අමතක වීම නම් අපගේ අප රට්ටුන්ගේ ජන්ම ගතියකි. දෙසතියකට පෙර සිදුකෙරුණු විදුලි කප්පාදුව අද බොහෝ දෙනකුට මතක නැත. අප නැවත ඔබට පසුගිය දෙසතිය සිහිගන්වා මේ හෙළිදරව් කරන්නට සැරසෙන්නේ ශ්‍රී ලාංකීය විදුලිබල අර්බුදයේ සත්‍ය කතාවයි.
මෙරට විදුලි අර්බුදය පිටුපස ඇති ප්‍රධාන හේතුව අඩු වියදම් බලාගාර ඉදි නොකිරීමයි. එය එසේ කී විට ඔබට තේරුම්ගත නොහැකි බව අප දනිමු. එම නිසා මෙය සවිස්තරාත්මක පහදා ගත යුතුවේ. මේ මොහොතේ පවා පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම රට තුළ සිදුවේ. ඊට හේතුව ලංකා රජය සතුව ඇති බලාගාරවලින් පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණයට විදුලි උත්පාදනයක් සිදු නොවීමයි. ඒ අනුව ඒකකයක් රුපියල් විසිපහත් හැටත් අතර මුදලකට පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජයට සිදුව තිබේ. ඒ මිලදී ගැනීම් සිදුවන්නේ හදිසි අතුරු අවශ්‍යතාවක් යටතේය.
පසුගිය සමයේ වූ විදුලි විසන්ධි කිරීමෙන් රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීමට තිබූවකි. අප එසේ කියන්නේ පැහැදිලිය සාක්ෂි සහිතවය. මන්ද ඉදිරි වසර විස්ස සඳහා විදුලිය ඉල්ලුම සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය බලාගාර ධාරිතාව කල් ඇතිව විදුලිබල මණ්ඩල විසින් හඳුනාගෙන තිබුණි. ඒ වෙනුවෙන් ඒ ඒ වසරවලදී ඉදි කළයුතු බලාගාර කවරේදැයි පැහැදිලිව හඳුනාගෙන තිබුණි. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් අප රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීමේදී බලාගාරවල ධාරිතාව සඳහන් වන්නේ මෙගාවොට්වලිනි. දැනට අප සතුව මෙගාවොට් හාරදහසක පමණ බලාගාර තිබේ. එහෙත් සෑම වසරක මේ සඳහා මෙගාවොට් දෙසීයක පනහක පමණ බලාගාරයක් අලුතින් ජාතික පද්ධතියට එකතු විය යුතුය. මන්ද වාර්ෂිකව සීයට හතරයි දශම පහකින් පමණ විදුලි ඉල්ලුම වැඩිවෙයි. එම නිසාම වාර්ෂිකව ජාතික වශයෙන් ඉදිවිය යුතු බලාගාර හඳුනාගෙන ලයිස්තු ගතකොට තිබේ.
ඒ අනුව මෙරට අවසානයට බලාගාරයක් ලෙස බිහිවූයේ නොරොච්චෝලේ අවසාන අදියරයි. එය මෙගාවොට් දෙසීය අසූවක බලාගාරයකි. ඒ දෙදහස් දාහතරේය. ඉන්පසුව අඩුවියදම් බලාගාරයක් මෙරට ඉදිවී නැත. පෙර සඳහන්කරන ලද බලාගාර සැලැස්ම ජනන සැලැස්ම නම්වේ. එහිදී ජනතාව වෙනුවෙන් අඩු වියදමින් විදුලිය නිපදවිය හැකි බලාගාර තෝරාගෙන එක් එක් වසරවල එම බලාගාර ඉදිවිය ආකාරය දක්වා ඇත. එහෙත් එම සැලැස්ම අනුව ඉදි වියයුතුව තිබූ බලාගාර ඉදිකිරීම පමාකිරීම හෝ අවලංගු කිරීම දිගින් දිගටම සිදුව තිබේ. එය විශ්මයාර්ථයක් දනවන්නක් වන ඒ පිටුපස ඇති කතාව ද අපි හෙළිකරමු.
විදුලිබල පනතට අනුව බලාගාර ඉදිකිරීමට බලය ඇත්තේ විදුලි බල මණ්ඩලයටය. එසේ නම් මේ පමා කිරීම සිදුකර ඇත්තේ විදුලිබල බල මණ්ඩලයය. 2016 දී විදුලි බල අමාත්‍යාංශය අතුරු මිලදී ගැනීමක් ලෙස මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබේ. එහෙත් ඊට පෙර ACE Embilipitiya නම් පෞද්ගලික බලාගාරය මිලදී ගැනීමට යෝජනා වී තිබේ. නමුත් එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත්තේ ගිවිසුම් ගතව මෙම බලාගාරය මිල දී ගැනීම පාඩු බවය. ඒ අනුව මාස තුනක් සඳහා විදුලිය මිලදී ගැනිමට අනුමැතිය හිමිව තිබේ. එහෙත් කෙසේ හෝ මෙම ගිවිසුම අවුරුද්දක් සඳහා දීර්ඝ කර සැකසී ඇත. එයද උභතෝකෝටිකයකි.
මෙම ගිවිසුම අනුව රුපියල් මිලියන හැත්තෑ හය බැගින් මසකට අදාළ සමාගම වෙත ගෙවීමට එකඟ වී තිබේ. ඊට අමතරව ලබාගන්න විදුලි ඒකක වෙනුවෙන්ද වෙනම ගෙවීමක් සිදුකර තිබේ. වර්තමානයේදී මෙම ගනුදෙනුව කෝප් කමිටුවේ විමර්ශනයට ලක්විය. මෙම විමර්ශනය අදාළ කරුණු කිහිපයක් කෝප් වාර්තාවෙන් අපි උපුටා දක්වමු. ඒ අනුව සිදුවී ඇති දේ කුමක් දැයි ඔබට අවබෝධ වනු ඇත.
අප කී පරිදී ACE Embilipitiya බලාගාර මිලදී ගැනීමට යෝජනා වූයේය. එදා මෙම බලාගාර මිලදී ගැනීම වෙනුවෙන් රජයේ තක්සේරුව වී ඇත්තේ රුපියල් මිලියන 2,370කි. හිමිකරු ඊට නියම කර ඇති මිල රුපියල් මිලියන 2,635 කි. ඒ අනුව මිලියන 300 කට ආසන්න පරතරයක් මතුව ඇත. ඒ හේතුවෙන් එම මිලදී ගැනීම සිදුවී නොවුණි. නමුත් බලාගාර සමඟ විදුලි මිලදී ගැනීමේ ගිවිසුමට රජය එළඹියේය. ගිවිසුම අනුව මසකට අනිවාර්ය රුපියල් මිලියන 76ක් ගෙවා විදුලිය මිලදී ගැනීම සිදුවී ඇත. ගිවිසුමට අනුව 2016 අප්‍රියෙල් 06 සිට 2017 දෙසැම්බර් 31 දක්වා රුපියල් මිලියන 16,704ක් වැයවී තිබේ.
තමත් මෙම මිලදී ගැනීම සිදුවෙමින් පවතී. තවද මෙම ක්‍රියාවලිය සිදුව ඇත්තේ පිළිගත හැකි ටෙන්ඩර් පටිපාටියකට අනුවද යන්න කෝප් කමිටුවේ විමසීමට ලක්ව තිබේ. එතැනදී හටගන්නේ විශාල ගැටලුවකි. ඒ පිළිබඳ කතාව අප වෙනත් විටෙක දීර්ඝව පැහැදිලි කරගත යුත්තකි.
කෙසේ වෙතත් මහජන මුදල් වැයකරමින් විදුලිය මිලදී ගැනීම තවමත් සිදුවේ. ඊට හේතුව පසුගිය කාලයේ ඉදිකිරීමට තිබූ බලාගාර ඉදිනොකිරීම බව අප පෙරදී දැක්වූවෙමු. එය තවදුරටත් පැහැදිලි කරගත යුතුය. අප ඉහත දැක්වූ පරිදි පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන්නේ මෙම බලාගාර ඉදි නොකිරීම හේතුවෙනි. මේ අර්බුදයේ මුල් අවස්ථාවේ සිට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ දී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ දැනුවත් කර තිබේ.
ඒ අනුව 2016 මාර්තු 31 ඔවුන් සිදුකරන ලද විමර්ශනයකට අනුව අනාගතයේ හිඟයක් ඇතිවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය අනතුරු අඟවා ඇත. එහිදී 2019 වසරේ විදුලිබල හිඟයක් ඇතිවිය හැකි බව පැහැදිලිව දක්වා තිබේ. ඒ නිසාවෙන් ජනන සැලැස්ම අනුව සැලසුම් කර ඇති නිසිකලට බලාගාර ඉදිකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණඩලයට දන්වා ඇත. තවද විදුලිබල මණ්ඩලය විසින් ඒ වනවිටත් බලාගාර ඉදිකිරීම කල් දමා ඇති බව එහි පැහැදිලිව දක්වා තිබේ. කෙසේ වෙතත් බලධාරීන් විසින් මෙම දැනුවත් කිරීම නොතැකූ බව 2019 දී විදුලි කප්පාදු අපට සාක්ෂි සපයයි.
මේ අතර පමා කරමින් පවතින බලාගාර හා ව්‍යාපෘතිය රැසක් පිළිබඳ අපට තොරතුරු ලැබී ඇත. එහෙත් එම පමාවන්නට විවිධ හේතු අදාළ බලධාරීන් විසින් ඉදිරිපත් තිබේ. සැබෑව නම් සියල්ල පිටුපස ඇත්තේ කළමනාකරණයේ ගැටලුය. ටෙන්ඩර් පිරිනැමීම්වලද ගැටලු කිහිපයක් තිබේ. වෙනත් හේතු දැක්වීම මත සිදුවෙන පමා කිරීම්ද රැසකි. උදාහරණයක් ලෙස ගාල්ල ඩීසල් බලාගාර, මන්නාරම සුළං බලාගාර මෙන්ම මෙගාවොට් 1400ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය අපට දැක්විය හැක. තවත් බොහෝ ව්‍යාපෘතිය ද ඇත.
අවසානයේදී මේවා උපක්‍රමශීලීව පමාකරන බව අවබෝධ කරගැනීම අපහසු නැත. එහි අරමුණ දිගින් දිගටම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමයි. පෞද්ගලික අංශයෙන් විදුලි ලබාගන්නා විට මඩිය තරවෙන පිරිසක් කොහේ හෝ ඇත. අවසානයේ ඒ කවුදැයි සිතාගැනීම අංජනම් බැලීම නම් අවැසි නොවේ.
► චමිඳු නිසල් ද සිල්වා