සුබ නැකත් සෑදීමේදී අනුගමනය කරන සාධක කීපයක් ඇත. උපන් නැකතට සීහෙන නැකතක් සොයාගැනීම අවශ්‍ය වන අතර පඤාංග ශුද්ධිය සුබ හෝරාව පංචම කාලහෝරාව සුබ දිශාව තක්කාල ලග්න ග්‍රහචාරයට බලවත් වීම හා පක්ෂියා බලවත් වීම ආදී කරැණු ද සොයාගත යුතුය.
මෙයින් අතිප්රබලම සාධකය වන්නේ තත්කාල ලග්න ග්‍රහචාරයයි. අනෙකුත් සාධක සියල්ලම මීට දෙවෙනි වේ. නිදසුනක් වශයෙන් කිවහොත් තත්කාල ලග්නය අතිශයින් දුර්වල වී අනිකුත් සියලුම සාධක ගැලපුනත් වැඩක් නැත. සඳුදා බලවත් විය යුතුය. අනෙක් අතට සියලු සාධක දුබල වී තත්කාල ලග්නය ප්‍රබල වූ අවස්ථාව සියලු දෝෂභංග වී කාර්යය ඉෂ්ඨ වන බව මතක තබාගත යුතුය. තත්කාල ඇතුළු අනෙකුත් සාධක බොහෝමයක් ගැලපේනම් කාර්යය වඩාත් හොඳින් ඉෂ්ට වේ.
නමුත් ඉහත කී සාධක 90%ක් වත් සම්පූර්ණ කර සුබ මුහුර්තයක් සෑදීම සෑහෙන්න වෙහෙස වන්නට සිදුවන කාර්යයකි. සේවාදායකයාට කාලය පිළිබඳ ඉවසීමක් නැත්නම් බොහෝ විට එය නොකළ හැක. විශේෂයෙන් සුබ නැකත් සෑදීමට සිදුවන්නේ සේවාදායකයාගේ කොන්දේසීවලට යටත් වීමෙනි.
නිදසුනක් වශයෙන් මට අහවල් දිනයට පෙර නිවසක මුල් ගලක් තැබීමට හොඳ වේලාවක් සාදා දෙන්න යැයි කියයි. එසේත් නැත්නම් &මම එන සුමානේ විතර වෙළඳසැළ විවෘත කිරීමට ලෑස්ති වෙනවා. මට හොඳ නැකතක් හඳා දෙන්නකෝ. මෙය කළ හැකි කාර්යයක්ද? සමහර විට අහම්බෙන් සේවාදායකයාගේ වාසනා ගුණය අනුව ළඟ දිනයකදී සුබ නැකතක් තිබිය හැක. නමුත් ඇත්තවශයෙන්ම බොහෝවිට එවැනි අවස්ථා ඉතා දුර්ලභය. නමුත් ඔහුගේ අවශ්‍යතාවය අනුවත් ජ්‍යොතිෂවේදියාට අකමැත්තෙන් හෝ මෙය කරදීමට සිදුවේ.
මෙම පෙරුත්ත කිරීමට එක් හේතුවක් වී ඇත්තේ සුබ නැකත් කියන්නේ මොනවාදැයි යන්න ගැන ඔහුට වැටහීමක් නැති වීමයි. ඔවුන් හිතන්නේ දින ශුද්ධිය බලා ඡන්ම නැකතට ගැලපෙන නැකතක් ද සහිතව සුබ හෝරාවක් සහ පංචම හෝරාවක් ලබාදුන් පසු වැඩේ හරි තමයි කියාය. මෙම වැරදි වැටහීම ලබාදීමට අපේ සමහර ජ්‍යෝතිෂවේදීන් ද නියෑලි සිටීම කනගාටුදායකයි. සමහරවිට එය ලැබෙන අඩු මුදල නිසා හෝ පෙරුත්ත කිරීම නිසා හෝ වියහැක. නැත්නම් වෙනින් කෙනෙකු ළඟට ගොස් එය කරවා ගනීයයි සිතාවිය හැකිය.
ඉර හැරැණු පසු නැකත් හොඳ නැතැයි සමහරැ කියති. කුජ දිනය සහ ශනි දිනයට හොඳ නැතැයි ද සමහරු කියති. රාහු කාලය හැම කටයුත්තකදීම මඟහැරිය යුතුයයිද බොහෝ අය කියති. අවසන් ද හොඳ නැතැයි කියති. නමුත් අවසඳු දිනයන්හිද දින ශුද්ධිය ලිත්වල පෙන්නුම් කර ඇති බව ඔවුහු අමතක කරති. අවසඳු අවශ්‍ය වන අවස්ථා ද ඇත. මෙවර අවුරුදු නැකැත් ඇත්තාද අපර භාගයේය. එසේ සවසට වැටුණයැයි කියා නැකැත් නරක් වන්නේ නැත. ඉර හැරුණු පසුත් සමහර අය බොහෝ කාර්යයන් පටන්ගෙන එය ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගිය අපගේ අත්දැකීම්වලට පෙනීගොස් ඇත.
දවල් රෑ නොසලකා නිවෙස්වලට මුල් ගල් තබා ළිං කපා ව්‍යාපාර පටන්ගෙන මඟුල් තුලා පවත්වා. අකුරු කියවා ආදී මෙකී නොකී හැම දෙයක්ම පටන්ගෙන සාර්ථක කරගත් අය අනන්ත අප්‍රමාණව අද ජන සමාජයේ සිටිති. සමහර රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවේ පවා රාත්‍රී දිව්රැම් දී දීර්ඝ කාලයක් වැජඹී ඇත.
විශේෂයෙන් ව්‍යාපාරයක් පටන්ගැනීම වැනි කටයුත්තක් මහ රෑ 12.00 සිට 1.00 සිට වැනි කාලයක විවෘත කරන්නට යෑම ප්‍රායෝගික නොවේ. ප්‍රායෝගිකව නම් ඒවා කළයුත්තේ පෙ.ව. 9.00 – 12.00 අතර හෝ සවස 3.30 – 6.00 අතරය.
ඉහත සඳහන් වෙලාවලට ජනයා ගැවසෙන නිසාය. ගමනක් පිටත්වීම වැනි කාරණාවක් හැරුණු විට රාහු කාලයද ඔය කියන තරම්ම අවැඩ නොවේ. එම නිසා තත්කාල ලග්නය ප්රබලව යෙදෙන්නේ කොයි අවස්ථාවේ ද එම අවස්ථාව සුබ මුහුර්තයයි.
එසේම තත්කාල ලග්න සාධකයද ගැඹුරින් විශ්ලේෂනය කළ යුතුය. ගෙට ගෙවදීම්වලදී පවා 3, 6, 11, පාපීන් සිටීම හොඳ යයි සඳහන් කර ඇත. 6 සහ 11 කෙසේ වෙතත් 3 පාපීන් සිටීම දැඩි ලෙස විමසා බැලිය යුතු කරැණකි. තුනේ පාපියා ප්‍රබලත්වයෙන් ගුරුට හෝ එකොළොස්වැන්නට සම්බන්ධයක් නොමැති තැනේදී පදිංචි වී සුළු කාලයකින් ගෙවල් හැර දමා යාමද සිදුවේ. නැතහොත් අලාභ විඳ විකිණීමට සිදුවූ අවස්ථා ද ඇත. ඊට හේතුව වී ඇත්තේ 3 වන භාවය නිවාසය පෙන්වන 4ට 12 වැන්න වීමයි. එම නිසා 3, 6, 11 පාපී සාධකය හැම තැනටම වලංගු නොවේ. සමහර පංචාග ලිත්වල මෙම පාපී සාධකය ගෙවදීම්වලට ද හොඳයයි යොදා ඇත. එසේම නිලතල භාර ගැනීම්වලට දිව්රැම් දීම ආදියේදී 6 ග්‍රහයන් පිහිටුවීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. එය 11 වැන්නට ප්‍රබල සම්බන්ධයක් හෝ ගුරුගේ දෘෂ්ටියක් නොමැති තැනේදී තනතුරැ තාවකාලික හෝ කෙටිකාලීන වියහැක. මඟුල් නැකත් සෑදීමේදී බොහෝවිට තත්කාල ලග්න සාධකය ගැනීමට අපහසු හේතුව නම් පංචාංග ලිත්වල පෙන්වන ලද මඟුල් නැකත් දිනයක් යොදා ගන්නා නිසායි. මේ අනුව එම අදාළ දිනයන්හි තත්කාල ලග්න ග්‍රහචාරයක් දැඩි ලෙස පිළිපදින්නට ගියහොත් වේලාවන් සෑදීම තබා එම වකවානුව තුළ විවාහයක්වත් කර ගැනීමට පුළුවන් වේවීදැයි සැක සහිතය.
විවාහයකදී ඉතාමත් වැදගත් සාධකය වන්නේ රෙජිස්ටාර් ඉදිරියේ අත්සන් තැබීමයි. මන්දයත් විවාහයක් වූ බවට රජයේ නීතිය පිළිගන්නේ මෙම ක්‍රියාවෙන් පසුවය. (පළමුව සංසර්ගයේ යෙදෙන වෙලාවද නරක නැත.)
නමුත් සිංහල රජ කාලයේ නම් පෝරැවේ නැඟ අතපැන් වත්කර එවැනි චාරිත්‍ර ආදිය ඉටු කිරීමෙන් ඔවුන් විවාහ වූ යුවලක් බව පිළිගැනෙනු ලැබ ඇත. නමුත් අද දිනයේ මෙය ප්‍රබල ලෙස අප පැරණි චාරිත්‍ර සම්ප්‍රදායන් රැකීමක් වශයෙන් කළාට කමක් නැත. මේවා රුකීමෙන් පමණක් විවාහ වූ බවට නීතිය නොපිළිගනී.
මෙම ප්‍රබල වෙනස නිසා අද දිනයේ නියමාකාර මඟුල් නැකත වන්නේ අත්සන් තබා විවාහය වලංගු කර ගන්නා මොහොතයි. අත්‍යවශ්‍යම සාධකය වන මෙය හරි වේලාවට කරගැනීමට අපහසු වන බව අපට පෙනී යයි. එම නිසා මෙයට හොඳම ක්‍රමය නම් විවාහ උත්සව දිනයෙන් බැහැර වෙන දිනයක අත්සන් තැබීම කරවා ගැනීමයි. බොහෝ ඥානවන්ත අය මෙය කරති.
විශේෂයෙන් නිවාස නැකැත් සෑදීමේදී තිර ලග්නයක් ගත්කළ නිවාසය පෙන්වන 4 වන භාවයට වැටෙන්නේද තිර රාශියකි. සුළු සුළු හදිසි කටයුතුවලදී මුල නැකැත් ජ්‍යොතිෂ්‍ය පිහිට සොයයි.
ගමනක් බිමනක් පිටත් වීමේදී තිර රාශිය සඳු ගමන් කරන අවස්ථාවක ගමනේ ප්‍රගතිය හෙමින් විය හැක. අප අත්දැක ඇති පරිදි සිංහයේ මා නැකතේ සඳු ගමන් කිරීමෙන් පටන් ගන්නා සංචාරයක් වෙතොත් එය ඉතා ප්‍රමාද වන සුළුය. සිංහය තිර රාශියක් මෙන්ම මා නැකතේ අධිපති කේතු ද ප්‍රමාද ග්‍රහයෙකි.
ජ්‍යොතිර්වේදි
පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, සිතුමිණ