්කළ නොහැකි බවයි. එහෙත් එහිදී යම් එකඟතාවකට එන්න පුළුවන් වුණා. වෘත්තිය සමිති නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමෙන් සම්බන්ධ කිරීමට.

අප පෙන්වූ තවත් කරුණක් තමා සේවක අර්ථ සාධක අරමුදලේ ක්‍රියාකාරී සාමාජිකයන් මිලියන 2.6ක් පමණ ඉන්න නමුත් වෘත්තිය සමිති නියෝජනය කරන්නේ මෙයින් සුළු පිරිසක් බව. ඒ නිසා සෙසු එවැනි සේවකයන් පිළිබඳ තීරණ ගැනීමට සමිතිවලට හැකියාවක් නැති බවද අප පෙන්වා දුන්නා. 2011 දායකත්ව විශ්‍රාම වැටුප් ගෙනැවිත් අර්ථ සාධක අරමුදල අහෝසි කිරීමට යාමේදී වැඩිපුර මහ මඟට බැස්සේ. වෘත්තිය සමිතිවලට අයිති නැති අයයි. මිය ගිය සහෝදරයා ද එවැන්නෙක්. ඒ අය ප්‍රශ්නවලදී අපට වඩා සංවේදියි. ශක්තිය ප්‍රබලයි. ඒ නිසා ඒ අයගේ අදහස් දැනගැනීම මෙහිදී අවශ්‍ය බවද අපි අවධාරණය කළහ.

ජනාධිපතිවරයාට මහ බැංකු කොල්ලය පිළිබඳ අපි මීට පෙර යැවූ ලිපියේත් අවධාරණය කළේ මෙවැනි අවස්ථාවල කටයුතු කිරීමේදී විශේෂ කොමිටුවක් පත්කර එහි ගන්නා තීරණ පරිදි ක්‍රියාකිරීම වැදගත් බවයි. මුලදී එහෙම තිබුණා නම් මේ ගැටලු ඇති වෙන්නේ නැහැ.

අතින් අතට සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ මේ අරමුදල භාරව ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එහෙම නම් එවැනි අරමුදලක් ගැන කටයුතු කිරීමේ තීරණ ගැනීමට අගමැතිට ඇති බලය කුමක්ද? එම තීරණ ගත යුත්තේ මහ බැංකුව මිස අගමැති හෝ දේශපාලනඥයන් නොවෙයි. මෙය සැකමුසු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කළ ඇතැම් සමාගම් වෘත්තිය සමිතියක්වත් තනන්න සේවකයන්ට ඉඩනොදෙන හිතුවක්කාරී ආයතනයි. මෙවැනි සේවකයන්ට අහිතකරවූ සමාගම්වල සේවක අරමුදල් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ආයෝජනය කිරීම සදාචාරාත්මක නැහැ. එසේම නීති විරෝධියි. එවැනි අවස්ථාවල තීරණ ගන්න සේවකයන්ට අයිතියක් තිබිය යුතුයි. බලහත්කාරයෙන් කළයුතු නැහැ.

එසේම සියයට 10ක් වූ සේවක අර්ථ සාධකයෙන් ආණ්ඩුව අය කළ බද්ද පසුගිය අයවැයෙන් සියයට 14 දක්වා වැඩිකරලා තියෙනවා? අපි ඒ පිළිබඳ එවකට කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න සමඟ මෙයට එරෙහිව කතා කළා. එහිදී ඔහු පොරොන්දු වුණා මුදල් ඇමැති සමඟ සාකච්ඡා කරලා මෙය ඉවත් කරන බවට. ඒත් මේ දක්වා එය ඉටුවෙලා නම් නැහැ.

සති අන්ත එක්තරා ඉංග්‍රීසි පුවත්පතක සඳහන් වෙලා තිබුණා කොටස් වෙළෙඳ පොළේ මෙම ආයෝජනය කිරීම සේවකයන්ගේ කැමැත්තෙන් කරන බවට. එහෙත් එය වැරදියි. අපි එය නිවැරදි කරන ලෙස පුවත්පතට දන්වා තියෙනවා. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස පෞද්ගලික අංශයේ අරමුදල ආයෝජනය කිරීමෙන් මේ වනවිට රුපියල් මිලියන 200ක් පමණ පාඩුවෙලා තියෙනවා. තව දුරටත් මෙයට ඉඩදෙන්න බැහැ.

අපි මේ පිළිබඳ ලබන අප්‍රේල් 06දා සියලු වෘත්තිය සමිති නියෝජිත හමුවක් කැඳවලා තියෙනවා. එයට ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකයන් වන වෘත්තිය සමිති 14ක් සහභාගී වෙනවා. එදාට ඒකාබද්ධ තීරණයක් ගන්නවා. අගමැති 2011 මහින්දලා කළා වගේ විශ්‍රාම වැටුපක් දෙන්න සැලසුම් කර ඇතිබවද ආරංචියි. ආණ්ඩුව හදන්නේ අපේ සල්ලිවලින් ආණ්ඩුව ගෙනියන්නයි. දැන් ආණ්ඩුවට මුදල් නැහැ. විදේශ ණය පවා නැවතිලයි තියෙන්නේ. ඒ නිසා අපේ කම්කරැවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ අරමුදල ද විනාශ කරන්නයි යන්නේ. කම්කරැ බලයට යටවෙන්න ආණ්ඩුවට සිදුවෙනවා. අපි මේ දුෂ්ට ප්‍රයන්තය පරාජය කිරීමට උපරිමයෙන් කැපවෙනවා.

යසවර්ධන රුද්රිගූ