2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ඉවසන්න බැහැ... රස්නේ...

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 289

ලක් පොළෝතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා මේ වනවිට බොහෝ දෙනා පීඩාවට පත්වෙමින් සිටිති. දැඩි සූර්ය රශ්මියෙන් රටම දැවෙමින් පවතින්නේ ඉතිහාසයේ සිදුනොවූ විරූ ආකාරයටය. දිවයිනේ පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩිවීමක් පෙන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 70 දශකයට පෙර අතීත අත්දැකීම් සිහිපත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවසන්නේ මෙය අබුද්දස්ස කාලයට සිදුවන්නක් ලෙසටය.

ඉදිරි කාලය තුළ දරුණු වියළි කාලගුණයකට මුහුණදීමට සිදුවන බව පවසන බලධාරීහු 2019 දී දිවයිනට දරුණු ඉඩෝරයක් ඇතිවන බවට අනාවැකි පළකරති. කලක සිට මුහුණ දී සිටින ජල අර්බුදයට දක්වන හේතු කාරණා අතරට, වගකිවයුත්තන් පවසන ප්‍රධාන කරුණක් වන්නේ ගෝලීයකරණය වීම හා ගෝලීය උණුසුමයි. නිදහස ලබා ගතවූ වසර 70ක් පුරාවට වරින්වර ඇතිවූ ජාතික ව්‍යවසන හා ආපදාවලදී කැලෑ ගිනි තැබීම් හා වන විනාශ වැනි සම්ප්‍රදායික හේතුන් දක්වන වගකිවයුත්තෝ පවතින දැඩි සූර්ය රශ්මියට රටේ ජනතාවද වගකිවයුතු බව පවසති. ඒ හැර සිදුවන දේශගුණ විපර්යාස හෝ ආපදා කළමනාකරණය කිරීම පිණිස දීර්ඝකාලීන සැලසුම් හා තිරසාර පිළියම් සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් නොවීය.

අද වනවිට දිස්ත්‍රික් ගණනාවක පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, තන්තිරිමලය, රඹෑව ආදී ප්‍රදේශවලද හම්බන්තොට, මන්නාරම, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල ජනතාවද මේ දැඩි පෑවිල්ලත් සමඟම මහත් දුෂ්කරතාවයකට පත්ව සිටින බවද අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති. මෙම වියළි දේශගුණික තත්ත්වය අද වෙද්දී බහුලව දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයත් අන්තර් මැද දේශගුණික කලාපයත් යන දෙක අතරේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 20%ක් තෙත් කලාපයට අයත්වන අතර වියළි කලාපයට 60%ක්ද මැද දේශගුණික තත්ත්වය 20%ක්ද ලෙසද වේ. මේ වනවිට පවතින මෙම උණුසුම් කාලගුණික තත්ත්වය මෙරට මුළු භූමි ප්‍රදේශයෙන් 75%කට වැඩි ප්‍රමාණයකට බලපා තිබේ.

මෙරට වර්ෂාපතන රටාවේ ව්‍යාප්තිය අනුව මෙය සංවහන වර්ෂා ඇතිවන කාලය ලෙස හැඳින්විය හැකිය. දේශගුණික තත්ත්වය හමුවේ ඊසාන දිග මෝසම් කාලයට සරිලන වර්ෂාපතනයක් මෙරටට නොලැබිණි. පසුගිය දිනවල ඊසාන දින මෝසමත් සමඟම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ලැබුණද එය ප්‍රමාණවත් ලෙස ලැබුණ වර්ෂාවක් ලෙස හැඳින්විය නොහැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සුළඟේ වේගය අඩුවීම සහ වායු ගෝලයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවීම මෙම අධික උෂ්ණත්වයට ප්‍රධාන හේතුව බවයි. මේ තත්ත්වය ලබන මැයි මාසය දක්වා පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වනවිට මෙම තත්ත්වය රටෙන් තුනෙන් එකකට ආසන්න මිනිසුන්ගේ ජීවනෝපායට මෙන්ම වන ජීවිතයටද බලපා තිබේ. ලංකාවට බොහෝ විට වර්ෂාව බලාපොරොත්තු විය හැක්කේ නිරිත දිග මෝසම සක්‍රීය වන කාලයේදීය.

බොන්නවත් වතුර නෑ

සෝමසිරි - පුත්තලම

මේ දිනවල පවතින අධික පෑවිල්ල නිසා අපි බොහෝම අපහසුතාවට පත්වෙලා තියෙනවා. බොන්නවත් වතුර නැහැ. අපිට කිසිම වැඩකටයුත්තක් කරගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි අපේ දුවා දරුවන් පවා අධ්‍යාපන කටයුතුවලට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ළමයින්ට තමන් පාසලට අඳින ඇඳුම පවා සෝදා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දවල්ට විතරක් නෙවෙයි රාත්‍රී කාලයටත් තියෙන්නේ මාර රස්නයක්. මේ පෑවිල්ල තවදුරටත් මේ විදියට ගියොත් සාගින්නේ තමයි ඉන්න වෙන්නේ මිනිස්සුන්ට. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් බීමට ජලය ලබාදෙනවා බව්සර් මගින්. නමුත් ඒ පානීය ජලය විතරයි. සොබාදහම කම්පා වෙලා තියෙන්නේ.

එළියට බහින්න බැරි තරම් අමාරුයි
පියදාස - බදුල්ල

අධික පෑවිල්ල නිසා අපිට කිසිම වැඩ කටයුත්තක් එළියේ ඉඳන් කරගන්න බැරි තත්ත්වයක් මේ වනවිට උදාවෙලා තියෙනවා. ඒ වගේම තමයි කිසිම බෝගයක් වගාකර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. අස්වනු නෙලීම අවසන් වෙනවත් සමගම තමයි මෙච්චර ලොකු පෑවිල්ලක් ඇල්ලුවේ. කොහොම වුණත් රෑට නිවසක සිටීමට තරම්වත් නොහැකි ලෙස මේ පෑවිල්ල දරුණු වෙලා තියෙනවා. දැනට අපිට පානීය ජලය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. නමුත් තවදුරටත් මේ විදියට කාලගුණයේ වෙනසක් වුණේ නැත්නම් බීමට ජලයවත් ඉතුරුවෙන එකක් නැහැ.

ලෝක කාලගුණ බලපෑම්වලට ලංකාවත් අහුවෙලා
හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර්. අබේසිංහ

මේ දිනවල රටේ සමහර ප්‍රදේශවලට පවතින අධික උණුසුමට හේතුව තමයි මේ දිනවල වායුගෝලයේ සුළං අඩුවීම සහ වායුගෝලයේ ජලවාෂ්ප ප්‍රමාණය අධික වීමා, පහුගිය කාලවල දත්ත සලකා බැලූවිට මෙම තත්ත්වය ලබන මැයි මාසය වෙනකම් පවතියි කියන විශ්වාසය තිබෙනවා. කෙසේ වෙතත් මැයි මාසයේ සිට නිරිත දිග මෝසම සක්‍රිය වූ විට මෙම තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තුවීමට පුළුවන්. ඒ වගේම තමයි කිසි දවසක නොවූ විරූ ආකාරයෙන් එකිනෙකට විරුද්ධ කාලගුණ වෙනස්වීම් අප රටට බලපා තියෙන්නේ ලෝකයේ තියෙන අනෙකුත් දේශගුණ විපර්යාසවල බලපෑමටත් අපේ රට අසු වී තිබෙන නිසා. කෙසේ වෙතත් අපේ රටේත් ලෝකයේත් බොහෝ පිරිස් කරන පරිසර විනාශය, කරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුණත් ජනතාවගේ අස්වනු නෙලාගැනීමේ කාලය මේ වනවිට අවසන් වෙලා තියෙන නිසා මේ පවතින කාලගුණ තත්ත්වය යටතේ බලපෑමක් නොවුණා කියන කාරණය දැනට වාර්තා වෙලා තියෙනවා. ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මෙවැනි තත්ත්වයක් යටතේ ජල ගැටලුව. ඒ නිසා බොහෝ දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය පහව යන තෙක්. ඒ වගේම තමයි මැයි මාසය අවසන් වනවිට මෙම තත්ත්වය පහව යයි කියලා අපි විශ්වාස කරනවා.”

මේ අතර උතුරු පළාතට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් වව්නියාවේ සහ යාපනය දිස්ත්‍රික්කවල පවුල් 7350කට අයත් පුද්ගලයන් 25296ක් විපතට පත්ව ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

පානීය ජලය සැපයීම ලොකු ප්‍රශ්නයක්
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යෂ ප්‍රදීප් කොඩිප්පිලි

දිස්ත්‍රික්ක 11ක පවුල් 29,088ක පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් මේ වනවිට දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ කාලය වනවිට අස්වැන්න නෙලා අවසන් නිසා මේ දැඩි උෂ්ණත්වය නිසා අස්වනු නෙලීමේදී බාධාවක් එල්ල වුණේ නැහැ. මේ කාලය තුළ දැනට ජනතාවට තිබෙන එකම ප්‍රශ්නය තමයි ජල ප්‍රශ්නය. මොකද  දැඩි පෑවිල්ලත් සමඟ මේ වනවිට රටපුරා බොහෝ දිස්ත්‍රික්කවල ළිංවල, වැව් අමුණුවල, ජලාශවල ජලය හිඳීගොස් තිබෙනවා.  විපතට පත්වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරැන් හරහා පානීය ජලය බෙදාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඊට අදාළ බවුසර් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව ජලය සපයනවා. මේ පවතින දැඩි රස්නය සහිත කාලගුණය ලබන මැයි මාසය වෙනකම් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා. කොහොම වුණත් දිවයිනේ  උණුසුම් තත්ත්වයට මුහුණ දීලා සිටින ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සහන සැපයීමට ඕනෑම වෙලාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විමසිල්ලෙන් පසුවෙනවා. ඒ වගේම දැනට පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබෙනවා.

මිනිසුන්ගේ වැරදිත් මේකට හේතුවක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක 

මේ දිනවල මෙරට පවතින උණුසුම් තත්ත්වය මෙරට වායුගෝලය ලෝක කාලගුණික විපර්යාසවල බලපෑමට ලක්වෙලා හටගත් එකක්. මේ විදියට දේශගුණික විපර්යාස සිදුවෙන්නට වූ මූලික හේතුව වන්නේ මානව ක්‍රියාකාරකම්. ඒ වගේම තමයි දැනට දිවයිනට බලපා තිබෙන මෙම තත්ත්වය නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟම අඩුවෙලා යයි. විශේෂයෙන්ම අන්තර් මෝසම් වැසි තමයි මේ කාලය වනවිට ලංකාවට ලැබෙන්න ඕන. නමුත් අන්තර් මෝසම් වැසි නොලැබීමත් සමගම තමයි මේ විදියට වායුගෝලයේ ජල වාෂ්ව වැඩිවෙලා අධික උණුසුම් සහිත තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.

I සටහන - හසිත් අංජන