2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

අවුරුදු දවසෙත් හිඟා කෑවා...

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය තවමත් මේ පරිසරය වෙලාගෙනය. නගරයෙන් ගම්බිම් බලා ගිය ජනතාව තවමත් ගම අතහැර සුපුරුදු රාජකාරි සඳහා කොළඹට පැමිණෙමින් සිටිති. අලුත් අවුරුදු අසිරිය නගරයටත් වඩා ගම්මානයේ දක්නට ලැබුණි. අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් පසුගිය අලුත් අවුරුදු දිනවල මුළු කොළොන්තොටම පාළුවට ගියේය.

වෙනදාට උදේ පාන්දර හිරු එළිය කොළඹ නගරයට එබිකම් කරන්නටත් පළමුව බොහෝ අය කොළඹට විවිධ රාජකාරි කටයුතු සඳහා සේන්දු වූහ. ඇතැමුන් ඈත ගම්බිම්වල සිට නිතිපතා රාජකාරි සඳහා කොළඹට පැමිණියහ. ඇතැමුන් වෙළඳාම් කටයුතු සඳහාත්, තව අවශ්‍යතා සඳහා බඩු භාණ්ඩ මිලදී ගැනීමටත් කොළඹට පැමිණියහ.

කොළඹ නගරයේ එහා මෙහා වේගයෙන් කරත්ත තල්ලු කරගෙන යන නාට්ටාමිවරුන්ට වැඩ රාජකාරි බොහෝය. ඇතැමුන් පළතුරු ගෝනි තල්ලු කළහ. ඇතැම්හු එළවළු තල්ලු කළහ. විශාල පෙට්ටි රැගත් කරත්ත තල්ලු කරගෙන යන ඇතැම් නාට්ටාමිවරුන්ගේ මුවෙන් එක දිගට ඇසෙන්නේ කුණුහරුප වරුසාවකි. එය ඔවුන්ට ගාණක් නැත. නාට්ටාමිවරුන් කුණුහරුප නොකියන දවසක් නැති තරම්ය.

මේ අතරේ කොළඹ නගරයේ වීදි ගණිකාවන්ගෙන්ද අඩුවක් නැත. ගිනි ගහන මද්දහනේ තොල් රත් පැහැ ගන්වා එක් අතකට කුඩයක් ද ගෙන එහා මෙහා යමින් තම උකුසු ඇසට ගනුදෙනුකරුවන් හසු කරගන්නට මාන බලන වීදි ගණිකාවන් ඉඟිබිඟි පළකරමින් කොළඹ නගරයේ යන ඇතැම් පිරිමින් පැය ගණනකට අසල ඇති කාමරවලට ගෙන යන්නේ දන්නා කියන කෙනකු පරිද්දෙනි. කොළඹ නගරයේ ‘Rooms’ නමින් එල්ලුණු බෝඩ් කෑලි ඕන තරම්ය. ඉතා කුඩා කාමරයක හෙළවුණ ඇඳක තම පහස සංසිඳවා ගන්නා වීදි ගණිකාවෝ අවසානයේදී තම අත මිටි මොළවන රුපියල් කාසිවලට තම ශරීරය විකුණති.

කොළඹ නගරය පුරා නෙත් යොමු කරද්දී අත පා හිඟමන් යදින යාචකයන්ගේ ද අඩුවක් නැත. සමහරු දරුවකු කරපින්නා බස් රථවලට ගොඩවෙති. තවත් අය අන්ධයෝ සේ රඟපාති. කකුල පුරා උඩු දිවූ වණය විකුණා කන යාචකයන්, පිලිකා රෝගියකු ලෙසින් හිඟමන් යදින යාචකයන් ඔය අතරේ ඕනෑතරම්ය. අහිංසක අසරණ සේ රඟපාන මොවුහු ඉතා ඉක්මනින් යක්ෂ වේසය ද ගනිති. ඉතා ඉක්මනින් කිපෙති. කුණුහරප කතා ඕනෑතරම් මොවුන්ගෙන් අසාගන්නට හැක.

සිංහල අලුත් අවුරුදු දා මුළු නගරයම පාළුවට ගොස් තිබුණි. ඉඳහිට බස් රථයක් ගිය ද එහි යන්නට එතරම් මගීන් සිටියේ නැත. මේ නිසාම බස් රථ බොහොමයක් ධාවනය වූයේ නැත. වෙනදාට කොළඹ දකින්නට සිටි වීදි ගණිකාවෝ ද අවුරුදු සමරන්නට ගෙදර නැවතුණහ. මේ අතර ඉතා සුළු වශයෙන් කොළඹ නගරයේ සිඟමන් යැදූ යාචකයන් කිහිපදෙනෙක් පමණක් කොළඹ නගරයේ තනි වූහ. සැබැවින්ම යාචක වෙසින් හිඟමන් යදින බොහෝ දෙනා දිනපතා හොඳ මුදලක් සොයා ගනිති. ඇතැමුන් එකතු කරගත් මුදල් බැංකුවේ තැම්පත් කළහ. සමහරු රිසි ලෙස විනෝද වූහ. මේ අතර තවත් සමහරැ ඒ මුදල්වලින් ගේ දොර ඉඩකඩම් මිලදී ගත්හ. සැබැවින්ම කොන්ත්‍රාත් ක්‍රමයට හිඟමන් යදින යාචකයෝ ද මේ අතරේ සිටිති. ඔවුහු පැකේජ් ක්‍රමයට හිඟමන් යදිති. ලැබෙන මුදලින් හරි අඩක් තමන්ටත්, ඉතිරි කොටස යාචක වෙළඳාමේ යොදවන ව්‍යාපාරිකයාටත් හිමිවිය. මෙවැනි යාචකයන් සියල්ලන්ටම ජීවත් වෙන්නට, රාත්‍රිය ගතකරන්නට නිවහනක් තිබුණි. මේ නිසාම මේ අලුත් අවුරුදු කාලයේ කොළඹ පාළුවට යාම ඔවුන්ට ගැටලුවක් වූයේ නැත. ඒ වෙනුවෙන් ඔවුහු හොඳ හැටි අලුත් අවුරුද්ද සැමරූහ. හොඳ හැටි කා බී විනෝද වූහ.

නමුත් ඉන්න හිටින්නට ගෙයක් දොරක් නැති සැබෑම වූ යාචක පිරිසක් ද කොළඹ නගරයේ හිඟමන් යැද්දාහ. මේ අලුත් අවුරුද්ද ඔවුන්ගේ බඩට වැදුණු තද පහරකි. කොළඹ නගරයම අවුරැදු දා පාළුවට ගියේය. ඔවුන්ගේ කුසට ද බඩගිනි අධිකව දැනුණි.

“අනේ පුතේ මට ඉන්න හිටින්න තැනක් නැහැ. මම නිදාගන්නේ ඔය පොලීසිය ඉස්සරහා තියෙන කෑල්ලේ. එහෙම නැත්නම් වහල තියෙන කඩයක් ඉස්සරහයි. මොන කරුමයක්ද මේ ගෙවන්නේ? මම හිටියේ වෙන්නප්පුවේ. මට දූවරු දෙන්නෙක් ඉන්නවා. උන්ට මම හොඳට ඉගැන්නුවා. ඉස්සර අපිට කඩවල් තුනක් තිබුණා. ඒ කඩවල්වලින් හොඳ ආදායමක් ලැබුවා. හොඳට විනෝද වුණා. අද තාම දවල්ට කෑවේ නෑ. මේක දුකක් පුතේ”

ඇය හඬන්නීය. ඇස් දෙකෙන් බේරෙන කඳුළු ඇය අතකින් පිහිද්දී අනෙක් අතේ ඇති බටර් කේක් කෑල්ල අපේ ඇස ගැටුණි. දූවරු දෙදෙනකුගේ මවක් වූ ස්වර්ණා අද පිටකොටුවේ සිඟමන් යදින්නියකි. ඉඳහිට ඇගේ ප්ලාස්ටික් කෝප්පයට කෙනකු මුදලක් දුන්නද ඇය මුදල් ඉල්ලන්නේ නැත. සෙවනැති ගසක් යට ඇය වාඩි වී සිඟමන් යදින්නීය. ඇය අසල විශාල ගමන් මළු කිහිපයකි.

“ඔය බෑග්වල මොනවද තියෙන්නේ?” මම ඇගෙන් ඇසුවෙමි.

“මගේ ඇඳුම්. මම ඇඳුම්වලට හරි ආසයි. ඉස්සර මම හරි ලස්සනට ඇඳුම් ඇන්දා. අපිට එක රෙදි කඩයකුත් තිබුණා. ඒකේ ඇඳුම් පිරිලා. ඒ කාලේ මම හරි ලස්සනයි. අදටත් මම අඳුම්වලට හරි ආසයි. මේ.. මේ.. බලන්න.. ලස්සනයි නේද?”

ඇය ලහිලහියේ ඇඳුම් මලු ඇද්දාය. නමුත් ඒවා එතරම් පිරිසිදු වූ ඇඳුම් පැළඳුම් නොවීය. ඇතැම් ඇඳුම් කඩමළුය. ඇතැම් ඒවා පරණ වුණු රෙදි කැබලිය. නමුත් ස්වර්ණාට ඒවා හොඳය. ගමන් මළු තුන හතරක් වට කරගෙන ඇය සෙල්ලම් බඩු පෙන්වන කුඩා දරුවකු සේ ඇඳුම් කඩමළු අපට පෙන්වූවාය.

“වෙන්නප්පුවේ තිබුණු කඩවලට මොකද වුණේ?”

“හොරු ගත්තා. වෙන මොනවා වෙන්නද? හොරු ගත්තා. මගේ අක්කලා අයියලා මාව ගෙදරින් පැන්නුවා. මම හොඳ බෞද්ධයෙක්. ඔය පිටකොටුවේ බෝ ගහ ළඟ තියෙන පිං කැටේට මම හම්බෙන සල්ලිවලින් ටිකක් ගෙනිහින් දාන්න හැදුවත් ඔය බෝගහ ඉස්සරහා ඉන්න හිඟන්නෝ ටික ඒකටවත් මට ඉඩ දෙන්නෙ නෑ. ඒක නිකං උන්ගේ බූදලේ වගේ. ඔය හිඟන්නෝ ............ (පරුෂ වචනයක් පවසයි) ඉන්නකන් අපිට පිනක් කරගන්න බැහැ.”
ඇය කෑගසන්නීය.

“අවුරුද්දට මොකද කළේ?” මම තවත් ප්‍රශ්නයක් ඇසුවෙමි.

“මොනවා කරන්නද? මෙහෙටම වෙලා හිටියා. හොර හිඟන්නෝ ටික ගිහින් ජයට අවුරුදු සැමරුවා. මම ඉතින් කොහේ කියලා යන්නද. මේ ගහ යටට වෙලා හිටියා. අනේ එදා මේ කොළඹම පාළුයි. මහත්තයෙක් ඇවිත් කෑම එකක් දුන්නා. ඒකෙන් උදේටයි, දවල්ටයි, රෑටයි බඩගින්න නිවාගත්තා. ඒ කාලේ මම දරුවෝ එක්ක අවුරුදු සමරපු හැටි මට මතක් වෙනවා. කෑම හදලා, ඇඳුම් අරගෙන, නැකැත් වෙලාවට ඒ දේවල් කළාට මේ පාර මේ පාළු පාරේ අවුරුද්දට හිටියේ මායි තව කිහිපදෙනෙක් විතරයි. තාමත් මිනිස්සු කොළඹට එනවා අඩුයි. අද මම දවල්ට කන්නේ නෝනා කෙනෙක් දීලා ගියපු මේ කේක් කෑල්ල.”

ඇය අතේ ඇති කේක් කැබැල්ල මට පෙන්වූවාය.

“දරුවෝ මෙහෙම හිඟමන් යදිනවා කියලා දන්නවද?”

“මොනවා දැනගන්නද? උන් මම ගැන මොනවා බලන්නද? මාව ගෙදරින් කට්ටිය පැන්නුවා. මම උන් ළඟට ආයෙ යන්නෙ නෑ. අනේ මාව කවුරුහරි වැඩිහිටි නිවාසයකට බාර දෙනවනම්.”

ඇය හඬන්නීය. මහ ගිනිගහන අව්ව දැන් ඇයට හොඳට හුරුය. දෑතින් ඇය බෙල්ල පුරා බේරෙන දහඩිය පිහිදායි. ඇය අසලින් යන බල්ලෙකුට ඇය අතේ ඇති කේක් කෑල්ලෙන් කැබැල්ලක් විසි කළාය. ඇය මෙන්ම බල්ලා ද සිටින්නට ඇත්තේ බඩගින්නේය. එක හුස්මට ඌ එය ගිල දැම්මේය. ඒ දසුනින් ඇයගේ මුහුණේ ඇඳුණේ අපූරු හිනාවකි. අවුරුද්දට කිරි උතුරවන්නට ඇයට නිවසක් තිබුණේ නැත. අඳින්නට අලුත් ඇඳුමක් තිබුණේ නැත. අවුරුදු දා නෑගම් යන්නට ඇයට නෑදෑයන් සිටියේ ද නැත. ඇය අවුරුදු දා සිඟමන් යැද ලැබුණු බත් පත බෙදා හදා ගත්තාය. ඒ ඇය වන් කාත් කවුරුත් නැති, ඉන්න හිටින්නට තැනක් නැති තිරිසන් සතුන් සමගිනි.

►දිශානි ජයමාලි කරුණාරත්න
සේයා රූ - සුමුදු හේවාපතිරණ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00