2019 මාර්තු 30 වන සෙනසුරාදා

ගල් කෙරුණු පුරාවිද්‍යා සංචිතයේ වී.ඕ.සී කාසි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 998

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැක්ම වශයෙන් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය නිසි පරිදි කළමනාකරණය සහ ප්‍රවර්ධනය කිරීමයි. එහි මෙහෙවර ප්‍රකාශනය වන්නේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීමේ අග්‍රහණය ආයතනය සහ ප්‍රධාන නියාමක ආයතනය වශයෙන් ක්‍රියාකිරීමය.

එහෙත් පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තා වූ ප්‍රවෘත්තියක් දෙස බලන විට නම් එම මෙහෙවර ඉටුවන්නේදැයි සැකසහිතය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාවිද්‍යා කාසි සංචිතයක් පවතී. සංරක්ෂණයෙන් පසු එම කාසි පුරාවිද්‍යා කෞතුකාගාරවලට ලබාදීම හෝ නැතහොත් සුරක්ෂිතව ගබඩා කර තැබීම සිදුවේ. මෙම කාසි සංචිතය අයත් වන්නේ නාණකවිද්‍යා අංශයටය. එම අංශය ක්‍රියාත්මක වන්නේ සහකාර අධ්‍යක්ෂවරයකු යටතේය. දෙපාර්තමේන්තුව සතු කාසි එකතුවේ ඉතා දුලබ කාසි වර්ග ද තිබෙන අතර ඒවා විවිධ කැණීම්වලින් හා වෙනත් මාර්ගවලින් දෙපාර්තමේන්තුවේ අයිතියට එක්වූ පුරාවස්තු වේ. මේවා පෞද්ගලික අයිතියට යටත් නොවන රටේ ජාතික උරුමයක් ලෙස සැලකේ.

පසුගියදා වාර්තා වූ ප්‍රවෘත්තියට අනුව එම කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වී.ඕ.සී. කාසි 3000කට ආසන්න ප්‍රමාණයක් සහ අනුරාධපුර යුගයට අයත් පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් ද අතුරුදන් වී තිබේ. කාසි සංචිතය භාරව සිටි සහකාර අධ්‍යක්ෂවරයා පසුගිය කාලයේ විශ්‍රාම ගියේය. ඊට පසු දෙපාර්තමේන්තුව විසින් පැවති කාසි සංගණනයකට ලක්කරන ලදී. සංගණන අවස්ථාවේදී ඔහු විසින් සැකසහිත මැදිහත්වීම් කළ බව ද ඒ නිසා එතෙක් සංගණනයේ යෙදී සිටි සේවක පිරිසක් සිය රජකාරියෙන් ඉවත් වූ බවද පැවසේ.

වාර්තා පවසන අන්දමට පුරාවස්තු සංචිතයේ බුද්ධ ප්‍රතිමා 6ක් සහ වී.ඕ.සී. කාසි 10514ක් තිබූ බවත් මේ වනවිට තිබෙන්නේ බුද්ධ ප්‍රතිමා 5ක් සහ වී.ඕ.සී. කාසි 7500කට ආසන්න ප්‍රමාණයක් බවත් අනාවරණය වී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල සඳහන් කරන්නේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම කාසි සංචිතයේ කොපමණ කාසි ප්‍රමාණයක් තිබුණේ ද යන්න ගැන පිළිගත හැකි බලධාරියකු අත්සන් තැබූ ලියවිල්ලක් තමන්ට ඉදිරිපත් වී නැති බවද ඔහු පවසා තිබේ.

රටේ විවිධ පුරාවිද්‍යා ස්මාරක කැණීමෙන්ද අහම්බෙන් පුරාවස්තු ලෙස හමුවීමෙන්ද කාසි දෙපාර්මේන්තුවට හිමිවේ. මෙම කාසි අතරින් සමහරක් රටේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන පුරාවිද්‍යා කෞතුකාගාරවල මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. කෝට්ටේ කෞතුකාගාරයේ විවිධ යුගවලට අයත් කාසි 505ක් ද පොළොන්නරුව, දැදිගම, කොටවෙහෙර, මහනුවර, යාපනය, අනුරාධපුරය වැනි කෞතුකාගාරවල ද එලෙස කාසි එකතු තිබේ.

පැරණි කාසි විකිණීමට ලෝකය පුරා කාසි ජාවාරම්කරුවන් ඇහැ ගසාගෙන සිටින බව ebay, Alibaba වැනි වෙබ්අඩවිවල අලෙවියට තබා ඇති කාසි එකතුවලින් පෙනේ. මෙයට පෙර වර්ෂ 2012 දී සුප්‍රකට කොළඹ කටුගේ හොරකමේදී ද පුරාණ කාසි එකතුවක් අතුරුදන් විය. 13-15 වැනි සියවස්වලට අයත් කාසි 93, රිදී කාසි 50, වෙනත් ලෝහ කාසි 9ත්, 8 වැනි සියවසට අයත් රන් කහවනු 28ක්. සමරු කාසි 13 ක් ආදිය ද එම හොරකම් කළ කාසි එකතුව අයත් විය. වරක් අප හමුවූ අවස්ථාවේ කාසි විශේෂඥ ආචාර්ය කාවන් රත්නතුංග පැවසුවේ කෞතුකාගාරයෙන් අතුරුදන් කාසි පිළිබඳව තමන් වාර්තාවක් සකසා දුන් බවත් පසුව එම වාර්තාවට වුණු දේවත් නොදන්නා බවත්ය.


අතුරුදන් වූ කාසි අයත් වන්නේ 1658දී මෙරට මුහුදුබඩ පළාත් යටත් කරගෙන 1796 දක්වා පාලනය ගෙනගිය ඕලන්ද යුගයටය. එම කාසි මුද්‍රණය කරඇත්තේ පෙරදිග ඕලන්ද ඉන්දියානු සමාගම විසිනි. එම සමාගමේ නම වන Vereeniqte Oost Indische Compazine යන වචන අනුව කාසියේ VOC යන අකුරු මුද්‍රණය කර තිබේ. මෙම කාසි මෙරට බහුලව භාවිත වූයේ 1726 – 1806 කාලය අතරතුරය. ඒවා ඕලන්දයේම සහ ගාල්ඩර්ලන්තය, ප්‍රිස්ලන්තය, සිලන්තය යන රටවල මුද්‍රණය කළ ඒවාය. මේ කාසි බොහෝ විට තඹ ලෝහයෙන් තනා තිබෙන අතර කලාතුරකින් රිදීවලින් ද නිපදවා තිබුණි. රිදී කාසි තරමක් දුබල විය. ඕලන්දයන්ගේ පාලන සමයේ 1713දී නිකුත් කළ නිවේදනයකින් තඹ කාසි නැතින් තැන ගෙනයාම තහනම් කළ අතර 1722දී රිදී කාසිද එලෙස ගෙනයාම තහනම් කෙරිණි. අප රටේ බහුලව භාවිතා වුණු ඕලන්ද කාසිය නම් පතාගය (රික්ස් ඩොලර්)යි.

VOC කාසි දුලබයයි මෙරට සමහරැ සිතා සිටියත් ලෝකය පුරා කාසි එකතු කරන්නන් අතර එම කාසි බහුලව පවතී. ඒවයේ ජාත්‍යන්තර මිල කාසියක් ඇමරිකන් ඩොලර් 1 සිට 3 දක්වා වේ. Ebay වෙබ් අඩවියේ මෙම කාසි බහුලව අලෙවියට ඇත.

කෙසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු කාසි එකතුවෙන් කොටසක් අතුරුදන්වීම ගැටලුවකි. පුරාණ උරුමය ආරක්ෂා කිරීමට සිටින්නවුන්ම ඒ පිළිබඳව වගකීමකින් තොරවීම පිළිගත නොහැකිය. කාසි කොපමණ පැවතියේ ද ඒවා අතුරුදන් වූයේ කෙසේද? ඒවා නැවත සොයාගන්නේ කුමන ආකාරයෙන්ද ආදී අංශ මුල්කරගත් විධිමත් පරීක්ෂණයක් ස්වාධීන පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ යුතු බව අපගේ හැඟීමයි.

►කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00