2019 මාර්තු 30 වන සෙනසුරාදා

බාලදක්ෂ ගැටය වරදී: අවසන් ගමන් ගිය නිමෝත්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 141

“මගේ අවුරුදු පහක පොඩි පුතාට මම කීවා අයියා මොනවද කාමරේ කරන්නෙ බලන්න කියලා. එයා කාමරයට ගිහින් ඇවිත් කීවා අයියා ලණුව දාලා ඔන්චිලි පදිනවා කියලා. ටික වෙලාවකින් ශබ්දයක් නැති නිසා මම ආයෙත් එයාට බලන්න කීවාම පොඩි පුතා ඇවිත් කීවා අයියා ශබ්දයක් නැතිව එල්ලිලා ඉන්නවා කියලා.”

බාලදක්ෂ කඳවුරකට අවශ්‍ය ක්‍රියාකාරකමක් සඳහා ලණුවකින් ගැට දැමීමට නිවෙසේදී පුහුණු වෙමින් සිටියදී හදිසියේ මියගිය 14 හැවිරිදි කේ.පී. නිමෝත් ඉෂාන් දරුවාගේ මව මාධනී සමන්තා මහත්මිය හඬමින් පැවසුවාය.

මෙසේ මියගියේ කරගල, මීතලාව ගිරාඋල්ල මහා විද්‍යාලයේ 10 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.

මාධනී මහත්මිය දරු තිදෙනකුගේ මවකි. ඇයගේ වැඩිමහල් දරුවා වූ නිමෝත් පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ පුහුණුව ලබමින් පසුවිය. පසුගිය 22 වැනි සිකුරාදා පාසල් වේලාවෙන් පසුව පුහුණුවීම් සඳහා කාලය ගතකළ ඔහු නිවෙසට පැමිණියේ පස්වරු 4 ද පසුවීය. පැමිණි මොහොතේම ඇඟපත සෝදා ආහාර ගෙන තිබුණේ සිය මවගේ බලකිරීමටය. කෑම කා අවසන් වූ විගසම නිමෝත් නිවෙසේ පසෙක තිබූ ලණුවක් රැගෙන නිදන කාමරයට ඇතුළු විය. ලණුවක් රැගෙන කාමරයට යන නිමෝත් දුටු ඔහුගේ මව විමසුවේ “ලණුවක් අරගෙන මොනවාද කරන්නේ?” යනුවෙනි. එවිට නිමෝත් පැවසුවේ “අපිට බාලදක්ෂ පුහුණුවක් තියෙනවා. ඒකට පුරුදු වෙන්න ලෑස්ති වෙනවා.” කියාය. නිමෝත්ගේ කතාව අසා සිටි මව, ඔහු රැඳී සිටි කාමරයට යාබදව පිහිටි පිහිටි මුළුතැන්ගෙට වී රාත්‍රී ආහාරය සූදානම් කරන්නට වූවාය. ඒ අතරතුර නිමෝත් කාමරයේ බිත්තිය මතට නැග අත වූ ලණුව බාල්කයක ගැටගසන්නට වූවේය. සිවිලිමක් නොමැති නිසා ඒ බව මුළුතැන්ගේ සිටි මවට දැකගත හැකි විය.

“මොකද කරන්න හදන්නේ? බහිනවා බිමට මගෙන් ගුටි නොකා..” යැයි මව දරුවාට සැර කළාය. ඒත් සමඟම ප්‍රතිචාර දැක්වූ නිමෝත්, “අම්මා කෑනොගහ ඉන්නකො. මට මේ පුහුණුව කරගන්නත් බැරිවෙනවා. බාලදක්ෂ පුහුණුවේදී කරපු එක පුරුදු වෙන්න තියෙනවා” යැයි පැවසීය.

නිමෝත්ගේ එම ප්‍රකාශය නිසා මව යළිත් වරක් යමක් සිතන්නට ගියේ නැත. ටික වේලාවකින් නිමෝත්ගේ ශබ්දයක් නොවුණු නිසා මව සිය කුඩා දරුවාට කීවේ අයියා මොනවද කරන්නේ කියලා බලන ලෙසය. එවිට ඔහු “අයියා ඔන්චිලි පදිනවා” යැයි පිළිතුරු දුන් අතර තවත් මොහොතකට පසුව කීවේ “අයියා ශබ්දයක් නැතුව ලණුවේ එල්ලිලා ඉන්නවා” කියාය.


ඒ සමඟම නිමෝත් සිටි කාමරයට එබී බැලූ මවට දෑස් අදහාගත නොහැකි විය. ඒ වනවිටත් ඔහුගේ ගෙල ලණුවේ සිරවී එල්ලෙමින් තිබුණු අතර දුටු දසුනෙන් බියට පත්වූ ඇය ගෙමිදුලට බැස කෑ ගැසුවාය. ඇගේ හඬ නැගීම අසා දරුවාගේ බාප්පා සහ ඥාති හිතවතුන් කිහිප දෙනෙක් නිවෙසට දුව ආහ. මොහොතකට පසුව ඔවුන් දරුවාගේ මව හමුවේ පැවසුවේ “වැඩක් නෑ. පොලීසියට කියමු” යනුවෙනි.

පසුගිය 22 වැනිදා පස්වරු 5.30ට පමණ වූ සිදුවීම පිළිබඳ ගම්පොළ කුරුඳුවත්ත පොලිස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දික ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සමඟ පොලිස් කොස්තාපල් (67117) තිලකරත්න යන නිලධාරීහු ගොස් පරීක්ෂණ පවත්වා සිසුවාගේ සිරුර රෝහලට රැගෙන ගියහ.

ගම්පොළ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට සූදානම් වුවත් එහි අධිකරණ වෛද්‍යවරයකු නොමැතිකමින් සිරුර නාවලපිටිය රෝහලට රැගෙන ගොස් පරීක්ෂණ සිදුකෙරුණි. එහිදී ගඟ ඉහළ කෝරලේ හදිසි මරණ පරීක්ෂක එස්.බී.ඩී. ආනන්ද තිලක මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

ඒ අවස්ථාවේදී මියගිය නිමෝත්ගේ මව ප්‍රකාශ කළේ දරුවා මීට දෙසතියකට පමණ ඉහතදී කුරුඳුවත්ත රෝහල් විද්‍යාලයේදී පැවති බාලදක්ෂ පුහුණුවක් සඳහා සහභාගී වූ බවය. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.බී.එම්. ෆයිසල් මහතා ප්‍රකාශ කළේ දරුවාගේ ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මරණය සිදුවී ඇති බවය. එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි අනතුරුදායක ක්‍රියාවලදී ගුරුවරුන් හා මව්පියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවය. එසේම දරුවන්ට එවැනි දෑ තනිවම සිදුනොකිරීමට උපදෙස් දෙන ලෙසද ප්‍රකාශ කළේය. මෙවැනි පුහුණු ක්‍රියාවන් පුහුණුකරු ඉදිරියේ පමණක් සිදුකළේ නම් මෙවන් විපතක් සිදුනොවන බවද අවධාරණය කළේය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර
    සේයාරූ - ගම්පොළ සුරංග රාජනායක