2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

වෛද්‍ය උපාධියට බෙදුණු වෛද්‍ය සභාවේ අවුල

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

වෛද්‍ය උපාධිධාරීන් පිරිසකගේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අර්බුදයක් ඇති විය. ඒ පසුගිය මස 29 වැනි සිකුරාදාය. මෙය දීර්ඝ කාලයක් පුරා ඇදෙමින් තිබුණු ගැටලුවක උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැක. මෙදින වෛද්‍ය සභාවේ මතගැටුමක් නිසාවෙන් ඡන්ද විමසීමක් පැවතිණි. මෙම උපාධිධාරීන්ට ලියාපදිංචිය නොදිය යුතු බවට ඡන්ද 10ක් ලැබී ඇති අතර ලියාපදිංචිය දිය යුතු බවට ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි. මෙය දීර්ඝ ලෙස සලකා බැලීම මහජනයා ලෙස අප කාගෙත් සෞඛ්‍යයට හිතකරය.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, උප සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ තවත් සාමාජිකයන් පිරිසක් එම සිසුන්ට ලියාපදිංචිය ලබාදිය යුතු බව ප්‍රකාශ කළහ. එහි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ද වන සාමාජිකයන් හතර දෙනා ඇතුළු පිරිසක් ඊට විරුද්ධ වූහ.

මෙම සංයුතියේ වාසිය පිළිබඳව ද යම් සඳහනක් කළ යුතුය. වෛද්‍ය සභාව සම්බන්ධයෙන් විශාල අර්බුද රාශියක් පසුගිය කාලේ ඇතිවූ සැටි අපට මතකය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරිය යුතු බවද කලක සිට කියැවිණි. කෙසේ වෙතත් මෙම තීරණය සමඟ තවත් දේශපාලනික කරුණු හා යෝජනා ඉදිරියේ දී ඉදිරිපත් වීමට ඉඩ තිබේ. මාධ්‍ය වාර්තා අතර ඉදිරියේ දී ඊට අදාළ පුවත්වලට ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත. එය මෙම සිදුවීමේ දිග පළල විග්‍රහ කර ගැනීමෙන් ඔබට අවබෝධ වනු ඇත.
මෙම වෛද්‍ය උපාධිධාරීන් පිරිස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත විදේශ වෛද්‍ය විද්‍යාලවල උපාධි පාඨමාලා හදාරා ඇති අතර පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ කඩඉම් විභාගය ද (ඊ.ආර්.පී.එම්.) සමත් බව කියති. කෙසේ වෙතත් මේ පිරිසට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකමක් වන උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් නොමැති බව හෙළි වී තිබේ. මෙම තොරතුරු අනාවරණය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් පවසන පරිදි මෙම පිරිස ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අසමත් විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලට වාර්ෂිකව සිසුන් 1200ක් පමණ ඇතුළත් කර ගනු ලබති. තවත් සිසුන් පිරිසක් විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පිටත්ව යති. ඒ ඉන්දියාවේ මනිපාල්, බංග්ලාදේශයේ චිතගොං, චීනයේ හා රුසියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහාය. මහ බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවල වෛද්‍ය ශිෂ්‍යයකුට දැරිය යුතු වියදම ඉතා ඉහළ බැවින් මෙරටින් එවන් රටවලට අධ්‍යාපනය සඳහා යන්නේ ඉතා අතළොස්සකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත විදෙස් විශ්වවිද්‍යාල ගණන 230කට අධිකය.

මෙලෙස විදේශීය වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබා උපාධිය සම්පූර්ණ කර පැමිණි සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවත්වන ERPM විභාගයට පෙනී සිටිය යුතුය. ඒ මෙරට වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීම වෙනුවෙනි. මෙහිදී අවධාරණය කළ යුත්තේ මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි වුවද වෛද්‍ය ආඥා පනතට අනුව විදේශ වෛද්‍ය උපාධිය ඇති පිරිස් වෛද්‍ය සභාවේ අනුමැතියට යටත්ව මෙරට දී පිළිගැනීමට ලක්වන බවයි. එහි දී දේශීය, විදේශීය, පෞද්ගලික වශයෙන් බෙදා වෙන් කිරීමක් නොමැත. පිටරට අධ්‍යාපනය ලබා පැමිණෙන වෛද්‍ය සිසුන්ට විශාල මුදලක් වෛද්‍ය සභාවට ගෙවා ලියාපදිංචි වීමට ඉඩ සැලසෙන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත් අසන්නතම අර්බුදය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි චෝදනාවට ලක්වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාය. ඔවුන් අප්‍රේල් පළමු වැනි දින නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයෙන් ඒ බව අනාවරණය වේ. ඊට අනුව මෙය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළකි. අමාත්‍යවරයා සමඟ වෛද්‍ය සභාව තුළ හා පිටත පිරිස් මීට සම්බන්ධ වී සිටිති. මේ සම්බන්ධයෙන් පූර්වයේ දී ඔවුන් ජනාධිපතිවරයා ලිපියක් මගින් දැනුවත් කරන ලදී. වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ මහාචාර්ය නිලන්ති සිල්වා ද ‍යන අය අමත්‍යවරයාගේ අවශ්‍යතාව පරිදි මෙම කටයුතු ක්‍රියාත්මක කර තිබේ. කෙසේ නමුත් අවසානයේ දී 10:7 ලෙස මේ ප්‍රයත්න පරාජය කිරීම සමස්ත රටම ලැබූ ජයග්‍රහණයක්‍ යැයි ඔවුහු කියති. මන්ද. මූලික සුදුසුකම් නොමැති පිරිස් වෛද්‍යවරැන් ලෙස ලියාපදිංචි වීම හරහා රෝගී ජීවිත අවදානමට ලක්වීමක් බැවිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා දක්වන පරිදි මෙම උත්සාහය බරපතළ තත්ත්වයකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකිවයුත්තකු සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කළෙමු. එය අසාර්ථක වූ තැන සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරියකු සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කළෙමු. නමුත් එම ප්‍රයත්න දෙකම ව්‍යර්ථ විය.

පෙර දැක්වූ පරිදි 2019 පෙබරවාරි 07 වැනි දින උත්සාහ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිපියකින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. එයින් අනාවරණය වන සුවිශේෂීම කරුණක් නම් උසස්පෙළ විෂයයන් තුනම අසමත් (F 3ක් ඇති) අය ද මේ පිරිස අතර සිටින බවයි. එය සත්‍ය නම් ලිපිකාර තනතුරක් සඳහා මෙරට අවම සුදුසුකම උසස්පෙළ සමත් වීම බව ද අප සිහිපත් කළ යුතුය. තවත් පසෙකින් පෙනෙන්නට ඇත්තේ අතිශය දැවැන්ත අරගලයක් කර සයිටම් අහෝසි කිරීම සිදුකළද සුදුසුකම් නොමැති පිරිස් වෛද්‍ය වෘත්තීයට ඇතුළු වීමට මාන බලමින් සිටින බවයි.

මෙහිදී නොවලනා හෙළිකළ යුතු තවත් පැතිකඩකි. වෛද්‍ය උපාධියක් සම්පූර්ණයෙන්ම ලබාගැනීම වෙනුවෙන් විදේශයක රැඳී සිටින සිසුවකුට සමස්ත වියදම රුපියල් කෝටි දෙක තුනකි. තවද, විදෙස් අධ්‍යාපනය හේතුවෙන් මෙරටට වාර්ෂිකව රුපියල් කෝටි දහතුන් දහසක් පමණ අහිමි වෙයි. එය පැවසුවේ පසුගිය සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි. කෙසේ වුවත් මෙම සිසුන් උසස්පෙළ සමත් පිරිස් නම් ඔවුන්ට අනිවාර්යයෙන් මෙරට තුළ විධිමත් ක්‍රමවේදයකට අනුව වෛද්‍ය වෘත්තීයට ඇතුළත් වීමට ඉඩකඩ දිය යුතුය. මන්ද යත් මෙරට තවමත් දුෂ්කර ප්‍රදේශවල වෛද්‍ය පුරප්පාඩු පවතින බැවිනි. තවද නීතියෙන් ද ඔවුන්ට එම අවකාශය තිබීමය.

එහෙත් සුදුසුකම් නොමැති අයට ඉතා වගකීම් සහගත වෘත්තීයක් වන වෛද්‍ය වෘත්තීයට පැමිණීමට ඉඩ ලබා නොදිය යුතුය. දේශපාලන බලය, ධනය භාවිත කරමින් මෙරට ඇති හැකි පන්තියේ පිරිසක් ඊට උත්සාහ දරන බව පසුගිය කාලය පුරා දුටුවෙමු. මෙවර වෛද්‍ය සභාවේ ප්‍රශ්නය ඊට අනුයාත බව පෙනේ. එසේ නමුත් එම පාර්ශ්වයේ මතය පැහැදිලි නොමැති තැන ඍජු චෝදනාවක් ඉදිරිපත් කිරීම අසාධාරණය. අපි අවධානයෙන් සිටිමු. අපි අද විනිවිදභාවයක් අපේක්ෂා කරමු. ඒ අප සැම ඕනෑම මොහොතක රෝගී වීමට ඉඩ ඇති බැවිනි.

►චමිඳු නිසල් ද සිල්වා