සමහර වාණිජ බැංකු අප්‍රේල් මස 01දා සිට ක්‍රෙඩිට් කාඩ් (ණය පත්) සඳහා අය කරන පොලිය 4%කින් පමණ ඉහළ දමා ඇති බව දැනගන්නට තිබේ. එසේම නියමිත දිනට බිල්පත් ගෙවීමට අපොහොසත් වන පාරිභෝගිකයන් සඳහා වන දඩ පොලිය ද ඉහළ නංවා ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග දෙකකට බෙදා අඩු ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්වලින් 31.8%ක පොලියක් ද වැඩි ණය සීමාවක් ඇති ක්‍රෙඩිට් කාඩ්වලින් 30%ක පොලියක් ද අය කිරීමට පියවර ගෙන ඇත. මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්වලින් අයකළ පොලිය 28%කි.
ක්‍රෙඩිට් කාඩ් බිල්පත් නියමිත දිනයට පෙර ගෙවීමට නොහැකි වන අය සඳහා පසුගිය 01දා දක්වා අයකළ රුපියල් 990ක් වූ ප්‍රමාද ගාස්තුව එදිනෙන් පසු රුපියල් 1200 දක්වා ඉහළ නංවා තිබේ. ක්‍රෙඩිට් කාඩ් සාමාන්‍යයෙන් වැඩිපුර පාවිච්චි වන්නේ උත්සව සමයේදීය. මෙවර සිංහල අවුරුදු උත්සවයට පෙර අප්‍රේල් 01දා සිට මෙලෙස පොලිය වැඩි කිරීම පාරිභෝගිකයා සූරාගැනීමට අදාළ ආයතන ගත් උපක්‍රමයක් බව පෙනෙන්නට තිබේ.
මේ වනවිට අපේ රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්නය. මේ අය අතරින් අඩක් පමණ ප්‍රමාණයක් කාඩ් එකකට වඩා පාවිච්චි කරන නිසා පරිහරණය වන මුළු කාඩ් සංඛ්‍යාව මෙයට වඩා බොහෝ ඉහළ අගයක් ගනී. ඇතැමුන් ක්‍රෙඩිට් කාඩ් හතර පහකට වඩා පාවිච්චි කිරීමට යොමුව තිබේ. සමාගම් එකිනෙකා පරයා තරගකාරී ලෙස වෙළෙඳපොළට අවතීර්ණ වීමේ සටනක නිරත වී සිටින නිසා එකකට වඩා ලබාගැනීමට කිසිදු සීමාවක් ඇති නොකරයි. කාඩ්පතකට ඉල්ලුම් කරන විට පාරිභෝගිකයා වෙනත් කාඩ්පත් පාවිච්චි කරන්නේ ද යන්න පිළිබඳ විමසීමක් සිදු නොවේ. විවිධ සමාගම් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් අලෙවි කිරීමට යොදාගෙන ඇති අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්ට මාසිකව තමා සැපිරිය යුතු ඉලක්කයක් නියම කර ඇති අතර ඔවුන් උපරිම උත්සාහ ගන්නේ එම ඉලක්කය කරා එළැඹීමටය. එම ඉලක්කය ඉක්මවා ගිය විට ඔවුන්ට ලැබෙන පාරිතෝෂික හා දිරි දීමනාව ද ඉහළ යයි. ඒ නිසා මෙම නිලධාරීන් බලන්නේ කෙසේ හෝ පාරිභෝගිකයකු අල්ලා ගැනීමට පමණි. ඔවුන් තවත් ආයතනයක සාමාජිකයකු වීම පිළිබඳ බලපෑමක් ඇති නොවේ.
සමහර පාරිභෝගිකයන් එක් ආයතනයකින් ක්‍රෙඩිට් කාඩ්පතක් රැගෙන එයින් හැකි පමණ ගනුදෙනු කර උපරිමයට පැමිණි පසු බිල නොගෙවා වෙනත් ආයතනයකින් කාඩ්පතක් මිලදී ගැනීමට යොමුවන බවක් පෙනෙන්නට තිබේ. පාරිභෝගිකයාගේ ආදායම අනුව ණය උපරිමය නියම කරන අතර ගෙවීමට ඇති ණය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත. මේ නිසා ආයතන කිහිපයකට පාරිභෝගිකයා ණයකරුවකු වන අතර එම මුදල් අයකර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනවලට සිදුවේ. අද වනවිට මේ තත්ත්වය විශාල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත.
ආරම්භයේ දී ක්‍රෙඩිට් කාඩ්වලට අය කරන පොලිය 40%ක් පමණ ඉහළ මට්ටමේ තිබුණි. අනතුරුව 2000 වසර පමණ වනවිට පොලිය 24% දක්වා පහළ දැමූ පසු මෙම කාඩ්පත් විශාල ලෙස ව්‍යාප්ත විය. එහෙත් අනතුරුව 2012 මැයි මාසයේ සිට පොලිය 4%කින් ඉහළ ගියේය. අප්‍රේල් මුල පැවති 28% පොලිය 2012 සිට පැමිණි පොලී අනුපාතය වේ. යළි 4%කින් වැඩි වූයේ එසේ පැවැති පොලියයි.
2000 වසර පමණ වනවිට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3ක් තරමේ අඩු මට්ටමක පැවතිණ. මෙයට හේතුව වූයේ එකල ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කළේ සමාජයේ වරප්‍රසාද ලත් අතළොස්සක් පමණක් වීමය. විශාල ව්‍යාපාරිකයන් සහ උසස් තනතුරු දරන්නන් මෙන්ම රටේ ධනපතියන් පමණක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීමට යොමුව සිටි බවක් දක්නට ලැබිණ. එයට ප්‍රධානම හේතුව වූයේ මේවායින් භාණ්ඩ මිලදී ගත හැකි වූයේ සුපිරි වෙළෙඳසල්වලින් පමණක් වීමය. ඒ කාලයේ රටේ සුපිරි වෙළෙඳසල් ජාලය පුළුල් වී නොතිබුණු අතර සාමාන්‍ය ජනතාව සුපිරි වෙළෙඳසල් සමඟ සම්බන්ධයක් නොතිබුණි. එහෙත් ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් විය. සුපිරි වෙළෙඳසල් ආයතන කිහිපයක් ඇතිවූ අතර අද වනවිට සාමාන්‍ය පාරිභෝගිකයා පවා සුපිරි වෙළෙඳසල් කරා යන තත්ත්වයක් ඇතිව තිබේ. ඒවායේ භාණ්ඩ මිල රටේ මිල මට්ටම හා සැසඳීමේදී පහළ අගයක පවතින අතර අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවීම නිසා මේවාට ඈදෙන පාරිභෝගික සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
එසේම සුපිරි වෙළෙඳසල් හැරුණුවිට නගරයේ බොහෝ කඩ සාප්පුවලින් ක්‍රෙඩිට් කාඩ් මගින් භාණ්ඩ මිලට ගැනීමට මේ වනවිට හැකිව ඇත. හද්දා පිටිසර පවා ක්‍රෙඩිට් කාඩ් භාරගන්නා වෙළෙඳසල් තිබේ. එසේම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීමේදී අසීමිත ලෙස වට්ටම් ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඒවා පාවිච්චි කිරීමට යොමුව සිටිති. ඇතැම් නිෂ්පාදකයන් හා ක්‍රෙඩිට් කාඩ් සමාගම් අතර සම්බන්ධතා ගොඩනැගී ඇති අතර ඇතැම් නිෂ්පාදන නම් කළ ක්‍රෙඩිට් කාඩ් මගින් මිලදී ගත් විට සුවිශේෂ මිල අඩුකිරීම් සහ ත්‍යාග දීම් ආදී විවිධ වරප්‍රසාද ලැබේ. මේ නිසා එම වෙළෙඳ භාණ්ඩය මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පතේ ද පාරිභෝජනය වර්ධනය වේ. මේ ආදී කරුණු නිසා අද වනවිට ක්‍රෙඩිට් කාඩ්වලින් ගනුදෙනු කිරීම සාමාන්‍ය ජනතාවගේ ගනුදෙනු මාධ්‍යයක් වී ඇත.
එසේම ක්‍රෙඩිට් කාඩ්වලින් මුදල් ලබා ගැනීමට හැකිව ඇති නිසා හදිසියකදී අතමාරුවක් ගැනීමට ද පහසු වී තිබේ. ඇතැම් සමාගම්වල නියෝජිතයන් කාර්යාලවලට සහ වැඩපොළවලට ගොස් ඒවායේ සේවකයන් ග්‍රහණය කර ගැනීමට කටයුතු කරන බව දක්නට ඇත. අදාළ ආකෘතිය පුරවා දුන් විට කිසිම ප්‍රමාදයකින් තොරව ක්ෂණිකවම කාඩ්පත ලබාගැනීමට හැකිවීම විශාල සහනයක් ලෙස සලකයි. ඒ නිසා බොහෝ දෙනා මෙහි ඵල විපාක පිළිබඳ නොදැනම මේවා වැළඳ ගැනීමට උනන්දු වෙති.
එසේම වාර්ෂිකව මෙම කාඩ්පත් මිලට ගන්නන්ගේ සංඛ්‍යාව 50,000-10,000 අතර ප්‍රමාණයකින් ඉහළ නගින බව සොයාගෙන ඇත. අද මෙය සමාජ රැල්ලක් බවට පත්ව ඇත. පාසල් සිසුන් මෙන්ම ස්ථිර ආදායමක් නැති අය මේවා මිලට ගැනීමේදී විශාල උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත.
අනෙක් අතට මේවා භාවිතය ඉහළ යාම රටේ මෙන්ම පුද්ගලයාගේ ද ආර්ථිකයට අහිතකර ලෙස බලපායි. ක්‍රෙඩිට් කාඩ්වලින් මිලට ගන්නා අය බොහොමයක්ම භාණ්ඩවල මිල ගැන නොසලකා ඒවා මිලට ගන්නා බව පෙනෙන්නට තිබේ. අතේ සල්ලි දී ගැනීමේදී එම මුදලට සරිලන සේ භාණ්ඩයේ මිල හා ගන්නා ප්‍රමාණය ගැන සැලකිල්ලක් දැක්වුවද ක්‍රෙඩිට් කාඩ් මගින් මිලට ගැනීමේදී අතට අසුවන තරමට මිලට ගන්නට පෙළඹේ. අවශ්‍ය භාණ්ඩ මෙන්ම අනවශ්‍ය භාණ්ඩවලටද යොමුවීම වැඩිය. භාණ්ඩවල මෝස්තරයට, ප්‍රචාරණයට, ලේබලයට, පාටට රැවටී අනවශ්‍ය දේවල් ද මිලට ගැනීමට පෙළඹේ. මේ නිසා සීමිත ආදායමක් ලබන පාරිභෝගිකයා අසීමිතව භාණ්ඩ ගැනීමට උනන්දු වීම නිසා කබලෙන් ළිපට වැටෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. විශේෂයෙන් උත්සව සමවලදී මිලට ගැනීම් ඉහළ යයි.
අනෙක් පැත්ත වන්නේ ක්‍රෙඩිට් කාඩ් සමාගම් ප්‍රමුඛතාව දක්වන්නේ ණය අයකර ගැනීමට නොව පොලිය අයකර ගැනීමටය. ණය මුදල දිගටම ගිණුම් තබන විට ව්‍යාපාරිකයාට වාසි සහගත වේ. එයට හේතුව දඩ පොලියක් ද අයකර ගැනීමට හැකි වීමය. එසේම පාරිභෝගිකයා දැනුවත් කිරීමකින් තොරව පොලිය හා දඩ පොලිය ගිණුමට එකතු කිරීම නිසා ඔහුට විශාල අසාධාරණයක් සිදුවන්නේ තමන්ගේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති නිසාය. සමහර සමාගම් ව්‍යාජ ලෙස මෙලෙස එකතු කරන බවට චෝදනා තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සාකච්ඡා කරමින් සිටින්නේ ණය පොලිය අඩු කිරීම පිළිබඳවය. මේ සමඟ ණය පොලිය අඩු කිරීමට සුදුසුම කාලය බව මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගියදා පවසා තිබුණි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් උනන්දු කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට අඩු පොලියට ණය දීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කරයි. මහ බැංකුව එවැනි ප්‍රතිපත්තියක සිටියදී ක්‍රෙඩිට් කාඩ්වල පමණක් පොලිය ඉහළ නැංවීමට අවසර දෙන්නේ ඇයිද යන්න ගැටලුකාරී තත්ත්වයකි. පොලිය අඩු කිරීම ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන වාණිජ බැංකු සහ මුල්‍ය සමාගම්වලටද අදාළ විය යුතුය. එහෙත් මෙහිදී දෙආකාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි ද යන්න පිළිබඳ විමසීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය.
“ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ පොලිය තීරණය කරන්නේ ඒ ඒ බැංකු හා සමාගම්වල පරිපාලනය හා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මගින්. පොලිය ඒ ඒ බැංකුවලට සුවිශේෂී වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍යයෙන් කරන්නේ උපරිම පොලිය තීරණය කිරීමයි. එම උපරිම පොලී සීමාව තුළ පොලිය ඒ මේ අතට වෙනස් කිරීම එම ආයතනවලට අදාළ කාර්යයක්. එහෙත් අද බොහෝ වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දී ඇති නිසා ඒවා අතර දැඩි තරගකාරී බවක් තියෙනවා. පොලිය වැඩි කළොත් පාරිභෝගිකයා වෙනත් ආයතනවලට යන්න පුළුවන්. එබැවින් ඒ ආයතන අසීමාන්තිකව පොලිය වැඩි කරන්නේ නැහැ. ස්වයං පාලනයක් ඇතිකර ගන්නවා. මෙවර අප උපරිම පොලී සීමාව 4%කින් වැඩි කිරීමට අවසර දුන්නා. එහෙම දුන්නාට බැංකු හා මුල්‍ය ආයතන ඒ ගණනටම වැඩි කරන්නෙ නැහැ. එයට අඩු වෙනවා. කෙසේ වුවද මෙතෙක් කිසිදු ආයතනයක් අපේ උපරිම සීමාව ඉක්මවා පොලිය අය කරන බවක් වාර්තා වී නැහැ.”
මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාරිනී ප්‍රේමා පොඩිමැණිකේ
“ක්‍රෙඩිට් කාඩ් හෝ වේවා වෙනත් කුමන මාර්ගයකින් හෝ වේවා රටේ පුද්ගල ණය බර ඉහළ යනවාය කියන්නේ පුද්ගලයාගේ පමණක් නොව මුළු රටේම ආර්ථිකය අයහපත් බවයි. රටේ ආණ්ඩුවත් අසීමිත ලෙස ණය ගන්නවා. ජනතාව ද ඉවක් බවක් නැතිව ණය ගන්නවා. මේ දෙපාර්ශ්වයම ණය ගෙවාගන්න බැරිව අමාරුවේ වැටිලා. නිසි ආර්ථික කළමනාකරණයක් නැහැ. මේ තත්ත්වය වහා නිවැරදි කළ යුතුයි.
අනික් අතට ජනතාව ආදායමට වඩා වියදමට පෙළඹෙනවායි කියන්නේ ඔවුන්ගේ ජීවන ගැටලු වැඩි වීමයි. ජීවන බර ඉහළ යාමයි. මේ තත්ත්වය නැති කිරීමට ටික කාලයකට හෝ පිරිමැසුම් ආර්ථිකයකට යා යුතු වෙනවා. අසීමිත අවශ්‍යතාවලින් අත්‍යවශ්‍ය ඒවා තෝරාගෙන බුද්ධිමත්ව වැය කළ යුතු වෙනවා. අද බොහෝවිට තරුණ පරපුර අවිචාරවත්ව සෝබන ජීවිතයකට හැඩගැසීම රටේ ආර්ථිකයට බරක් වෙලා. ඔවුන් නිෂ්පාදනයට දායක වන්නේ මඳ වශයෙන්.
අනික් අතට ක්‍රෙඩිට් කාඩ්වලින් මිලදී ගන්නේ ප්‍රාග්ධන භාණ්ඩ නොවෙයි. එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩයි. ණය වී පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීම පුද්ගලයාගේ දිළිඳු බව වර්ධනය කිරීමක්. ඒ නිසා කළ යුතුව ඇත්තේ මෙම තත්ත්වයෙන් ජනතාව ගලවා ගැනීම මිස එයට අනුබල දීම නොවෙයි.
►යසවර්ධන රුද්රිගු