2019 මැයි 11 වන සෙනසුරාදා

බෝම්බකාරයන්ට කෝටි ගණන් දුන්නේ කව්ද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 1140

ම්ලේච්ඡ ත්‍රස්තයන්ගේ බිහිසුණු ප්‍රහාරයෙන් පසු ගෙවුණු දෙසතියේ රටම මවිත කරවන සුළු පුවත් රාශියක් වාර්තා විය. ඒ අතරින් ත්‍රස්තයන්ගේ වත්කම් පිළිබඳ කියැවුණු පුවත කාගෙත් අවධානයට යොමු විය. ඒ පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක අවශ්‍යතාව මේ වනවිට මතුව තිබේ. අපගේ මේ වෑයම ඒ වෙනුවෙනි.

ත්‍රස්ත වත්කම් පිළිබඳ පුවත කරළියට පැමිණියේ පසුගිය සඳුදා දිනයේය. ඒ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි. එහිදී අනාවරණය වූ වත්කම් පිළිබඳ කතාව මෙසේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 140කට වැඩි මුදල් ප්‍රමාණයක් ත්‍රස්ත කණ්ඩායම් සතු බව සොයාගෙන ඇත. ඉන් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර ඉතිරි මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කර තිබේ. ඒ අනුව එම ගිණුම් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී. මෙම මුදල්වලට අමතරව රුපියල් බිලියන හතකට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. එම වත්කම් තහනම් කිරීමට අවශ්‍ය විමර්ශන ද සිදුවෙමින් පවතී.”

මෙම හෙළිදරව්වත් සමඟම මෙතරම් විශාල වත්කම් ප්‍රමාණයක් තවුහිද් ජමාත් ත්‍රස්තයෝ සතු වූයේ කෙසේදැයි යන ප්‍රශ්නය බොහෝ දෙනකුට ඇති විය. නමුත් අයි.එස්. ත්‍රස්ත‍යන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණෙන් තවුහිද් ජමාත් ත්‍රස්තයන්ට අයි.එස්. විසින් අරමුදල් සපයන්නට ඇති බවට පැහැදිලි සැකයක් පවතී. ඒ අනුව අප පළමුව  අයි.එස්.අරමුදල් තවුහිද් ජමාත් වෙත පොම්පවීම පිළිබඳ කතාව පහදාගත යුතුය.

සිරියාව හා ඉරාකය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ මුල් අදියරේ දී අරමුදල් රැස් කිරීමට උපක්‍රම කිහිපයක් භාවිත කළහ. ඔවුන් ඉරාක - සිරියා භූමිය යටත් කරගත් පසුව තෙල් සම්පත ධනය උපයන මාර්ගයක් විය. තවද මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, බදු කප්පම් එකතු කිරීම් හා බැංකු කොල්ලකෑම හරහා ඔවුහු සංවිධානයට අවශ්‍ය ධනය උපයා ගත්හ. මේ සියල්ලට අමතරව ලොව වටා සිටින අන්තවාදීහු ඔවුන් හට අරමුදල් සපයති. කෙසේ නමුත් මෑතක සිට ඔවුන් එම ගනුදෙනු සඳහා බහුල වශයෙන් භාවිත කරන්නේ Bitcoin නම් ඩිජිටල් විනිමයයි. විමධ්‍යගත විනිමයක් වන මෙය ඕනෑම අයකුට නිර්නාමිකව භාවිත කළ හැකි නිසාවෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා Bitcoin භාවිත කරනු ලබයි.

අයි.එස්. මූල්‍ය පදනම එසේ වෙද්දී තවුහිද් ජමාත් සංවිධානයේ පසුගිය වසර කිහිපයේ මූල්‍ය භාවිතය පිළිබඳ යම් අවබෝධයක් අප ලබාගත යුතුය. ජාතික තවුහිද් ජමාත් සංවිධානයට පසුගිය කාලයේ විශාල වශයෙන් මුදල් ලැබී තිබේ. එය පැහැදිලි වන්නේ කාන්තන්කුඩිය ජාතික තවුහිද් ජමාත් මූලස්ථානය වසර හතරක් තුළ පැල්පතක සිට මන්දිරයක් දක්වා සංවර්ධනය වන ආකාරයෙනි. ඊට අවශ්‍ය අරමුදල් ඔවුනට දේශීය වශයෙන් ලැබුණේ ද, ජාත්‍යන්තරයෙන් ගලා ආවේ ද යන්න මෙතෙක් හෙළි නොවූ රහසකි. කෙසේ වෙතත් දේශීය වශයෙන් ඔවුන්ගේ ගිණුම් සඳහා මුදල් බැර කර සාමාජිකයන් පිළිබඳ තතු හෙළිවෙමින් පවතී. 

මේ අතර පාස්කු ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ගනුදෙනුවක් IS ත්‍රස්තයන් සිදුකර ඇති බව ඊශ්‍රායලයේ ක්‍රියාත්මක බුද්ධි ආයතනයක් වන Whitestream මගින් අනාවරණය කරගෙන තිබේ.  අයි.එස්. ත්‍රස්ත සංවිධානයට ලැබෙන ආධාර මුදල් Bitcoin වලට හුවමාරු කර ගැනීමට යොදාගන්නා ආයතනයක් වන CoinPayments හි Bitcoin ශේෂය බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල ප්‍රමාණයකින් වැඩි වූ බව එහි දී හෙළි විය. සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් 500,000ක පමණ වටිනාකමින් යුතු Bitcoin ශේෂයක් පවතින මෙහි පසුගිය අප්‍රේල් විසි වැනිදා වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක පමණ වටිනාකමකට Bitcoin ශේෂය පැවතිණ. බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනය වනවිට ශේෂය නැවත අමෙරිකානු ඩොලර් 500,000ක් දක්වා බැස ඇති බවද නිරීක්ෂණය විය.

අයි.එස්. සංවිධානය විසින් පොම්ප කරන ලද මුදල් ලැබුණේ කා හටද? මීළඟට මතුවන්නේ එම ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැත. ඒ සා විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රහාරයට පෙර දිනයේ සංසරණය වීම විශේෂයෙන් අවධානයට යොමුවිය යුතු කරුණකි. දැනට හමුවී ඇති වත්කම් සහ මුදල් අතර අවසාන ගනුදෙනුවට අදාළ මුදල් පවතින බවක් විශ්වාස කිරීමට අපට පදනමක් නැත. මෙම ගනුදෙනු පිටුපස තෙවැනි පාර්ශ්වයක් සිටින බවට මෙම මූල්‍ය ගනුදෙනු සමාලෝචනය කරන විට අප හට සාධාරණ සැකයක් මතු වේ.

අප ඉහත දැක්වූයේ දැනට පාස්කු ප්‍රහාරයේ මූල්‍ය පසුබිම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හෙළිකරන තොරතුරුය. කෙසේ වෙතත් මෙරට දී ත්‍රස්තයන්ගේ මූල්‍ය පදනම පිළිබඳ හෙළිවී ඇති තොරතුරු වෙත අපි දැන් අවධානය යොමු කරමු. 
දැනට ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන ඇත. එම ගිණුම්වල බැංකු කටයුතු තහනම් කර තිබේ. ත්‍රස්තවාදය සම්බන්ධ දැනට සොයාගෙන තිබෙන සියලු පුද්ගලයන්ගේ නිවාස, දේපොළ, වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී ත්‍රස්තවාදී කටයුතුවලට සුළු වශයෙන් උපකාර කළ පිරිස් සඳහා රුපියල් ලක්ෂ විස්ස බැගින් ලබා දී ඇති බව හෙළි වී තිබේ. එලෙස ලබාදුන් මුදල් මිලියන 18ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබීය. ඊට අමතරව ත්‍රස්ත සැකකරුවන්ගේ නිවෙස්වල, ප්‍රහාරකයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ගිණුම්වල තිබී සෙසු මුදල් සොයාගෙන තිබේ. මෙහි සමස්ත වටිනාකම ආරම්භයේ දී  දැක්වූ පරිදි මිලියන 140 ඉක්මවයි.

මුදල්වලට අමතරව ත්‍රස්ත වත්කම් පිළිබඳ සැලකීමේ දී රජය දැනට අත්පත් කරගෙන ඇති රථවාහන, නිවාස, ඉඩම් සහ ගොඩනැගිලි රැසකි. ඒ අතර මෝටර් රථ පහළොවක්, යතුරුපැදි හතරක් අත්අඩංගුවට ගෙන ඇත. ෂැංග්‍රීලා හෝටලයේ බෝම්බකරු වන මොහොමඩ් ඉම්සාම්ට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාව ද, දෙමටගොඩ පිහිටි සුවිසල් නිවස ද මේ අතර වෙයි. පුහුණු කටයුතු සහ තවත් විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිත කළ ඉඩම් හා නිවාස කිහිපයක් ද මීට ඇතුළත් වේ. කෙසේ නමුත් අප මේ  සටහන තබන මොහොත වනවිටත් රජය මගින් මේ සම්බන්ධයෙන් නිසි ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර නොමැත. පසුගිය අඟහරුවාදා දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධ යම් ප්‍රකාශයක් සිදුකළ අතර නිල වශයෙන් දැක්විය හැක්කේ එහි සඳහන් තොරතුරු පමණි.

තවුහිද් ජමාත් සංවිධානය සතුව මූල්‍ය පාලකයන් සිටි බවද අනාවරණය වී ඇත. ඔවුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිති. දේශීය වශයෙන් සංවිධානයේ අරමුදල් තර කිරීමට සාමාජිකයන් ලබාදුන් මුදල් සම්බන්ධ කරැණු හෙළිවන්නේ ඒ අනුවය. ලදුපත් සහ තවත් ලිපිගොනු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. අයි.එස්.අයි.එස්. අරමුදල් කෙසේ වෙතත් දේශීය ත්‍රස්ත මූල්‍ය අරමුදල් හරහා අවබෝධ වන නීරස සත්‍යයක් තිබේ. එය නම් මෙම අන්තවාදී මත අනුමත කරන සැලකිය යුතු පිරිසක් නිරුපද්‍රිතව මේ වනවිටත් මෙරට සිටින බවයි.

මේ වනවිට සිදුවන ත්‍රස්ත මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු බැංකු හා මූල්‍ය ආයතනවලට රහස් ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි. එයට අනුව මෙම ත්‍රස්ත කටයුතු සඳහා සම්බන්ධ පුද්ගලයන්ගේ සියලු මූල්‍ය කටයුතු අධීක්ෂණය කරනු ඇත. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කියැවේ. මෙය වඩාත් පුළුල් ලෙස විධිමත්ව සිදුවේ නම් ක්‍රියාත්මක වන විමර්ශනවලදී විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට මෙරට බුද්ධි අංශවලට හැකිවනු ඇත. මන්ද, ඕනෑම ත්‍රස්ත සංවිධානයක පැවැත්ම සාධනයට මතවාදයට සමානවම මූල්‍ය හැකියාව බලපෑම් කිරීම හේතුවෙනි.

මීට කලකට ඉහත දී මෙවන් වූ ත්‍රස්ත මූල්‍ය ජාලයක් සමඟ ගැටුමකට මෙරට බුද්ධි අංශ පැටළුණු බව අපට මතක ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියුම් මූල්‍ය ජාලය යම් පමණකට හෝ අඩපණ කිරීමට ඔවුනට හැකි විය. භූමියේ යුද්ධය ජයගත් ඩයස්පෝරාව හරහා බෙදුම්වාදී මූල්‍ය ගනුදෙනු සිදුවන බව අපට පෙනෙන්නට තිබේ. එම නිසාම බෙදුම්වාදී ත්‍රස්තවාදයක් අවස්ථාව ලද සැණෙකින් මෙරට තුළ හිස එසවිය හැකි බව කිව යුතුය. එම නිසාම අයි.එස්.අයි.එස්. මූල්‍ය ජාලය මෙරට දළුලා වැඩෙන්නට ඉඩ ලබාදීමෙන් සිදුවිය හැකි විපත අවබෝධ කොටගත යුතුය. තුර්කිය, ලෙබනය වැනි රටවල බැංකු හරහා ද කූඨ ලෙස අයි.එස්.අයි.එස්. මූල්‍ය ගලා යන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. ඒවාද අප බලධාරීන් සිහි කටයුතුය. 

ඉතින් අවසානයේ දී කීමට ඇත්තේ මේ ලෝකයේ සියල්ල මුදල් මත තීරණය වන යුගය බවයි. එම නිසා ත්‍රස්තවාදයේ ඉරණම ඒ මතින් තීරණය කිරීමට අපට හැකිය.

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00