අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව පෙබරවාරි 14 වැනිදා වන විට නියඟය නිසා දිස්ත‍්‍රික්ක 14ක පවුල් එක් ලක්ෂ තිස්දහසක් පීඩාවට පත් වී සිටි අතර පුද්ගල සංඛ්‍යාව හාර ලක්ෂ අනූතුන්දහසක් විය. එය දිනෙන් දින වැඩිවෙයි. අනුරාධපුරය, කිළිනොච්චිය, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොණරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත‍්‍රිකුණාමලය, වව්නියාව සහ කෑගලු දිස්ත‍්‍රික්ක මෙයින් බැට කයි. මේ අතරින් කෑගල්ලේ ප‍්‍රදේශ කිහිපයක නියං තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැති වීම බරපතළ ගැටලුවක් බවට පත් වී තිබේ.
කෑගල්ල හිරිවඩුන්න පිටවල පදිංචි 69 හැවිරිදි ඩබ්ලිව්. අනුලාවති බොන්න වතුර නැති ප‍්‍රශ්නය අපට කීවේ මෙසේය.
“අපිට වතුර ලැබෙන්නේ මා ඔයෙන්. මාගේ මතක තියෙන කාලයක ඉඳලා වතුර මේ විදිහට අඩවුණේ මේ අවුරුද්දේ තමයි. අපි දන්නවා දකිනවා මෙ හිරිවඩුන්න පාලමට එහායින් තියෙන නාන තොටට නාන්න විවිධ ප‍්‍රදේශවලින් මිනිස්සු විශාල ප‍්‍රමාණයක් පැමිණෙනවා. ඒත් නාන්නත් කියලා එහෙම වතුරක් ඔයේ නැහැ. වතුරට වැඩිය තියෙන්නේ ගල් පොත්ත. රඹුක්කන පැත්තේ දැලිවල, පරපේ, කොරහැත්ත, ඔද්දරේ, මීදුම, යටපාවල, පුවක්මොටේ, ඇතුළු තවත් ප‍්‍රදේශ බොහෝමයකටම ජලය නැහැ. ඒ විතරක් නොවෙයි මහත්තයා තව ටිකක් ඉස්සරහාට ගිහින් බලන්නකෝ අලි නාවන හැටි. වෙනදා අලි නෑවේ ගඟට බැහැලා. දැන් මා ඔයේ වතුර නැති නිසා උන් නාවන්නේ වතුර බටයකින්. අලින්ට එහෙම නාලා මදි. නමුත් වතුර නැත්නම් මොනවා කරන්නද? මෙහෙම ගියොත් මොනවා වෙයිද මන්දා”
ඇයට සමුදී අප ගියේ පින්නවල අලි අනාථාගාරයේ අලින් නාවන ස්ථානය පිහිටි අලි අනාථාගාරය ඉදිරිපිට ඇති මා ඔය බැලීමටය. එහි යනවිට සවස 3ත් 4ත් අතර කාලය නිසාම දැඩි අව් රශ්මියක් එහි තිබුණි. එළිමහනේ ඉන්නට අපහසු වන පරිදි අව්ව සැර වැඩි නමුත් අලින් නෑමට ගෙන ඇවිත් තිබුණු අතර අප එහි යනවිට අලින් නාවමින් සිටියේ වාහනයක් සර්විස් කරනවා සේ වතුර මලක ආධාරයෙන්ය. මා ඔය දෙස බලද්දි ගල් තලාවක් දිස් විය. එහි වතුර මෙම ගල් තලාවේ තැනින් තැන එකතු වී තිබුණි. අඩි දෙක තුනක් ගැඹුරට ඇති මේ ජලයෙන් පක්ෂියකුටවත් නාන්ට අපහසු තරම් එහි ජලය අඩු වී ඇත. තව තවත් මේ නියඟය මේ ප‍්‍රදේශවලට පැවතුණහොත් අලින්ට නාන්නට වතුර බවුසර් ගේන්නට සිදුවෙනු ඇති බව එම කොටසේ පදික වෙළෙන්දකු අලි ඇතුන් නානවා නරඹන්නට එන නරඹන්නකුට කියනු මට ඇසිණි.
මෙම අලින් නාන තොට පිහිටි ස්ථානයට ඉස්මත්තෙන් ඇති හිරිවඩුන්න පාලමට පහළ කොටසින් බැම්මක් බැඳ ජල සම්පාදන මණ්ඩලය ජලය ලබාගෙන ප‍්‍රදේශයටම බෙදා හරියි. නමුත් එම ස්ථානයේ ජලයත් ක‍්‍රමයෙන් අඩු වූ විට එයින් ජලය ලබාගන්න අයට ජල හිඟය දැඩිව බලපානු ඇත. නමුත් ටැප් ජලය ලබාගන්නා අයත් මා ඔයට සතියේ නිවාඩු දිනයන්හි නෑමට එන්නේ ජලය වෙනදා මෙන් නොව අඩු වී ඇති හේතුවෙනි.
රඹුක්කන නගරයට නුදුරින් ඇති ගම්මාන රැසක ජලය බොහෝ සෙයින් අඩු වී තිබේ. කිලෝමීටර් ගණන් පයින් ගොස් දිය නෑමට ස්ථාන සොයා යාමට සිදුව තිබේ. ත‍්‍රීවිල් රථවලට මුදල් දී නාන්නට ස්ථාන සොයා යනු දැකිය හැක.
මේ යන ගමනේ අපිට හමු වූ පරපේ ටී.කේ.යූ.එන්. ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ කීය.
“මහත්තයා අපේ ප‍්‍රදේශයේ පවුල් 1000කට වැඩි ප‍්‍රමාණයකට වතුර නැහැ. කිලෝමීටර් තුන හතරක් ගිහින් රඹුටන් ඔයට තමයි නාගන්න යන්නේ. සමහර ළිංවල වතුර අඩියේ තියෙනවා. ඒවා ඉතා පරිස්සමින් ප‍්‍රයෝජනයට ගන්නවා. නැත්නම් බීමටත් ඔයට ගිහින් වතුර අරන් එන්න ඕනෑ. කුඩා ඔය කියලා එකක් තිබුණා වතුර ගන්න පොඩි ඇළක්. දැන් ඒකත් හිඳිලා. අපි ඉල්ලන්නේ ජල නළ මාර්ගයකින් අපිට වතුර අරන් දෙන්න කියලා.”
රඹුක්කන පවතින ඇතැම් ළිං ගම්වැසියෝ එක්වී හාරා තවත් ජලය සොයති.
වරකාපන ග‍්‍රාමසේවා වසමත් ගනේතැන්න ග‍්‍රාමසේවා වසමත් අතර පදිංචි සාමාන්‍යයෙන් කඩුගන්නාව පළතුරු කඩ පෙළේ සිට පහත් බිම දෙස බලද්දී පහත ඇති ගම්මානයේ පදිංචි අවුරුදු 70ක් වන ඩබ්ලිව්.ජී. සෝමපාල මහතා ජල ගැටලුව ගැන අපට කිවේ මෙවැනි කතාවකි.
“මම පුංචි සන්දියේ ඉඳන් මේ ප‍්‍රදේශයේ ජීවත් වෙනවා. නමුත් වතුර අපිට බොන්නට ගන්නවත් නැතිවෙන්න ගත්තේ මේ මෑත අවුරුදු දෙක තුනක කාලයේ ඉඳන්. එහෙම වෙන්න හේතු තියෙනවා. අපි ජලය ලබාගන්නේ මාවෙල ඇළින්. මේ ඇළේ වතුර එන්නේ ඔය පළතුරු කඩ පේළියට උඩ තියෙන කන්දෙන්. නමුත් එහි පරිසර විනාශය සහ වාහන සෝදන අය බට දාලා ජලය අරන් ඇළ මාර්ග හරස් කරලා ජලය ලබාගැනීම නිසාම මේ වනවිට මේ ඇළ මාර්ග සියල්ල ජලය නැති තරමටම වියළිලා ගිහින් තියෙන්නේ.
දැන් ඇළ මාර්ගය ප‍්‍රයෝජනයට ගත්ත පවුල් 35ක් 40ක් පිරිස් මේ නිසා අපහසුතාවයට ලක්වෙලා ඉන්නේ. ළිංවලත් ඉස්සර වාගේ වතුර නැහැ. සමහර වෙලාවට ගොඩාක් අය මා ඔයට ජලය සොයාගෙන යනවා. ඒ යන්නත් කිලෝමීටර් තුන හතරක් යන්න ඕනෑ වාහනයකින්.
මා ඔය කුඩා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා සමඟද අපි ජල හිඟය ගැන කතා කළෙමු.
“මා ඔය සුරකින්න අපි පසුගිය අවුරුද්දේ අරණායක සිට මාවනැල්ල දක්වා වැකි යොදාගනිමින් නාම පුවරු සකස් කරලා පරිසර හිතකාමී අයගේ ආධාර උපකාරයෙන් වැඩසටහනක් කරලා නාම පුවරු ගැසුවා. නමුත් හොරෙන් වැලි ගොඩදාන අය කළේ මේවා ගලවලා විසික් කරපු එකයි.
ඇයි එහෙම කරන්නේ? ඒ අයගේ ජාවාරම් පවත්වාගෙන යන්න නීතිය හරස් වෙයි කියන බය නිසාද? ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අරණායක පොලීසිය දැනුම්වත් කළ නමුත් අද වෙනකම් ඒ කිසි කෙනෙක් අපිට සොයාගන්න හරි දඬුවම් කරන්න හෝ මෙහි අගය කියා දීලා මෙවැනි කටයුතු කරන්න එපා කියලා කියන්නවත් මේ පුද්ගලයන් කවුද කියලා හොයාගන්න බැරි වුණා.
මේ දිනවල විශාල පෑවිල්ලක් තියෙනවා. මේ නියඟය නිසා දුර ඈත අය පවා එන්නේ මා ඔයට. ඒ වාගේ වෙලාවට මා ඔය අගෙයි. නමුත් ඇවිත් කරන්නේ මේ පිරිසුදු පරිසරය විනාශ කරන එකයි. නාගෙන ගියාට කමක් නැහැ. පොලිතින් මත්පැන් බෝතල් මේකේ දාලා ගියපුවාම වන හානිය ගැන කවුරුත් වග කියන්නේ නැහැ.
අරණායක ප‍්‍රාදේශීය ලේකම් ඉසඩ්.ඒ.එම්. ෆයිසාල් මහතා පැවැසුවේ, පවතින නියඟය නිසා අරණායක, ගල්බොක්ක, රන්දිලිගම, මොරාගම්මන, කන්දමුල්ල, වැනි ප‍්‍රදේශවල විශාල වශයෙන් ජල හිඟයක් පවතින බවය. “පසුගිය සතියේ අපිට උපදෙස් දුන්නා කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමකදී ජල මුලාශ‍්‍ර ප‍්‍රතිසංස්කරණයට මුදල් ප‍්‍රතිපාදන වෙන්වෙලා කියලා. එහෙම වුණොත් ඒවා පිළිසකර කරලා ජල ගැටලුව යම්තාක් දුරට අවම කරගන්නට හැකිවේවි” යැයිද ලේකම්වරයා පැවසීය.
මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද නියඟය නිසා මේ වන විට ජලය නොමැතිකමින් පවුල් 2000කට ආසන්න ප‍්‍රමාණයක්ද කුඹුරු අක්කර 400ට ආසන්න ප‍්‍රමාණයක්ද විනාශ වෙමින් පවතින බව මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ යු.කේ. ප‍්‍රියන්ත පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මෙම පිරිස වෙනුවෙන් අඛණ්ඩව සේවාවන් සැපයීමට ග‍්‍රාම නිලධාරීන් හරහා අනිකුත් රාජ්‍ය අංශ සමඟද සංවිධානද සංවිධාන කරමින් මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය පැවසූ අතර නමුත් ඉදිරියටත් නියඟය පැවතුණහොත් මෙම සංඛ්‍යාවන් වෙනස් විය හැකි බවද කීය.
කෑගල්ලට ජලය මේ තරම්ම අවම වීම සම්බන්ධයෙන් ලියන්නට බොහෝ කරුණු ඇත. පසුගිය කාලයේ අලගල්ල රක්ෂිතයේ උඩරට දුම්රිය මාර්ගයට ඉහළ කොටසේ සිදුවූ අක්කර 60 ගණනක් වූ වන විනාශයත් මීට කදිම නිදසුනකි. එය අනුමාන කර ඇත්තේ යම් දිනක එම කොටසේ නාය යෑමක් සිදුවුවහොත් අරණායක සාමසර කන්දේ නාය යෑමටත් වඩා ඉහළ යන බවයි. එසේ වුවහොත් උඩරට දුම්රිය මාර්ගයද ඇණහිටිනු ඇත.
කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට විශාල වසම් ප‍්‍රමාණයක ජල ගැටලුව පවතින අතර සමහර ප‍්‍රදේශවලට ජල බවුසර් මගින් ජලය බෙදා හරිනු ලබයි. මේ වන පෙබරවාරි 22 වැනි දිනට කෑගල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාංශ 11 තුළ නියගයෙන් ජලය නොමැතිව සිටින පවුල් ගණන විසිඅටදහස් හාරසිය අසූ හතරක් වන බව පැවසීය.
♦ කතාව හා සේයාරූ I මාවනැල්ල සමන් විජය බණ්ඩාර