2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

සෙනසුරා හැමවිටම නරකට හිටින්නේ නැහැ

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 1224

සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල වශයෙන් හැඳින්වෙන්නේ ලග්නයට, එසේ නැත්නම් ලග්නයේ දෙපසට සෙනසුරු අවතීර්ණ වූ විට ලැබෙන ලග්න ඒරාෂ්ඨකය ද, චන්ද්‍රයා සිටින රාශියට හා චන්ද්‍රයාගේ දෙපැත්තේ රාශිවලට සෙනසුරු අවතීර්ණ වූ විට ඇතිවන ජන්ම ඒරාෂ්ඨකය හෝ එසේත් නැත්නම් ශනි චන්ද්‍ර ඒරාෂ්ඨකයත් ඇතිවීමය. එසේම ලග්නයෙන් අටවැන්නට අවතීර්ණ වූ විට සෙනසුරැගේ අෂ්ඨම ඒරාෂ්ඨකයත් ජන්මීන්ට උදාවේ.

ආගමට දහමට ඇල්මක් දක්වන සෙනසුරු ආත්ම දමනයෙන් ආඪ්‍ය බැතිමතුන් නිර්මාණය කරයි. භාවනානුයෝගීව හැසිරෙන සෙනසුරු ධ්‍යාන බලය මතු කරන්නට ද උපන් හපනෙකි. තවුස් දහන සෙනසුරු ආදරය කරයි. තවුසකු සේ වාසය කරයි. ආගමානුකූලව දහමට ලැදිව ජීවිතය ඉදිරියට ගෙන යයි. නිතරම වාගේ ලෝකෝත්තර දියුණුවක් ඇති කිරීමට කටයුතු කරන බව දර්ශනය වේ. අසරණයන්ට පිහිටවන සෙනසුරු ඉවසිලිවන්තව හා සත්‍යවාදියකු ලෙසින් කටයුතු කරන සෙයක් පෙන්වයි.

ජන්ම රාශියෙන් තුන, හය, එකොළහ රාශිවලට අවතීර්ණ වූ විට උපතේ දී සුභව සිටින අතර සෙනසුරු ජන්මීන්ට සුභ ඵල ලබාදීමට කටයුතු කරයි. ජන්මීන්ට කීර්තිය යසස මෙන්ම වස්තු සම්පත් ද ළඟාකර දෙයි. කොපමණ දේවල් ලබා ඇතත් අවසන් මොහොතේදී විනාශ කරන, නැති භංග කරන ග්‍රහයා ද සෙනසුරුය. බොහොම අය නිතර පවසන වදනක් ඇත. ඒ සෙනසුරු දෙන්න වගේම ආපසු අරන් යන්නත් දක්ෂයකු බවය.

ජන්මීන් ඈතින් ඈතට මෙන්ම කබලෙන් ලිපට වැටෙන්නේ සෙනසුරු අසුභ වෙන විටදීය. සෙනසුරු ඉතාමත් කම්මැලිය. කටයුතු කල් දැමීමට නිතරම පෙළඹේ. විටෙක හරිම අසරණයි. විටෙක දුප්පත්ය. බලාපොරොත්තු සුන්කර ගන්නා අවස්ථා තිබේ. ළමා, තරුණ ඕනෑම කෙනකුගේ මහලු භවයක ලක්ෂණ ඇති කරයි. සෙනසුරු මානසික අසහනය ඇති කිරීමට රුසියෙකි. සුවකරගත නොහැකි තුවාල වම් කකුලේ ආබාධ, ඉක්මනින් සුව නොවන තුවාල, තනතුරු එපා කරවීම, ඉගෙනීම එපා කරවීම, රැකියාව එපාවීම සෙනසුරු අපල කාලවලදී බහුලව දක්නට ලැබේ. සෙනසුරු ලබනවාත් සමඟම බිහිරිභාවයට පත්වන ළමයි මෙන්ම තරුණයෝද සිටිති. ඒ කන්වල කිසිදු ආබාධයක් නොමැතිවයි. කෙනෙකු ලෙසින් හැඳින්වුවත් සෙනසුරු දෙවියකු නොවේ. ග්‍රහ වස්තුවක් පමණකි.

සෙනසුරුගේ ඒරාෂ්ඨක අපල වසර තිහක් ඇතුළත දී එක සැරයක් හෝ ජන්මීන්ට උදා කරයි. කෙසේ වෙතත් පෙර ආත්ම භවයන්හි පවින් වැළකී සිටි සිල්වතුන්ට සෙනසුරු අපල උදාවන්නේ නැත. කොටින්ම කියතොත් පෙර පව් නොකළ ජන්මීන්ට සෙනසුරු අපල උදා නොවේ.

පෙර ආත්ම භවයන්හිදී ජන්මීන් විසින් වෙනත් ජන්මීන්ට පීඩා කරනු ලැබීම හේතුවෙන් පාපකර්මවල විපාකවලින් කොටසක් වශයෙන් සෙනසුරැ අපලය හැඳින්වීම වරදක් නොවේ. ඊර්ෂ්‍යාව ලොකුම කර්මයක් ලෙස සැලකෙන්නේ සිතින් සිදුකරගන්නා කර්මයක් නිසාවෙනි. කිසිම වරදක් නැති අයට විපත් උවදුරු සිදුකිරීම හොඳ නැත. අන් අයගේ සැපතට බාධා කිරීම නොවටිනා ක්‍රියාවකි.

ඊර්ෂ්‍යා සහිත චේතනා අනෙක් අයගේ දියුණුවට අකුල් හෙළයි. මේවා අහිතකර චිත්ත වේගයන් වේ. මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළහොත් සෙනසුරැගේ අපලය සපථ කරගත හැකිය. අන් අයගේ විනාශයට කටයුතු කිරීම ද සෙනසුරැ අපලයට දිරි දීමකි. මේවායේ ඇලී ගැලී නොසිට වැළකීම හේතුවෙන් සෙනසුරැ අපලය සඵල වේ. අණවින, කොඩිවින, ප්‍රේත බන්ධන කිරීම නොහොබිනා ක්‍රියාදාමයන්ය. ඒවා නොකර සිටීමෙන්ද සෙනසුරැ අපලය වළක්වා ගැනීමේ හැකියාව පහල වේ. ප්‍රාණඝාතවලින් තොරව අවිහිංසක ජීවිතවලට පුරුදු වීම තවත් මහඟු කාර්යයකි. සතුන්ට අභයදානය දීම, පන්සිල් ආරක්ෂා කිරීම, ඉවසීම, මෛත්‍රී භාවනාව සෙනසුරැ අපලයට දිව ඔසුවකි.

ඒරාෂ්ඨක බලපාන කාලසීමා තුළදී උත්සාහයේ ප්‍රමාණයට නැත්නම් උගත්කම් ඵල ප්‍රමාණයට දියුණුවක් නොලැබ දිළිඳු වන බවක් පෙන්නුම් කරයි. දන් පින් නොකිරීම, පරිත්‍යාග නොකිරීම නිසාද, අන් අය සතු දේ සොරකම් කිරීම නිසාද, හොරකම වංචාව නිසාද සෙනසුරැ අපලයට මඟ පෑදෙයි.

සෙනසුරු අපලය සඵල කර ගැනීමට ලෙහෙසියෙන් කළ හැකි වන්නේ කපුටන්ට දානය පිළියෙළ කර දීමයි. එළඟි තෙල් මිශ්‍ර කිරිබත් හෝ එළඟි තෙල් මිශ්‍ර පහන්තිර දීම අගනා සත් ක්‍රියාවකි. සතුන්, කුරුල්ලන් නිදහස් කිරීම, සතුන්ට කුරුල්ලන්ට ස්නානයට වතුර තැබීම, පායන කාලවලට වතුර තැබීම විශේෂයෙන් සෙනසුරු අපලයට මහඟු ක්‍රියාදාමයකි. බඩගින්න, අක්ගින්න සංසිඳෙන දේ සතුන්ට දීම, ප්‍රාර්ථනය ද මෙම අපල දුරුකිරීමට මහත් පිටුවහලක් වේ. ත්‍රිවිධ රත්නයට, ශාරීරික, පාරිභෝගික, උද්දේශික ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීම, බෝධියට පුද පූජා පැවැත්වීම වඩාත් ගුණදායකය. පන්සිල් ආරක්ෂා කිරීම, භාවනානුයෝගීව හැසිරීම මෙම අපලය දුරුකර ගැනීමට අත්වැල් සපයයි.

අපල බලගතු වන අවස්ථා අපමණ ඇත. එම අවස්ථාවල සෙනසුරාදා දින හතක්, දින දහනවයක් සමහරැ පුද පූජා පවත්වති. එහෙත් පෙර ආත්මයන්හි එන අපල සම්මිශ්‍රණය වී තද අපල ඇතිවේ. එවිට බෝධිපූජා කිරීමෙන් සෙනසුරුගේ සම්පූර්ණ අපලය වළක්වාගත නොහැකි අවස්ථා එමට ඇත. මෙම අපලය සඳහා පින්කම් කරන විට දින හතේ සීමාවක් නොසිතිය යුතුය. ඒරාෂ්ඨක අපල ගෙවී යන තෙක්ම පින්දහම් කටයුතුවල නිරතවීම අගනේය. බෝධිපූජා පැවැත්වීමේදී නිල් මල් මෙන්ම නිල් පාට මල්මාලා ද, නිල් කොඩි, එළඟි තෙල්, තල තෙල්, අබ තෙල් පහන් පූජා කිරීම, බුද්ධ පූජා ගිලන්පස යනාදිය දින හත, දින දහනවය, ශ්‍රද්ධාවෙන් කර විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සියලුම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරවීම ද, රතන යන්ත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය දෙදහස් තුන්සිය වාරයක් පිරිත් කර පැළඳ ගැනීම, නවගුණ යන්ත්‍රය පැළඳවීම, සෙනසුරු අපලයට සැනසුම ලබාගත හැකි ක්‍රියාදාමයන්ය. නුග ගස්වල අතු කැපීම සෙනසුරු අපල කාලවලදී නොකළ යුතුයි. උදේ හය හත අතර කාලයේ දී කපුටන්ට දන් දීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව ඇත. සෙනසුරාදා දිනයක සෙනසුරු හෝරාව පවතින කාලයේ කපුටන්ට දන් දීම ද වැදගත්ය. දෛනිකව දානය දීම ද අගනේය. සෙනසුරු අපලය සඳහා දන් දෙන විට උඳු, මුං, තල, මෑ යන ධාන්‍ය වර්ග මිශ්‍රකර දීම වැඩි යහපතට හේතු සාධක වෙයි. කපුටන් වැනි සතුන්ට දන් දීම පමණක් නොව අසත්පුරුෂ මිනිසුන්ට වුවද දන් දීම බුදු දහම අනුව බලන විට සෙනසුරු අපලය අඩුකර ගැනීමට මහත් රුකුලක් වේ. කාක නීල මුදුවක් අත පැළඳ ගැනීමද වරදක් නොවේ.

ජාත්‍යන්තර ජ්‍යොතීර් විද්‍යා විශාරද
මහාචාර්ය හේමපාල පතිරණ
සැනසුම, 
බෝම්ඹුවල,
කළුතර දකුණ

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00