2019 මැයි 04 වන සෙනසුරාදා

ජනවාරියේදී පුපුරණ ද්‍රව්‍ය හමුවූ වනාතවිල්ලුව

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

පාස්කු ඉරිදා විදෙස් ජාතිකයන් ඇතුළු තුන්සියයකට අධික මිනිස් ජීවිත අහිමි කරමින් පන්සියයකට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් විශාල දේපල රුසක් විනාශ කරමින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වනාතවිල්ලුව සම්බන්ධයක් පවතින බව කතාබහට ලක්වී ඇත. 

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අතුරින් විශාලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන මෙය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 710.4කින් යුක්තය. ගම්මාන 45ක් ඇතුළත් ග්‍රාම නිලධාරී වසම් 17කින් සමන්විත වේ. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 30236කි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව රජයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 9176කි. ඉන් ජලයෙන් යටවූ (ජලාශ, වාරිමාර්ග, ගංගා) ප්‍රමාණය හෙක්ටයාර 627කි.

මෙම කොට්ඨාසය තුළ නැගෙනහිර සිට බටහිර දෙසින් කලපුව වෙත ගලා යන කලා ඔය, ලුණු ඔය, මී ඔය, මෝදරගංආරු, රාල්මඩුව ඇළ, මුංගිල්ආරු ඇළ, වැලි ඇළ, කුරුසව්ආරු, උන්මඩුආරු හා තවත් කුඩා වැව් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇතත් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන කාලවලදී මේ පළාතට විශාල ජල හිඟතාවයක් පවතී.

උතුරින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් ද, නැගෙනහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, බටහිරින් ඉන්දියන් සාගරයෙන් ද, මායිම්ව පිහිටා ඇති මෙහි පොල්, කජු ප්‍රධාන ආර්ථික භෝග ලෙස වගා කරන අතර, කලපු ධීවර කර්මාන්තය ද සාර්ථක ලෙස සිදු කරනු ලබයි.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නව පිටුවක් පෙරළමින් විජය රජු ඇතුළු 700ක් පිරිස ඉන්දියාවේ ලාටා රටින් මෙහි පැමිණ ඇති අතර එකී සිදුවීම විජයාවතරණය නමින් හඳුන්වයි. කුදිරමලේ ප්‍රදේශයේ පවතින පෞරාණික නෂ්ටාවශේෂ මෙයට කදිම නිදසුනකි. කුවේණිය සහ පිරිස පිටත් වූ මාලිගාවේ නටබුන් ද, ඔවුන් එහි ජීවත් වූ බවට සාක්ෂි ද, කුදිරමලේ ප්‍රදේශයේ පවතී.


21 වැනි සියවස වනවිට මෙම ප්‍රදේශයේ ජන සංඛ්‍යාව අඩු වර්ධනයක් පැවතී ඇත. මෙම  ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ශුෂ්ක දේශගුණික කලාපයක් වීම එයට ප්‍රධානම හේතුව වී තිබේ. අඩු වර්ෂාපතනයක් ලැබීම, ආර්ථිකමය, සමාජ සුබසාධන හා පොදු පහසුකම් ආදියෙන් තොර වුවද වර්තමානය වනවිට මෙම ප්‍රදේශයේ වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතී.

ප්‍රදේශයේ මුළු ජනගහනය 25000ක් පමණය. පසුගිය කාලය තුළ දැවැන්ත විරෝධතා, උද්ඝෝෂණ සිදුකරමින් ජනතා විරෝධතාවයකට ලක්වූ අරුවක්කාඩු කසළ අංගණය පිහිටා ඇති ජනගහනය 3000ක් ඉක්මවූ පිරිසක් ජීවත් වන කරතිව් උතුර ග්‍රාමසේවා වසම ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.

වසර තිහක යුද සමයේ දී ත්‍රාස්තවාදීන් විසින් කපා කොටා මිනිස් ඝාතන සිදුකළ මායිම් ගම්මානයක් වූ ගඟේවාඩිය පිහිටා ඇත්තේ ද කලා ඔය මුහුදට ගලා බසින අවසන් ස්ථානයේය. පසුගිය සහ වර්තමාන දේශපාලනඥයන් ඍජුව හා වක්‍රාකාරව ඉඩම් අක්කර සිය ගණනක් අත්පත් කරගෙන සිටීම මෙන්ම අක්කර 25/50/100/150/200 වැනි ප්‍රමාණයේ විශාල ඉඩම් වගා කරමින් පිටස්තර පළාත්වල පිරිස් මෙහි පදිංචි වීම සිදුව තිබේ.

සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරිකයන් මේ ආකාරයට ඉඩම් සංවර්ධනය කරමින් සිටිනුයේ මිනිස් ජනාවාස ඇති ආසන්නයට බොහෝ දුරින් වීම එම විශාල වතුවල සිදුවන නීති විරෝධි ක්‍රියා කිසිවක් වාර්තා නොවීමට හේතු වී ඇත.


2019 ජනවාරි 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මහා පරිමාණ පුපුරණ ද්‍රව්‍ය රඳවාගෙන තිබූ ස්ථානය ද වන ලැක්ටොවත්ත නමින් හැඳින්වූ අක්කර 25ක පොල්වත්ත ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර හය හතකට වැඩි දුරින් කලපුවට ආසන්නයේ පිහිටා තිබේ. වනාතවිල්ලුව පිහිටා ඇති මුළු භූමි ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වනාන්තර වීම විශේෂත්වයක් වන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභයභූමිය පිහිටා ඇති භූමි ප්‍රමාණයෙන් වනාන්තරය පිහිටි විශෘල භූමි ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට අයත් වීමයි.

ජාතික වැදගත්කමක් සහිත වූ මෙම ප්‍රදේශය නීති විරෝධී ක්‍රියා රහසිගතව කරගෙන යාමට හැකි ආකාරයේ පහසුකම් සහිතව පිහිටි ප්‍රදේශයකි. කල්පිටිය මන්නාරම මුහුදු මාර්ග ඍජුව සම්බන්ධ වී ඇති හෙයින් විදෙස් රටවලින් රැගෙන එන මත්ද්‍රව්‍ය වෙනත් ඕනෑම දෙයක් පහසුවෙන් වනාතවිල්ලුවට ගෙන ඒමේ හැකියාව පවතින අතර රහසිගත ක්‍රියා සඳහා තෝතැන්නකි.

වසර තිහක යුද සමයේ දී ත්‍රස්තවාදී ක්‍රියා සඳහා තොතැන්නක් වූ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ වර්තමානයේ දී වැඩි කතාබහට ලක්වී ඇත්තේ පාස්කු ඉරුදින රට පුරා ස්ථාන කිහිපයක එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟයි.

2019 ජනවාරි 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාතවිල්ලුව ලැක්ටොවත්ත පරීක්ෂා කිරීමේදී ලැක්ටොවත්තෙන් ජනවාරි 16දා අධි බලැති පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්, ගිනි අවියක්, ජීව උණ්ඩ, හිස් කොපු, කැමරා උපාංග, පරිගණක, රසායනික උපකාර තාක්ෂණ උපාංග, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන සැලසුම් දළ සටහන් ඇතුළු නීති විරෝධී තවත් දේ සැකකරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට පත්වීම හේතුවෙන් මෙම පාස්කු ඉරැදින ප්‍රහාරය හා මේ අතර සම්බන්ධතාවයක් ඇති බව කතාබහට ලක්වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරැවන් මුස්ලිම් ජාතිකයන් වන අතර නමින් මොහොමඩ් මුෆීෂ්, මොහොමඩ් හසීර්, මොහොමඩ් නෆීෂ්, අමීර් අමීයා මොහොමඩ් හමාස් යන අය වෙති.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් සියලු දෙනා වෙනුවෙන් රට පුරා ශෝකය ප්‍රකාශ කිරීම ජාති ආගම් භේදයකින් තොරව සිදුකරන ආකාරය දැකගැනීමට හැකිය. එයින් තහවුරු වන්නේ මෙය ජාති ආගම් ප්‍රශ්නයක් නොව, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

රෝවන් පෙරේරා - පුත්තලම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00