2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මලයාලම් සිනමාවේ ත්‍රිලර් සලකුණ - ජෝශප්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

ජෝශප් පසුගිය වර්ෂයේ තිරගත වුණු මලයාලම් චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂකවරයා එම්. පද්මකුමාර් වන අතර තිර රචනය ෂහී කබීර්ගෙනි. මලයාලම් සිනමාව උසස් තාක්ෂණයෙන් යුත් වාණිජ චිත්‍රපටකරණයට එළඹී ඇති බවට තවත් උදාහරණයක් මේ සිනමාපටය සපයයි. ඩීවීඩී නරඹන ලාංකීය ප්‍රේක්ෂකයන් රැසක් මේ වනවිටත් ජෝශප් නරඹා ඇතිවාට නිසැකය.

ජෝශප් විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙකි. විශ්‍රාම ගිය පොලිස්කාරයන් කිසිවකු ගණන් නොගන්නා බව අපේ රටේ මතයකි. නමුත් මේ විශ්‍රාමික පොලිස් නිලධාරියා කෙතරම් වැදගත් චරිතයක් බවට මෙහි තිර රචනය විසින් පත්කර ඇද්දැයි සිනමා පටය නරඹන විට පැහැදිලි වේ.

මෙහි තවත් වැදගත් කාරණාවක් වන්නේ ජෝශප්හි තිර රචකයා ද පොලිස් නිලධාරියෙක් වීමයි. රහස් පරීක්ෂක ත්‍රිලර් දාමයේ චිත්‍රපටයක් වන මෙම කතාව ලිවීමේදී සැබෑ සිද්ධි ආශ්‍රය කර ගැනීමට තිර රචකයා උනන්දු වී තිබේ.

කතාව ඇදී යන්නේ අතීතාවලෝකනයක් ලෙසිනි. පීටර් නම් පුද්ගලයාට පොලීසිය පවත්වන උත්සවයකදී ඇගයීමේ පදක්කමක් ලැබේ. එම පදක්කම ලැබෙන්නේ ජෝශප් (ජෝගු ජෝර්ජ්) නම් විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ වීරත්වය වෙනුවෙනි ඒ වනවිට ජෝශප් මියගොසිණි. ඊට පසු කතාව ජෝශප්ගේ දෘෂ්ටි කෝණයෙන් ගලා යයි.

දෙමළ චිත්‍රපටවල පොලීසිය විවේචනය කරන කතා තොග ගණනින් දැකගත හැකි වුවද මෙම මලයාලම් චිත්‍රපටය පොලීසියේ යහගුණ පවසන්නකි. ඉන්දියාවේ රෝහල් ද වෛද්‍යවරු ද එකතු වී මිනිසුන් අනතුරැවලට ලක්කර ඝාතනය කර ඔවුන්ගේ ඉන්ද්‍රියන් හොර රහසේ අලෙවි කිරීම පිළිබඳ කතාවක් මෙහි දිග හැරේ. රෝහල්වල මහා පරිමාණයෙන් සිදු කෙරෙන මෙම ජාවාරම හෙළිදරව් කිරීමට ඉදිරිපත් වන්නේ ජෝශප්ය. ඒ වනවිට ජෝශප්ගේ දියණිය ද බිරිය ද හදිසි රිය අනතුරුවලින් මියගොසිණි. ඔවුන් දෙදෙනාම මියයන්නේ හදිසි රිය අනතුරැවලින් නොවන බවත් සංවිධානාත්මක කල්ලියක් විසින් මෙහෙයවන මිනිස් අවයව ලබා ගැනීමේ ජාවාරමකට බවත් ජෝශප් සොයාගනී. ඊට පසු ජෝශප්ට අවශ්‍ය වන්නේ ජාවාරමේ සුලමුල අනාවරණය කර ගැනීමය. ඒ සඳහා ඔහු යොදාගන්නේ අපූරු උපක්‍රමයකි. ඒ තමන් විසින්ම අනතුරකට ලක්වී මියගොස් පොලීසියට සහ උසාවියට තම සිරුරම සාක්ෂියක් ලෙස ලබා දීමයි.

ජෝශප් මෝටර් බයිසිකලයෙන් බිරියට අනතුර සිදුවූ පාළු මාර්ගයේ ගමන් කරයි. සුපුරැදු ජීප් රථය පැමිණ ඔහුව හප්පා අනතුර සිදු කරයි. ඊට පසුපසින් පැමිණෙන මෝටර් රථයේ (ජාවාරම්කරුවන්ට අයත්) සිටින යුවල තුවාලකරු තම මෝටර් රථයට දමාගෙන රෝහල්ගත කිරීමට යයි. ඒ අතරතුර සිහි නැතිව සිටින ජෝශප්ගේ හිසට ගල් කැබැල්ලක් සවි කළ මිටියකින් ගසා මරණයට ලක් කරන්නේ මෝටර් රථයේ සිටින කාන්තාවය. මේ සියල්ල ජෝශප් විසින් රහසිගතව මෝටර් රථයට සවිකළ කැමරාවලින් පටිගත වේ.

ත්‍රිලර් කතාවක් ලෙස ඇදී ගියද එයට යටින් මානුෂිකත්වයෙන් පිරි ජීවන කතාවක් ද ජෝශප්ගේ චරිතය ඔස්සේ පැවසීමට අධ්‍යක්ෂවරයා උත්සාහ කර ඇත. මෙහි ජෝශප් ලෙස රංගනය ඉදිරිපත් කරන ජෝගු ජෝර්ජ් දකුණු ඉන්දීය ප්‍රබල චරිතාංග නළුවන්ට අභියෝගයක් වන ලෙස තම චරිතයට හසුරුවයි.

පොලීසියේදී අපරාධවල සලකුණු සොයා යාමේ සියුම් ඉවකින් යුත් චරිතයක් ලෙසත් ගේහසිත ජීවිතයේදී සිය බිරිය දික්කසාදයෙන් අහිමි වීම නිසා හුදෙකලාව තැවෙන චරිතයක් ලෙසත් ඔහු රංගනය ඉදිරිපත් කරන්නේ අපූරැ ප්‍රතිභාවක් මතු කරමිනි.

- ප්‍රේක්ෂක

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00