ක්‍රිෂාන්තිනි තම පවුලේ අයත් සමඟ මඩකලපුවේ රෝහල්වලට ගොස් තුවාල ලැබුවන් අතර රමේෂ් සිටීදැයි සොයා බැලීය. නමුත් අවසානයේ ඔවුන්ට ඔහුගේ සිරුර හමුවී තිබේ. රෝහල් ආරංචි මාර්ග අනුව රමේෂ් බෝම්බය පිපිරූ අවස්ථාවේම මියගොස් ඇත. ඔහුගේ විමසිලිමත් බව නිසා බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරුණු බව ගම්වාසීහු පවසති.
රමේෂ් රාජු මඩකලපුවේ ජනතාවට වීරයෙකි. නමුත් අද ඔහු ජීවතුන් අතර නැත. පසුගිය පාස්කු ඉරිදා දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරූ රමේෂ් එසේ ජනයාගේ ගෞරවයට පාත්‍රව සිටී. වෘත්තියෙන් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වූ 40 හැවිරිදි රමේෂ් සුපුරුදු පරිදි පසුගිය 21 වැනි පාස්කු ඉරිදා උදෑසන තම බිරිඳ සමඟ දේවස්ථානයට ගියේ ඉතා සතුටෙනි.
ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්තිනීය. ක්‍රිෂාන්තිනි මඩකලපුවේ සියොන් දේවස්ථානයේ (Zion church) පැවැත්වෙන දහම් පාසලේ ගුරුවරියකි.
එදිනද (අප්‍රේල් 21) සුපුරුදු පරිදි ළමුන්ට ඉගැන්වීම් කළ ඇය දරුවන් කිහිපදෙනෙකු සමග අසල පිහිටි කඩයකට ගොස් ඇත්තේ සිසිල් බීම පානය කිරීම සඳහාය.
මේ අවස්ථාවේ රමේෂ් සිට ඇත්තේ දේවස්ථාන මිදුලේය. එහිදී ආගන්තුක පුද්ගලයෙක් තරමක් විශාල බෑගයක් ගෙන දේවස්ථානය දෙසට යනු ඔහු දැක ඇත. එහිදී ඔහු එම පුද්ගලයාගෙන් තොරතුරු විමසු විට එම පුද්ගලයා පවසා ඇත්තේ “තමා දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වන අය වීඩියෝ කිරීමට පැමිණි” බවය.
“ඔහු කිව්වා බෑග් එකේ තියෙන්නේ වීඩියෝ කැමරාව කියලා.”
“මගේ ස්වාමි පුරුෂයාට දැනුණා මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එවිට ඔහු අර පුද්ගලයට කිව්වා ඉස්සෙල්ලා අවසර ගන්න ඕනෑ කියලා” ක්‍රිෂාන්තිනි පැවසුවාය.
“ඉන්පසු ඔහුට බලකළා එතනින් එළියට යන්න කියලා.” ඒ අතර ක්‍රිෂාන්තිනි දේවස්ථානය තුළට ගියාය. ”ටික වෙලාවකින් විශාල ශබ්දයක් ඇසුණා.”
ඒ වන විට දේවස්ථානය තුළ බැතිමතුන් 450 ක් පමණ සිටි බව වාර්තා වේ.
“පිපිරීමත් සමග දේවස්ථානයේ හිටපු මිනිස්සු හිස්ලූ ලූ අත දිව්වා.” පසුව ක්‍රිෂාන්තිනි තම පවුලේ අයත් සමග මඩකලපුවේ රෝහල්වලට ගොස් තුවාල ලැබුවන් අතර රමේෂ් සිටීදැයි සොයා බැලීය. නමුත් අවසානයේ ඔවුන්ට ඔහුගේ සිරුර හමුවී තිබේ. රෝහල් ආරංචි මාර්ග අනුව රමේෂ් බෝම්බය පිපිරූ අවස්ථාවේම මියගොස් ඇත. ඔහුගේ විමසිලිමත් බව නිසා බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරුණු බව ගම්වාසීහු පවසති.
ක්‍රිෂාන්තිනි 40 හැවිරිදිය. අද ඇයට දෙමව්පියන්ද අහිමිය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී මිය ගොසිනි. ඉන්පසු ඇය හැදී වැඩී ඇත්තේ ළමා නිවාසයකය. අද ඇය සහ දරුවන් දෙදෙනා වන 14 හැවිරිදි රුක්ෂිකාට සහ 12 හැවිරිදි නිරුබන්ට ඔවුන්ගේ පවුලේ මුල් පුරුක අහිමිය.
►උපුටා ගැනීම බී.බී.සී.