කොසොල් රජතුමා සිය අග මෙහෙසිය වූ මල්ලිකා දේවිය සමඟ මතභේදයක් ඇති කර ගත්තා. දේවියත් පසුබට වුණේ නෑ. උඩඟු ලෙස කතාබහ නොකර උන්නා. මේ දෙදෙනාගේ විරසක වීම ගැන බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුන් වහන්සේ පන්සියයක් සංඝයා වහන්සේලා පිරිවරා කෝසල රජ මැඳුරට වැඩියා.
කොසොල් රජතුමා බුදුන් වහන්සේ වඩිනවා දුටුවා. එතුමා බුදුන් වෙත පැමිණ පාත්‍රය ගෙන බුදුන් වහන්සේ රජගෙය තුළට වැඩම කරවා ගත්තා. දනක් පිළියෙල කළා. කැඳ අවුළු පිළිගැන්වූවා.
මහරජ කෝ මල්ලිකා දේවි? බුදුන් විචාළා...
ස්වාමීනි! ඇගෙන් කුමන ප්‍රයෝජනයක්ද? ඇය දැන් බොහෝම උඩඟු වෙලා.
මහරජ ඔබයි ඇයට යස සපිරිවර මෙන් සම්පත් දී උසස් තත්ත්වයට ගෙනාවේ. ඉතින් ඔබට දැන් ඇගෙන් වරදක් වුණාද?
ස්වාමීනී! වරද තමයි උඩඟුකම.
ඒ වුණාට කමක් නෑ. ඇය මෙවැනි අවස්ථාවක මඟහැරවීමද හොඳ නෑ. ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක්. ඒ නිසා එතුමිය කැඳවන්න...
රජතුමාට බුදුන් වහන්සේගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි වුණා. මල්ලිකා දේවිය ගෙන්වූවා. එතුමිය පැමිණ බුදු සිරිපද නමස්කාර කළා. එකත්පස් වුණා. බුදුන් වහන්සේ සමගිය ගැන ගුණ වර්ණනා කරමින් ධර්ම දේශනාවක් පැවැත්වූවා. ඉන් රජතුමා සහ මෙහෙසිය අතර භේද නැතිවුණා සමගි වුණා. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ විහාරයට වැඩියා. පසු දින දම් සභාවේ මේ සිද්ධිය ගැන කතාබහ කළා. එවිට බුදුන් වහන්සේ දැන් මතු නොවේ පූර්වේද ඔය දෙන්නා භේද වුණා. පසුව සමගි වුණා. යැයි පවසමින් මෙම කථාව වදාළා.
එකල බඹදත් රජතුමාට බොහොම නැණවත් ඇමැතිවරයෙක් උන්නා. එතුමා සාධාරණ කරුණාවන්ත කෙනෙක්. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේද මේ ඇමැතිතුමා.
බඹදත් රජතුමා දිනක් සීමැදුරු කවුළුවෙන් අවට බැලුවා. ඉතාම රූමත් තරුණියක් දුටුවා. ඇගේ හිස මත කූඩයක්. රජතුමා ඒ දෙස විමසිල්ලෙන් උන්නා. බැලුවාම ඇය මසන්ගෙඩි විකුණන්නියක්. මසන් ගන්න මසන් ගන්න කියා කෑ ගැසුවා.
රජතුමා ඇගේ රුවට සහ මිහිරි කඩහඬට වශී වුණා. ඇය පිළිබඳ සිතක් ඇතිවුණා. රාජපුරුෂයන් යවා මසන් වෙළෙන්දිය රජගෙදරට ගෙන්වා ගත්තා. තොරතුරු විමසුවා. අස්වාමික බවද දැනගත්තා. අගමෙහෙසිය කරගත්තා.
එම බිසව සුජාතා නම් වූවා. රජතුමාට ප්‍රිය වඩන්නියක් වුණා. රජතුමා ආදරයෙන් සැනැසුවා. එතුමාය රජගෙයි කොයි කාගේත් හොඳ හිත දිනාගත්තා. ගරු බුහුමන් ලබාගත්තා. කාලයද යහපත්ව ගෙවී ගියා.
බඹදත් රජතුමා එක් දිනක් රන්තලියක මසන් ගෙඩිතබාගෙන කමින් උන්නා. එතැනට සුජාතා බිසව ආවා. රජතුමා ළඟින් ඉඳගත්තා.
රන්තලිය දෙස බැලුවා. ඔබවහන්සේ මොනවද ඔය අනුභව කරන ගෙඩි ජාතිය හරිම රතු පාටයි කිව්වා.
රජතුමා නිහඬව ඒ ගෙඩි කන්න වුණා.
දේවයන්වහන්ස ඇත්තටම මොනවද ඔය ගෙඩි වර්ගය. ඈ යළිත් ඇසුවා.
මේ ගෙඩි ඔබ හඳුනන්නෙම නැද්ද?
අනේ නෑ... දේවයන් වහන්ස...
රජතුමාට හොඳටම තරහ ගියා. තොපට මේ තරම් ඉක්මණට අතීතය අමතක වුණාද? මසන් ගෙඩි විකුණන කෙල්ල වී සිටි හැටි මතක නැද්ද? තොපේ පියාත් මුළු පරම්පරාවත් මසන් විකුණන්නෝ නොවෙත්ද? එකල කූඩය හිස දරා කිළිටි රෙදි ඇඳ සිටියා මතක නැද්ද? කෙක්කෙන් අතු නමා මසන්ගෙඩි කැඩූ හැටි අමතකද? දැන් තී මේ කන ගෙඩි නොදන්නේ මන්ද? කාලකන්නි ගැහැනිය, රජගෙදර සම්පත් ලබන විට ඒ අතීතය අමතක වුණාද? තී රජගෙදර සම්පත් ලබන විට ඒ අතීතය අමතක වුණාද? තී රජගෙදරින් එළවා දැමිය යුතුයි. බඹදත් රජතුමා කෝපයෙන් කීවා. රාජපුරුෂයන් කැඳෙව්වා. අගමෙහෙසිය තනතුරින් අයින් කළා. මේ ගෑනි එදා මසන් විකුණමින් යම් තැනක උන්නාද? ආන් එතැනට මැය ගිහින් දමනු යැයි රාජපුරුෂයන්ට අණකළා.
සුජාතා බිසව සහ බඹදත් රජතුමා අතර අරගලය නැණවත් ඇමැතිතුමා දැනගත්තා. රජතුමා හමුවට ආවා.
ඇමැතිතුමා දුටු විට බිසවගේ අතීතය අමතක වීම ගැන රජතුමා කිව්වා. ඇමැතිතුමා නිහඬව අසා සිටියා. රජතුමා සන්සුන් කිරීමට එතුමා උත්සාහ ගත්තා. එය සාර්ථක වුණා. යළි මෙසේ කිව්වා.
රජතුමනි! කොතෙක් උසස් අයගෙන් වුවද ප්‍රමාද දෝෂ සිදුවෙනවා. එබැවින් මේ සුජාතා බිසවගෙන්ද සිදුවී ඇත්තේ සුළු වැරුද්දක්. මම එය හරි කියන්නේ නෑ. වැරුද්ද වැරැද්දමයි. ඒ වුණත් එය ඔතරම් ලොකු දඬුවමක් දීමට තරම් දෙයක් නොවෙයි.
ඒ වනවිට බඹදත් රජතුමාගේ කෝපය තුනී වී තිබුණා. ඇමැතිතුමාගේ අනුශාසනා අසාගෙන උන්නා.
දේවයන් වහන්ස මේ සුජාතා බිසව ඔබවහන්සේට කොපමණ හිතවත්ව සිටියාද? අපි එය සිහිකළ යුතුයි. එබැවින් ඔබතුමා ගත් තීරණය වෙනස් කළොත් නේද හොඳ ඇමැතිතුමා ඇසුවා.
බඹදත් රජතුමා ඊට අවනත වුණා. ගත් තීරණය අයින් කළා.
සුජාතා බිසව යළිත් අගබිසව වුණා.
එදා ඒ රජතුමයි බිසවයි තමයි අද ඔය කොසොල් රජතුමයි මල්ලිකා බිසවයි. බුදුන් වහන්සේ වදළා.
සුජාතා ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක