සම්මානනීය ලේඛක - නිශ්ශංක විජේමාන්න
නිශ්ශංක විජේමාන්න මහියංගන ප්‍රදේශයේ ජීවත් වෙමින් නිර්මාණකරණයේ නිරත වේ. ඔහු තම නිර්මාණ සඳහා සිංහල - මුස්ලිම් සමාජ දෙකෙහිම සංස්කෘතික අගයන් උපයෝගී කර ගනී. ස්වර්ණ පුස්තක සම්මානය ද හිමිකරගත් හඳ පලුව තනි තරුව නවකතාව වර්තමාන සමාජය ගිලගත් අර්බුදය පිළිබඳ එක්තරා පුරෝකථනයක් වශයෙන් ද සැලකිය හැකිය. මේ නිශ්ශංක දේශය සමඟ සංහිඳියාව සහ සාහිත්‍යය ගැන දැක්වූ අදහස් කිහිපයකි.
ඔබේ අලුත්ම නිර්මාණය මල් සූටික්කා කෙටිකතා සංග්‍රහයයි. එයට ලැබුණු ප්‍රතිචාර ගැන පැවසුවහොත්?
මල් සූටික්කා පොතත් මා ලියූ අනෙක් පොත් වගේම දැඩිව කතාබහට ලක් වුණා. සංවාදයට පාත්‍ර වුණා.
එම කෙටිකතා පොතේ තම්බි හාමුදුරුවෝ නමින් කෙටිකතාවක් තිබෙනවා. ඒ ගැන යමක් කිව්වොත්?
මේක සරල කෙටිකතාවක්. මේ තිබෙන සංකීර්ණ ක්‍රියාදාමය සමඟ ගත්විට එහි විස්තර වන්නේ සරල සංසිද්ධියක්. පලායන මුස්ලිම් කෙනෙකුට උදව් කරන අවස්ථාවක් සහ ඒ නිසාම අවසානයේ ඔහු පවා පීඩනයට ලක්වීම. සියල්ල සිදුවන්නේ අනෙකා හඳුනාගැනීමට ඇති නොහැකියාව නිසා. මට මේ කතාවට තේමා වුණු මූලබීජය මගේ තාත්තා කියන්නේ 1974දී. මම උග්‍ර සිංහල ජාතිවාදියකු වශයෙන් පෙනී සිටි ඒ කාලේ වයස අවුරැදු 11යි. අපේ ගමේ ඇතිවන මුස්ලිම් සිංහල කෝලහලයකදී තමයි තාත්තා ඔය කතාව මට කියා දෙන්නේ. අපේ හාමුදුරැ නමක් මුස්ලිම් තරුණයෙක්ව ගමකට එවනවා සිවුරක් පොරවලා. ඔහුට මඟදී පාංශකූලයක් දීමට සිදුවෙනවා. අපේ තාත්තා සරල කතාවට ගැඹුරක් සහ පෝෂණයක් ලබාදෙනවා.
හඳ පලුව තනි තරුව නවකතාව සම්මානයට පාත්‍ර වුණා වගේම සමාජයේ බොහෝ කතාබහට ලක් වුණා.
ඒක ඇත්ත. හඳ පලුව තනි තරුව නවකතාවට මම යොදාගන්නේ එකතු කරගත් කතා විශාල ප්‍රමාණයකින් තෝරාගත් කොටස් කිහිපයක් පමණයි.
ඒ කියන්නේ එයට ඇතුළත් නොකළ ඔබ ලියූ තවත් කොටස් තිබෙනවා?
ඔව්. හඳ පලුව නොකී කතා කියලා ලියපු ෆයිල් එකක්ම මා ළඟ තිබෙනවා. සම්පූර්ණ පොත පළකළා නම් පිටු 500ක් පමණ වෙනවා. හඳ පලුව තනි තරුව ඇතුළේ මම කියනවා 2009 උතුරේ යුද්ධය නිමවීමෙන් පසු ලාංකීය සමාජය සතුරෙක් බිහිකර ගනිමින් සිටිනවා කියන එක. ඒ කියන්නේ සිංහල සමාජය නොවේ, ලාංකික අනෙකා, නැත්නම් ශ්‍රී ලාංකික අනෙකාගේ දේශපාලනඥයා සතුරෙක් නිර්මාණය කර ගනිමින් සිටින බව.
මෙම නවකතාවේ යටින් දිවෙන සොඳුරු ප්‍රේම කතාවක්ද දැකගත හැකියි.
ඔව්. මගෙ යාළුවො නම් කියන්නේ මේ වටිනා කතාවට ප්‍රේමය කියන අයිසිං එක දාලා කතාව විනාශ කළ බවයි. ස්ත්‍රී පුරුෂ සරල ආදරයට වඩා පැතිරී යන මිනිස්කම පිළිබඳ ආදරයක් මෙහි පවතී යයි මම අදටත් විශ්වාස කරනවා.
ඔබ සාහිත්‍යයෙන් පුරෝකථනය කළ සතුරා මේ වනවිට නිර්මාණය වෙලා. සමස්ත ලාංකික සමාජයම බියට පත්වෙලා අවසානයි නේද?
ඇත්ත. දැන් සතුරා නිර්මාණය වෙලා බව අපට පේනවනේ. සතුරාගේ වේශය ආගමික අන්තවාදයටත් වඩා ත්‍රස්තවාදය ලෙස ඉස්මතු වෙලා. සියදිවි නසාගන්නා බෝම්බකරු පවා ඔහු දන්නේ නැතිව කිසියම් දේශපාලනයකට නතුවෙලා ඇති. නිශ්චිත පුද්ගලයා ඔහු නොවේ. ඔහුටත් එහා ගිය සර්වබලධාරී අණ දෙන්නෙක් සිටිනවා. ඔහුගේ ව්‍යාපෘතියක් මේක. මේ ව්‍යාපෘතියෙන් වඩාත් ප්‍රයෝජන ගන්නේ ඒ තීරණ ගන්නා පුද්ගලයායි. මේවායින් පොඩි චූන් එකක් ගන්න පිරිසකුත් ඒ සමාජයේම ඉන්නවා.
මේ වනවිට සිංහල - මුස්ලිම් සමාජ දෙකම බියෙන් සැකෙන් පසුවෙනවා. ඔබ හිතනවාද සංහිඳියාව සඳහා සාහිත්‍යයෙන් යමක් කළ හැකි බව?
සාහිත්‍යයෙන් පමණක් නොවෙයි, අනෙක් සියලු ව්‍යාපෘතිවලින් මේකට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. උදාහරණයක් විදිහට නිශ්ශංක විජේමාන්න කියන ගුරුවරයාගේ කාර්යදාමය වන්නේ නවකතා රචනා කිරීම පමණක් නොවේ. සජීවීව ඒ ක්‍රියාදාමයට දායකත්වය දැක්වීමයි. ගුරු උපදේශකවරයකු වශයෙන් මම මුස්ලිම් පාසල් ද නියාමනය කරනවා. එහිදී ඔවුන් තුළ නිර්මාණශීලීත්වයක් වගා කිරීමට, සංහිඳියාව ඇති කිරීමට මම ප්‍රායෝගිකව උත්සාහ කරනවා. ඒ පාසල්වල ඉගැන්වීමට ගුරුවරු අඩුයි. ඒ නිසා විවිධ මතවාද පහසුවෙන් වැපිරීමට ඉඩ ලැබෙනවා. මගේ නවකතාවෙන් එහා ගිය අතිවිශාල ව්‍යාපෘතියක් මට තිබෙනවා. මේ අභාග්‍යය පැළ නොවී යහපත් දරු පරපුරක් බිහිකිරීමට මම හැකිතරම් උත්සාහ කරනවා. කලාව පමණක් නොවේ, සියලුම සබුද්ධිමත් ජනතාව, ලේඛකයෝ, විචාරකයෝ, ගවේෂකයෝ එකතු විය යුතුයි. ඔව්, ඒක වෙනස් විය යුතුයි. නමුත් වැඩි දෙනෙක් කටින් බතල හිටවනවා පමණයි නේද? කොළඹ අවකාශයේ පත්තරවල, රූපවාහිනීවල දේශනා කරන හැමෝම මහපොළොවට බැහැලා එකිනෙක ජාතීන් අතර අවබෝධය ඇතිකරගන්නා ආකාරය කතාබහට ලක්කළ යුතුයි. තනි තරුව හඳ පලුව පොත දිගඇරගෙන පල්හෑලි කියවමින් ඉඳලා වැඩක් නෑ. සජීවී ක්‍රියාදාමයක් ඇතිකරගත යුතුයි. නමුත් කවුරුවත් ඒක කරන්නෙ නෑ. ජනමනස තුළ චමත්කාරය ඇතිකරන ව්‍යාපෘති ඇතිවිය යුතුයි. පවත්නා වාතාවරණය තුළ ඉතාම අහිංසක මුස්ලිම් තරුණයෙක් මාස දෙකකින් මූලධර්මවාදියෙක් බවට පත්කළ හැකියි. චමත්කාරය, සංහිඳියාව, අනෙකාගේ සහයෝගය ලබාගැනීමේ අවශ්‍යතාව ඔහුට උගන්වා තිබුණා නම් ඔහු ලේසියෙන් එවැනි අන්තවාදීත්වයකට යොමුකර ගැනීම අපහසු වෙනවා.
හඳ පලුව තනි තරුව නවකතාවට එදා මුස්ලිම් සමාජයෙන් ලැබුණු ප්‍රතිචාරය කෙසේද?
ඇත්තටම මට අදහසක් තිබුණා, මේ පොත සිංහලෙන් කියවන මුස්ලිම්වරැන්ට ලබාදීමට. පොත කියවපු මුස්ලිම්වරැ කිහිප දෙනෙක්ම ඉතා සතුටු වුණා. එක් අයෙකුට දැනගැනීමට අවශ්‍ය වුණේ මා කුරානය පිළිබඳ දැනුම ලබාගත්තේ කෙසේද කියලයි. ඔහු කුරානය පිළිබඳ මගෙන් අහන විට මම ඔහුගෙන් බුද්ධාගමේ කරුණු ගැන අහනවා. ඒ විදිහට අනෙකාගේ ආගම ගැන අප තුළ අවබෝධයක් ඇතිවෙනවා. එකිනෙකා ගැන විශ්වාසයක් ඇතිවෙනවා. අන්න ඒකයි අද අවශ්‍ය වන්නේ. බිම් මට්ටමේ ඉඳන් ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් දරැවන්ට සංස්කෘතික අනෙකත්වය කියන එක ඉගැන්විය යුතුයි.
කුසුම්සිරි විජයවර්ධන