මිනිසා විසින් කාලයක් තිස්සේ රැස්කරගත් ඥානය ඔහු තවත් රටකට සංක්‍රමණය වෙද්දී ඒ දෙවැනි රටට ගෙනයයි. පළමු රටේ සංස්කෘතියද එවිට දෙවැනි රටට යම් තරමකින් සංක්‍රමණය වේ. මානව වර්ගයාට හිතකර දැනුම, කලාශිල්ප ඒ රටේ චින්තනය පොහොසත් වෙයි. මහින්දාගමනයෙන් මෙරටට පැමිණියේ බෞද්ධාගම පමණක් නොවේ. කුල දහඅටක ශිල්පීන් ඉන් අනතුරුව මෙහි එවූ බව අසා ඇත්තෙමි. ඒ එකී ශිල්පීන්ගේ පැමිණීමත් සමඟම මෙරට කලාශිල්ප, චින්තනය, පරිවර්තනයකට ලක්වී වර්ධනය වූයේය. එම කලා ශිල්ප මෙරට වර්ධනය වූයේ ඉන්දියාවේ පැවති ආකාරයටම නොවේ. මෙරටට අනුරූප මෙරටට ආවේනික ආකාරයටයි.
රටකින් රටකට මිනිසා වෙළඳාම පිරිස හෝ ආක්‍රමණය සඳහා හෝ දූත මෙහෙවර සඳහා යද්දී ගෙන යන්නේ මිනිස් වර්ගයාට හිතකර, යහපත් දේ පමණක් නොවේ. යම් සමාජයක ඍණාත්මක වර්ධනයට හේතුවන සමාජය අගාධයට හෙලන දෑද ඒ සමඟ ගෙනයයි. එසේ ගෙන යන දෑ මත්ද්‍රව්‍ය, ආයුධ වැනි භෞතික ඒවා නම් මුරකාවල් ලා ඒවා අල්ලා ගතහැකිවේ. එහෙත් ඒ පිටතින් එන දෑ මිනිස් සිත තුළ සඟවා ගෙන එන මිත්‍යාව, වෛරය, ක්‍රෝධය වපුරන අභෞතික දේනම් රැකවල් ලා අල්ලා ගන්නට නොහැකිය.
අරාබි සංස්කෘතිය මිහිමත ගොඩනැගෙන්නේ මහම්මත්තුමාගේ උත්පත්තියටත් පෙරය. පුරාණ ග්‍රීක ශිෂ්ඨාචාරයෙන් ගණිතය, කලාව, දර්ශනය මානව චින්තනයට එක්වූවා සේම අරාබි සංස්කෘතියෙන්ද මිනිසාගේ උන්නතියට හේතුවන දැනුම එකතුවූයේය. ගණිතය ඉන් එක් අංශයකි. අද අප ලියන ඉලක්කම් අරාබි ඉලක්කම්ය. (රෝම ඉලක්කම් ලියන්නට ගියා නම් අප සෑහෙන අමාරැවක වැටෙන්නේය.) පුරාණ අරාබි වෙළෙන්දෝ ද නාවිකයෝ ද අහස නිරීක්ෂණය කළෝය. තරු රටා පිහිටන ආකාරය තවලම් හෝ නාවික ගමන් යද්දී ඔවුනට වැදගත් වූයේ දිශාව දැනගැනීමටයි. විශ්වය පිළිබඳ අපේ දැනුම වර්ධනය වන්නට අරාබි චින්තනයෙන්ද මහත් මෙහෙවරක් ඉටුවිය. ඔහු දේව වාදය පිළිගන්නා කාලයේදී බටහිරත්, මැදපෙරදිගත්, මිනිසාගේ විචාර චින්තනයට එතරම් බාධා එල්ලවූයේ නැත. ඒක දේවවාදය පිළිගැනීමට ලක්වීමත් සමඟ එයින් මිනිසාගේ විචාර චින්තාවට බාධා එල්ලවිය. ඉන්පසු විද්‍යාවේත්, ගණිතයේත් ප්‍රගමණය වසර දහසක් කල් සිදුවූයේ ඉතා සෙමින්ය. රහසේය. සර්වබලධාරියාගෙන් ඒවා සඟවාගෙන ඉන්නට විද්‍යාඥයන්ටත් ගණිතඥයන්ටත් සිදුවිය.
අරාබි ශිෂ්ඨාචාරය මෙරටට පැමිණි වෙළෙන්දන්ගෙන් මෙරටට ආයේය. ක්‍රි.ව. 7 වැනි සියවසේ පටන් අරාබීන් මෙරටට වෙළඳාම සඳහා පැමිණි බවට සාක්ෂි තිබේ. එකල ඔවුන් අපේ රට හැඳින්වූයේ සෙරන්ඩිබ් යනුවෙනි. ඉස්ලාම් ආගම ඇදහු ඔවුන් සමඟ කාන්තාවන් පැමිණියේ නැත. එම වෙළඳුන්ගෙන් ඇතැම් අය මෙරට කාන්තාවන් විවාහ කරගෙන මෙහි පදිංචි වූවෝය. ඔවුන් කතා කරන්නට හුරුවූයේ ද්‍රවිඩ භාෂාවයි. ඔවුන්ගෙන් බිහිවූයේ මෙරට සංස්කෘතිය සමඟ එක්වී සහයෝගයෙන් ජීවත් වියහැකි සමාකාමී ප්‍රජාවකි.
ලොරන්සෝද අල්මේදා (කොළොම් තොටට ආ යහපත් නාවිකයා) 1505දී නෞකාවේ සිට ගොඩබිම පිරික්සා බලන විට ඔහුට පෙනුණු දර්ශනය ආර්.එල්. බ්‍රොහියර් Changing Face Of Colombo නම් පොතේ විස්තර කර ඇත. එහි අගනා පරිවර්තනයක් කළ පද්මා එදිරිසිංහගේ “කොළොම්පුර පුරාවෘත” පොතේ ඒ ගැන මෙසේ සඳහන් වේ.
“මෙවන් අඳුරු සහ පාළු පරිසරයකට තරමක් ආලෝකයක් ගෙනදෙන ගොඩනැගිල්ලක් දිස්විය. ඒ මුස්ලිම් සුසාන භූමිය යැයි සිතිය හැකි විවෘත බිම් පෙදෙසකි. හුණු ආලේප කළ මුස්ලිම් දේවස්ථානයක් ඒ අසලින් අහසට ඇදී යයි. ඒ සියල්ලම ජනිත වී ඇත්තේ අරාබි නාවිකයන්ගේ පරිශ්‍රමය තුළිනි. සියවස් ගණනාවක සිට මේ වෙළඳ මධ්‍යස්ථානයට විවිධ පාරිභෝගික ද්‍රව්‍ය රැගෙන ආවෝ ඒ නාවිකයෝය. ඔවුන් පාවිච්චි කළ යාත්‍රාද ඒ තරම් ශක්තිමත් නොවීය.”
මුස්ලිම් ප්‍රජාව නිතරම ඒකරාශී වූයේ මුස්ලිම් පල්ලිය කේන්ද්‍ර කරගෙනයි. ඒ ගැන පැහැදිලි විස්තරයක් “විකිපීඩියා” වල දැක්වේ. ශ්‍රී ලංකාවේ දැනට වාර්තා ගත පළමු මුස්ලිම් පල්ලිය වන්නේ බේරැවල පිහිටි අබ්රාර් පල්ලියයි. වාර්තා වන අන්දමට එය ක්‍රි.ව. 920දී ඉදිවූවකි.
බේරුවල යෝනක (ළඳුන්) ප්‍රජාව ගැන ගිරා සන්දේශයේ ද සඳහන් වේ. ගිරා සංදේශය 1460 වර්ෂයේ ලියූවක් බව පෙනේ. (1932 සිළුමිණ පුවත්පතේ ජේ.එච්.එම්. වික්‍රමරත්න නීතිඥතුමා කියා ඇත්තේ ගිරවා 1460 සැප්තැම්බර් 30 වැනිදා උදේ 7.00ට ජයවර්ධන පුරයෙන් පිටත්ව ඇති බවයි.)
ගිරා සංදේශයේ මග වැනුම්වල ගිරවාට බේරුවල ගැන කියාදී ඇත්තේ මෙසේය.
රන්පත් සවන් යොන් ලිය රඳනා නිමල
සන් රන් රුවන් සල් පිල් සොබනා ගෙවල
ඔන්නතො දෙදෙන් බබලන සිඳු නා අසල
මන්සන් කොසින් තොගොසින් වදු බේරුවල
“රන්පත් සවන් යොන්ලිය රඳනා නිමල” යනු - රනින් කළ පතු හෙවත් තෝඩු කනෙහි පැළඳගෙන ඉන්න යෝනක (මුස්ලිම්) ස්ත්‍රින් යන්නයි. ඒ කාලයේ බේරුවල සිටි මුස්ලිම් ළඳුන් තම නිවෙස්නවලින් එළියට පැමිණි සමාජයේ ගැවසුණු අය බව මෙයින් පෙනේ. ඔවුන් බුර්කාවෙන් හෝ හිජාබයෙන් හිස ආවරණය කරගෙන නොසිටි අය බවද රචකයා හොඳින් ඔවුන්ගේ කන්වල ඇති තෝඩු පෙනේ. යයි කීමෙන් සනාථ වේ.”
වර්තාවන අන්දමට බේරුවල කොච්චිමලයා පල්ලිය 1024 තැනූ එකකි. කොළඹ මහා මුස්ලිම් පල්ලිය ක්‍රි.ව. 948 ඉදිවූවකි.
මුස්ලිම් පල්ලි බොහෝවකින් ඊයේ පෙරේදා කඩු රාශියක් හමුවූ නිසා කුරානය සහ කඩුව අතර යම් සම්බන්ධයක් තිබේ දැයි දැනට ප්‍රසිද්ධ කර ඇති කරුණු ආශ්‍රයෙන් සොයා බලන්නට සිත්විය.
විකිපීඩියා සඳහන් අන්දමට, කුරානයේ නවවැනි සුරාවේ පස්වැනි දේවවාක්‍ය කඩුව පිළිබඳ පරිච්ඡේදයයි. (මෙය කුරානයේ 9.5 පරිච්ඡේදය ලෙස දැක්වේ) මෙය කුරාණය විවේචනය කරන අය වැරදියට අර්ථ නිරූපණය කරන බවද එහි දැක්වේ.
මිත්‍යා මතධාරී අරාබීන්, තම සාම සම්මුති කඩ කරමින් මෙම පාඨය උපයෝගී කරගෙන මුස්ලිම් නොවන ජනයාට එරෙහිව ප්‍රලාප දොඩන බව අල්-බේදාවි සහ අල් අලුයි යන විද්වතුන් ප්‍රකාශකොට ඇත. කෙසේ වුවද අප දන්නා තරමින් අසන්නට ඇත්තේ “යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද” කියාය. (ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද යනුවෙන් අප මෑතකදී මෙම පිරුළ වෙනස් කළෙමු.) කෙසේ වුවද ඉවසීම අප ප්‍රගුණ කළයුතුය.
අරාබියේ මිථ්‍යා මත දැන් මෙරටට හානිකර මට්ටමට මෙරටට පැමිණ ඇති බව දැන් පැහැදිලිය. කාන්තන්කුඩියේ වර්ග සැතපුම් තුන හතරක මූලධර්මවාදය අදහන මුස්ලිම් පල්ලි 68ක් ඇති බව මෑතකදී අනාවරණය විය. කාන්තන්කුඩියේ අරාබි සංස්කෘතිය අනුව යමින් රට ඉඳිගස් ද වවා ඇත. (ඊට කම් නැත. ගස් කපනවා වෙනුවට මොනවා හෝ ගස් වැවූ එක හොඳය) එහෙත් කාන්තන්කුඩියේ පල්ලි කිහිපයක් පාදක කරගෙන මතුවූ අයි.එස්. ත්‍රස්තවාදය නිසා අද රටම භීතියට පත්ව සිටී. රටේ ආර්ථිකය අඩපණ වී ඇත. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන පැමිණි මුස්ලිම් ජනයා සමඟ මෙරට ජනයාගේ සහෝදරත්වය ඉන් පළුදු කර තිබේ. කාන්තන්කුඩියේ පල්ලි කිහිපයකින් පැනනැගුණු ත්‍රස්තවාදය, අනෙක් අතට අවමන් කර ඇත්තේ අරාබියෙන් යම් යහපත් මානව චින්තනයක් මෙරටට ලැබී ඇත්නම් එම යහපත් චින්තනයටත්ය.
මෙරට සිංහල ජනයා සමඟ මුස්ලිම් ජනයා කෝලහාල කරගත්තේ ඉඳහිටය. අතීත ඇතැම් එවැනි කෝලහාල පසුකාලීන කලා කෘතිවලට ද විෂය වූයේය. එම “ආරෝවන්” දිගින් දිගට ගෙනයන එකිනෙකාගෙන් පළිගන්නා ඒවා වූයේ නැත.
16 වැනි සියවසේදී පෘථිගීසී ආක්‍රමණිකයන්ගෙන් මුස්ලිම් ජනතාව බේරාගෙන ඇත්තේ මහනුවර සෙනරත් රජුය. මුස්ලිම් වෙළඳුන් කිහිප දෙනෙකු කොල්ල කෑ විට ඒ ගැන මෙරට රජයට පැමිණිලි කිරීමේ හැකියාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගයේද පැවතියේය.
“පුන්‍යවන්ත තුන් ලංකේන්ද්‍ර ස්වාමී
කොල්ල කෑවෝ මා බඩු දේශවාසී”
(ජෝන්ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නාට්‍යයයෙනි)
“හම්බයින්” යන පදය 1915 සිංහල මුස්ලිම් කලකෝලාහලවලින් පසු මෙරට මුස්ලිම් ජනයාට අවමාන කරන්නට යොදාගත් පදයක් සේ පෙනුණද එය එසේම නොවන බව අතීත තතුවලින් පෙණේ. මෙම වචනය අරාබි වෙළඳුන් පැමිණි යාත්‍රා විශේෂයන් නිසා පැබැඳුණු නමකි. අරාබි වෙළඳුන් භාවිතා කළේ “සාම්පාන්” යන චීන යාත්‍රා විශේෂයයි. හම්බන් යන්න සාම්පාන් යන්නෙන් බිඳී ආ වචනයකි. “හම්බාන” යන්න නැව හැඳින්වීමට ද යොදා ගැනිණි. හම්බන්තොට යන වචනය සෑදුණේ ද හම්බාන නිසාය.
දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ මධුර ජවනිකා නාට්‍යයේ එච්.ඒ. පියදාස විසින් මුලින්ම ප්‍රසිද්ධ කරන ලද “නෙයිනාගේ සූදුව” කවි කොළය ආශ්‍රයෙන් ගොඩනගා ඇති ජවනිකාවක් ඇත. එම කවි කොළයේ
“පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ
කොළොම් පුරට”
නම් කවි පදයක් ඇත. දයානන්ද ගුණවර්ධන, මධුර ජවනිකා නාට්‍යයේ මුද්‍රිත පොතේ මෙහි එන “හම්බ - හෙට්ටි” යන්න මාතර ජේ. රත්නායක - 1962 ප්‍රසිද්ධ කළ කවි පන්තියක තිබූ කවි 6ක විස්තරයක් ඉදිරිපත් කරමින් පැහැදිලි කරයි. එම කවි හයෙන් පහකම ඇත්තේ මෙරටට මුස්ලිම් ජනයා පැමිණි ඉන්දියානු ප්‍රදේශවල නම්ය. එහි අවසාන කවි දෙකක මෙසේ සඳහන්ය.
ගන්ගඩි තොන්ඩාම් රාෂගිරි කුඩියානා
ආදූර් පුරම් කූඩි
අන්බ සමුද්‍රම් කාසිල් පට්නම් වලිඋර්
පෙට්ටේ විලක් කූඩි
මන්ගල තේෂම් අරියක් කුලාමම්
සාලිය පට්නම් අලක් කුඩි
තත්වල රාමා කෝට්ට බුඩළුර් පාපනාය
මන්නාර කූඩි
ඉන්පසුව එන කවියේ මුල් පේළි දෙක මෙසේය
ඉන්දිය දේසෙහි තිබෙන මෙකී රටවල්
හා තවනෙක ගම් වලිනා
එන්නහු බන්ගලි කොච්චිද පරවර
හම්බ දෙමළ සෙන් හිස් අතිනා
කොහෙන් කවුරු ආවත් දැන් මේ අපේ රටය. රට තුළ සාමයෙන් සහෝදරත්වයෙන් බැඳී දිවි ගෙවීමේ වගකීම අපට ඇත.
♦ සමන් පුෂ්ප ලියනගේ