ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය ඇරඹියේ හැටේ දශකයේදීය. අප පළමු සටහනේ කී ලෙසින් එහි පුරෝගාමී සංචාරය වන්නේ බේරුවල මොරගල්ල ගම්මානයේ පිහිටි රන් සැතපුම වෙරළ තීරයයි. අපි එම ඉතිහාස කතාවේ අක්මුල් සොයා චාරිකාවේ අවසාන සටහන මෙසේ තබමු.
කොළඹ ප්‍රමුඛ කර ගනිමින් ඇරැඹි සංචාරක කර්මාන්තය මේ වනවිට ගාල්ල, මහනුවර වැනි ප්‍රධාන නගර කරා පැතිර යමින් පවතී. එවන් පසුබිමක රොද්‍රිගෝ මහතාට දකුණු වෙරළේ සංචාරක කර්මාන්තයට අතගැසීම අභියෝගාත්මක කාර්යයක් විය. ලක් රජය සංචාරක කර්මාන්තය හඳුනාගන්නා මොහොත වනවිටත් රොද්‍රිගෝ මහතා ඊට සුදුසුම භූමිය දිවයිනේ දකුණු වෙරළ තීරය බව අවබෝධ කොටගෙන සිටියේය.
1968 වර්ෂය බාබේරියන් රීෆ් හෝටලය නිල වශයෙන් ඇරැඹි වසර ලෙස සඳහන් වෙයි. ඉතා සීමිත සේවක සංඛ්‍යාවක් ඇරැඹි හෝටලය ප්‍රදේශයේ විශාල පරිවර්තනයක් ඇති කරලීය. විදේශීය සංචාරකයන් අතර ක්‍රමයෙන් මේ වෙරළ තීරය ප්‍රකට වන්නට විය. මීට බලපෑ ප්‍රධාන හේතු සාධක කිහිපයකි. අද බාබේරියන් තුඩුව නමින් හඳුන්වන වෙරළ තීරය එයට හේතුවක් විය. එය මනරම් පිහිටීමක් වූ අතර එතැන් සිට බලන විට නිල් සාගරයේ අපූරු දසුන සංචාරකයන්ට දැකගැනීමට ලැබුණි. තවද මෙයට ස්වභාවික ගල්පර සුවිශේෂී ආකර්ශනයක් රැගෙන ආවේය. ආරක්ෂිත දිය නෑමකට මෙම ස්ථානයේ පිහිටීම ඉතාමත් සුදුසුය.
බාබේරියන් හෝටලයේ ආරම්භයත් සමගින් අවට ගම්මුන්ගේ ජීවිතවලද සැලකිය යුතු වෙනසක් විය. වෙරළේ වූ සංචාරකයන් සමඟ කතාබහ කිරීමට ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් පෙළඹුණාහ. ඒ සමගින් සංචාරක කර්මාන්තය ඇසුරින් යමක් උපයාගත හැකි බව ඔවුහු අවබෝධ කර ගත්හ. කුඩා වෙළෙඳාම් ඇතුළු නොයෙක් උපක්‍රම හරහා ඔවුහු සංචාරක කර්මාන්තය තම ජීවන උපාය බවට පත්කර ගත්හ. එතෙක් පැවති රා කර්මාන්තයට හා කොහු කර්මාන්තයට වඩා මේ අලුත් රැකියාව පහසු බව ගම්මුන්ට අවබෝධ වෙමින් පැවතිණි.
70 දශකය වනවිට සංචාරක කර්මාන්තයේ විශේෂ වර්ධනයක් සිදුවෙමින් පැවතිණ. එය බාබේරියන් හෝටලය ඇතුළු නව සංචාරක ආයෝජන සඳහා විශේෂ වූ අනුග්‍රහයක් සැපයීය. ඒ අනුව 70 දශකය වනවිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්වන්නට මෙම වෙරළ තීරයට හැකි විය. ක්‍රමයෙන් තවත් හෝටල් කිහිපයක් මෙම වෙරළ තීරයේ ඉදිවිය. ඒ අතර කොන්ෆීෆී හෝටලය සහ බේරු හෝටලය විශේෂිතය.
මේ සියල්ල අතරේ දකුණු වෙරළේ පළමු සංචාරක හෝටලය ඉදිරියට යමින් පැවතිණ. 1984 වසර හෝටලයට තීරණාත්මක වසරක් විය. දකුණු වෙරළේ සංචාරක කර්මාන්තයේ පුරෝගාමියා සිරිලක සංචාරක කර්මාන්තයේ තවත් පිම්මකට සූදානම් විය. ඒ අනුව 1984 වසරේ දී බාබේරියන් හෝටලය දිවයිනේ පළමු ආයුර්වේද නිවාඩු නිකේතනය බවට පත් විය. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වෙනස්ම අත්දැකීමක් වූ අතර ක්‍රමයෙන් එය ජනප්‍රිය වන්නට විය. භාවනාව, ආයුර්වේදය ආදිය ප්‍රමුඛ කර ගනිමින් එදා ඇරැඹි ගමන් මගෙහි අද ද ඔවුහු ගමන් කරමින් සිටිති.
ක්‍රමයෙන් කාලය ගතවන විට මෙම වෙරළ තීරයේ ආර්ථික වටිනාකම තේරුම්ගත් දෙස් විදෙස් ආයෝජකයෝ විශාල සංඛ්‍යාවක් මෙහි පැමිණියහ. ඔවුහු හෝටල්, අවන්හල් රැසක් ඉදිකළ අතර ක්‍රමයෙන් ගම්මානයේ බහුතරයකගේ ජීවන උපාය සංචාරක කර්මාන්තය වන්නට විය. මෙහි පුරෝගාමියා බාබේරියන් හෝටලය වූ බව පැහැදිලිය. එ නමුත් සංචාරක කර්මාන්තය විවිධ විෂම දෑ සමඟ ඉදිරියට ඇදෙන විට බාබේරියන් හෝටලය දිගින් දිගටම අනුගමනය කළේ වෙනම ප්‍රතිපත්තියකි. එය දේශීයත්වය, අපේකම රැකගනිමින් සංචාරක කර්මාන්තයට වෙනස්ම හැඩක් එක් කරලීය. පසුකාලීන බොහෝ සංචාරක හෝටල්වලට පූර්වාදර්ශයක් සැපයුවේ මොරගල්ල බාබේරියන් හෝටලයයි.
බාබේරියන් හෝටලය ඇතුළු මෙම කලාපයේ සමස්ත සංචාරක කර්මාන්තය මුහුණදුන් විශාලම අභියෝගය 2004 සුනාමි ව්‍යසනයත් සමඟ එල්ල විය. ඒ වනවිට මෙම කලාපය විදේශීය සංචාරක පාරාදීසයක්ව පැවතිණ. සුනාමි ව්‍යසනයත් සමඟ බාබේරියන් හෝටලයට ද හානි සිදුවිය. එහෙත් ඔවුහු නැවත නැගී සිටියහ. එ නමුදු කිසි කලෙක යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් බාබේරියන් වෙරළට සිදුවිය. සුනාමි ව්‍යසනයෙන් විශාල වෙරළ ඛාදනයක් වූ අතර ක්‍රමයෙන් බාබේරියන් තුඩුවේ වෙරළ වියැකී ගියේය. ඒ සමඟ අද වනවිට ගල්වැටියක් බැඳ මෙම වෙරළ තීරය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. ලක්දිව සංචාරක කර්මාන්තයේ ඉතිහාස සලකුණක් වූ මේ බිම්කඩ අහිමිවීම එක්තරා අතෙකින් පාරිසරික ඛේදවාචකයකි.
අද වනවිට තරු පන්තියේ හෝටල් කිහිපයක්ම මේ පෙදෙසේ පිහිටා තිබේ. 1960 දශකය වනවිට ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ආරම්භ වී තිබුණද, මෙම වෙරළ වඩාත් ප්‍රකටව පැවතියේ විදෙස් සංචාරකයන් අතරය. දේශීය සංචාරකයන් මෙහි පැමිණියේ ඉතා විරල වශයෙනි. මෑතක් වනතුරැම ගල්කිස්ස, බෙන්තර වැනි සංචාරක කලාපවලට සාපේක්ෂව දේශීය සංචාරකයන්ගෙන් මෙම ප්‍රදේශයට ලැබුණේ අඩු අවධානයකි. එහෙත් මෑතක සිට එම තත්ත්වය වෙනස් වී තිබේ. දේශීය සංචාරකයන් විශාල වශයෙන් මෙහි එන්නට පටන්ගෙන ඇත. අවාසනාවකට මෙන් විදේශීයන් අපමණ ආදරය කළ මෙම වෙරළ තීරය අද දේශීය සංචාරකයන් අතින් වැනසෙමින් තිබේ.
බාබේරියන් හෝටලයේ පුරෝගාමීත්වයෙන් ඇරුඹි දිවයිනේ දකුණු වෙරළේ සංචාරක කර්මාන්තය අද විශාල ඉදිරි ගමනක් පැමිණ ඇත. රන් සැතපුම වෙරළ තීරය ද එසේමය. මෙම වෙරළ කලාපයේ පිහිටා ඇති තරු පන්තියේ හෝටල් කිහිපයකි. එ තුළින් ඔවුහු වසරකට බිලියන ගණනින් මුදල් ජාතික ආර්ථිකයට එකතු කරමින් සිටිති. එමෙන්ම ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහිව තිබේ. ගම්මුන් බොහෝ දෙනාගේ ජීවනෝපාය මේ ඇසුරෙන් ගොඩනැගුණි. ඒ සියල්ලේ ගෞරවය බාබේරියන් හෝටලයට නිසැක වශයෙන්ම හිමිවිය යුතුය.
► චමිඳු නිසල්