සිරිලක පසිදු කළුතර ගම් දනව් අතරින් බේරුවල් පුරවරය පසුකර ගාලුපාරේ සැතැපුම් දෙකක් පමණ ගිය තැන මොරගල්ල කාලවිලවත්ත ධර්මදීප යෝගාශ්‍රමය හමුවේ. ඓතිහාසික කන්දේ විහාරය පුදබිම වෙත පිවිසෙන මංසන්ධිය අසල ගංදෑල අද්දර මේ වන අරණ පිහිටා තිබේ. එක් පසෙකින් කඩොලාන පරිසර පද්ධතියකින් යුත් ගංදෑලත් අනෙක් පසින් මහා සුයුරත් මායිම්ව ඇති මේ පින්බිම සොබා සිරියෙන් අනූනය. පංචකපදූව නම් වෙරළ ආසන්නයේ ඇති සොඳුරු දිවයින මේ අරණේ ඓතිහාසිකත්වයේ සලකුණයි.
අතීත මංපෙත් ඔස්සේ අපි මීට පිවිසෙමු. දෙවැනි පරාක්‍රමබාහු රජදවස රෝහණ දේශයෙහි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර එවන ලද්දේ දේවපතිරාජ අමාත්‍යවරයාය. දේවපතිරාජ අගමැතිවරයා කළ සේවා රැසක නෂ්ටාවශේෂ රුහුණෙහි මෙන්ම ලක්දිව නන් දෙස්හි දක්නට ලැබේ. අනුබුදු කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව බෙන්තර ගලපාත රජමහා විහාරයෙහි වඩා හිඳුවා පුද පූජා පැවැත්වීම දේවපතිරාජ ඇමැතිඳුන් සිදුකළ අග්‍රගණ්‍ය ශාසනික මෙහෙවරක් ලෙස ‘පූජාවලියේ’ සඳහන්ය.
දේවපතිරාජයන්ගේ ඇල්ම බැල්ම මේ පුදබිමට ලැබීම කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව බෙන්තර ගලපාත රජමහා විහාරයට රැගෙන එන විට සිදුවූවකිත. මෙහිදී ඔහු පංචකපදූවේ ද කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ වඩාහිඳුවා පුද සත්කාර කළ බව කියැවේ. ඊට පූජාවලියෙන් ද සාක්ෂි හමුවෙයි. ඒ අනුව මීට වසර අටසීයකට පෙර පංචකපදූවේ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වී ඇති බවට පූජාවලිය සාක්ෂි දරයි. මෙහි වර්තමාන ඉතිහාසය එක්දහස් නවසිය හතළිස් ගණන්වල ඇරඹෙන අතර මුල්කාලීනව මෙය හඳුන්වා ඇත්තේ විදර්ශනා පිරිවෙණ නමිනි. ත්‍රෛනිකායික යෝගාවර භික්ෂූන් වහන්සේ උදෙසා මේ පින්බිම පුහුණු මධ්‍යස්ථානයක්ව පැවත තිබේ. ඒ අනුව බොහෝ භික්ෂූන් ද අධ්‍යාත්මික සුවය වෙනුවෙන් භාවනා ප්‍රගුණ කරන ගිහි උපාසකයන් ද මේ බිමේ පහස ලබා ගත්හ.
පංචකපදූව යනුවෙන් මෙම දූව හැඳින්වීම පිළිබඳ ජනප්‍රවාද පවතී. මේ මහා භද්‍ර කල්පයෙහි බුද්ධත්වයට පත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප හා ගෞතම බුදුරජාණන් වහන්සේ ද, මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ද යන පංච මහා බුදුවරුන්ගේ කාලයෙහි ‘පංචකපදූව’ නොනැසී පවතිණ බව ජන විශ්වාසයකි. බෙන්තර ගඟින් උතුරු මායිමට යාබදව ද, මොරගල්ල කාලවිලවත්තේ ධර්මදීප යෝගාශ්‍රමය සහ පංචකපදූව එකම සේනාසනයකට අයත් බැව් සිහි කටයුතුය. කෙසේ වෙතත් අපූරු කරුණක් මෙහි වෙයි. බෙන්තර ගඟ අද්දට සයුරු ඉමේ පිහිටි පංචකපදූව දකුණු පළාතට අයත් නමුදු මොරගල්ල යෝගාශ්‍රමය අයත් වන්නේ බස්නාහිර පළාතටය.
පංචකපදූවේ පිටත කෙළවරින් දිස්වනුයේ අනන්ත අපරිමිත මහා සාගරයයි. දූවේ මෙහා කෙළවරින් බෙන්තර ගඟ ඉහත්තාවේ දිස්වනුයේ ‘හේ කොක්’ නම් නැව් මඟක් වන බව කියැවේ. ඒ අනුව ගමනාගමනයේ දී මේ පුණ්‍ය දිවයින සලකුණක් ලෙස ගැනෙන බව තතු දත්තෝ පවසති. වනපෙතින් වැසුණු කඳුගැටයක් වන මෙම දූව ලන්දේසීන් ‘හුයිබර්ග්’ ලෙස හැඳින්වූ බවට සාක්ෂි සාධක අපට හමුවිය. මේ අද්දර ඇති නදිය ද උසුලන්නේ උපශාන්ත තවුස් ලීලාවක් බව තවත් වරෙක අපට සිතේ.
අදින් වසර අටසීයකට පමණ පෙර බෙන්තර ගංමෝදර පිහිටි ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටීම වත්මනට බොහෝ සෙයින් වෙනස්ව තිබූ බවට ද මතයක් තිබේ. තවද අතීතයේ දී ගම්මුන්ට ඇතැම් දිනවල මෙම දූවට පයින් යා හැකි ලෙස ජල කඳ තුනී වූ බවද පැරැණ්නෝ සිහි ගන්වති. එසේ ගිය ගමන් ගැන ද මතක ඔවුන් අතර තිබේ. එහෙත් මෑතකාලීනව එය සිදුකළ නොහැක්කකි. 2004 සුනාමිය ද ඊට හේතු වූ නමුත් කාලාන්තරයක් තිස්සේ සිදුවන පාරිසරික වෙනස්කම් ඊට මුලික හේතු වී තිබේ.
විදර්ශනා පුහුණුව ලත් යෝගාවචර භික්ෂූන් වහන්සේලා මෙම ආරණ්‍ය සේනාසන පිහිටුවීමෙහිලා පුරෝගාමී වූහ. අද ද මෙහි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා සය නමක් පමණ වැඩ වසති. පංචකපදූවේ ද භාවනා කුටි පිහිටා තිබේ. අද මෙම වෙරළ තීරයට සංචාරක කර්මාන්ත ආගමනය සිදුව තිබේ. එහෙත් අතීතයේ දී මෙම පෙදෙස පොල් රුප්පාවලින් ගහණ වූ ලඳු කැලෑවලින් සුසැදි නිස්කලංක පරිසරක් විය. එහි යම් සේයාවක් අද ද ආරණ්‍යයට ඇතුළු වූ විට අපට දැනේ. නිහඬ බව සමඟ අධ්‍යාත්මික සුවයක් සොයන්නට මෙම බිම ක්ෂේමභූමියක් යැයි කිව මනාය. පංචකපදූවේ ද පරිසරය භාවනානුයෝගී යෝගාවචර භික්ෂූන් වහන්සේ උදෙසා නිරාමිස මිහිරකි. ශාන්ත හැඟීමක් ඇතිකරවන්නකි.
මෙම සෙනසුනේ දායකාදීහු දිවයිනේ නන් දෙස පැතිර සිටිති. දාන මාන ආදී කටයුතු වෙනුවෙන් බොහෝ දුර ගෙවා පැමිණෙන පිරිස් වෙති. හොරණ, බලපිටිය, අම්බලන්ගොඩ, ඌරගහ ආදී ප්‍රදේශවලින් එන දායකයෝ අද ද සිටිති. අතීතයේ සිට එය එසේය. කල් ඇතුව පැමිණ මෙහි නැවතී දානය පිළියෙල කර ඒවා භාවනාකුටිවල වැඩසිටින මහා සංඝයාට පිළිගැන්වීම නිරාමිස සුවයක් ගෙන දෙන අත්දැකීමක් වන්නට ඇත. අද මෙහි දානා දී කටයුතු සිදුවන්නේ එලෙසිනි. පොහෝ දිනවල සීල දානය වෙනුවෙන් අද වනවිට බොහෝ පිරිස් මෙහි පැමිණෙති.
සංචාරක කර්මාන්තය විසින් මෙහි උපශාන්ත බව යම් පමණකට උදුරා ගැනුණා ද යන්න මෙහි පැමිණෙන අයකුට සිතෙනු ඇත. එහෙත් සෙනසුන අද්දර ඇති බොහෝ හෝටල් මෙහි වටිනාකම තේරුම්ගෙන දායක සභාව හා සුහදව ක්‍රියා කරන බව කියැවේ. කෙසේ වෙතත් ඇතැම්විට සංචාරක කර්මාන්තය ඇසුරේ වන ඇතැම් සැණකෙළි මෙහි භික්ෂු විදර්ශනාවන්ට බාධාවක් නොවෙතැයි කාට කිව හැකිද? අපි නොදනිමු. අතීතයේ දී මෙහි තතු බොහෝ සෙයින් අප්‍රකටව පවතින්නට ඇති බව සිතිය හැකිය. ඊට මෙහි පිහිටීම විසල් අනුබලයක් වන්නට ඇත. අද පංචකපදූව දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් බඳින දසුනක් වී තිබේ. සොබා සිරි අසිරි විඳිනු රිසි කාටත් බුදු දහමේ තහංචි නැත. එහෙත් මෙහි සොඳුරු බවත් ඓතිහාසික උරුමයත් රැකගැනීමේ වගකීම අප සතුය.
මේ පින්බිමට කතරගම වන්දනාවේ යන බැතිමත්හු ඉඳහිට ගොඩවෙති. ජීවිතයේ මඳ ඉසිඹුවක් සොයා යන ඕනෑම අයකුට මොරගල්ල කාලවිලවත්ත ධර්මදීප යෝගාශ්‍රමය සිත නිවන පුණ්‍ය තීර්ථයකි. ලක්දිව මුහුදුබඩ මෙවන් සෙනසුන් බොහෝ විරල බව ද කිව මනාය. එසේ හෙයින් මෙම දූව හා ආරණ්‍ය සේනාසනය සිරිලක මුහුදුබඩ දැකිය හැකි රමණීයම වන අරණක් බැව් සැක නැත. මේ පින්බිම සහ පංචකපදූව විනෝද්‍යානයක් කර නොගෙන ගැඹුරැ නිරාමිස සුවයක් සොයා පැමිණෙන ලෙසට අවසන ඉල්ලා සිටිමු.
►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තුතිය: වර්තමාන දායක සභාවේ සභාපති මුළු දිවයිනටම සාම විනිසුරු දේශකීර්ති පී. දයානන්ද සිල්වා මහතාට