2019 මැයි 11 වන සෙනසුරාදා

ඩොලර් බිලියන 10 පැන්නූ අපේ වෙළෙඳ හිඟය

2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:3086

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගියදා නිකුත් කෙරුණු 2018 වසර පිළිබඳ වූ වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් අංශවල සිදුවූ වර්ධනයන් මෙන්ම එයට සාපේක්ෂව ඇතිවූ පසුගාමී තත්ත්වයන් පිළිබඳ විවරණයක් ඉදිරිපත් කර ඇත. එහිදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ 2018 ගෝලීය ආර්ථිකයේ සිදුවූ බිඳවැටීම් සහ අවිනිශ්චිතතා අපේ ආර්ථිකයට එකසේ බලපෑ බවයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය මත හැඩගැසෙන්නට සිදුවීම අරුමයක් නොවන අතර එහි ඍන ප්‍රතිඵලවලට කොටස්කරුවන් වීමට සිදුවීමද වැළැක්විය නොහැකි වෙයි.

එම තත්ත්වය 2018 වාර්ෂික වාර්තාවේ මෙලෙස දක්වා ඇත.

ගෝලීය හා දේශීය සාධක හේතුවෙන් ආර්ථිකයේ විදේශීය අංශය වසර පුරා විවිධ විචලනයන්ට භාජනය විය. ගෝලීය වශයෙන් විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්තිය ඉතා පහළ ප්‍රතිපත්ති පොලී අනුපාත මට්ටමක සිට සාමාන්‍යකරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළ තත්ත්වයන් දැඩි වූ අතර, එමගින් නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් වෙතින් ප්‍රාග්ධන ගලා යෑම සිදුවූ අතර විශේෂයෙන්ම ද්විත්ව හිඟයක්, එනම් අයවැය හිඟය හා විදේශීය අංශයේ ජංගම ගිණුමේ හිඟය සහිත ආර්ථිකයන්හි විනිමය අනුපාතික මත ඉහළ පීඩනයක් ඇති කළේය.

මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවටද විශේෂයෙන්ම 2018 අප්‍රේල් මස මැදභාගයේ සිට මෙම අභියෝගවලට මුහුණදීමට සිදුවූ බවයි. එසේම වසරේ හතරවැනි කාර්තුවේ මුහුණදීමට සිදුවූ රටේ දේශපාලන අවිනිශ්චිතතාව මෙම තත්ත්වය තීව්‍ර කිරීමට හේතු වී ඇත. එසේම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් අගයන් පහළ යෑමද තත්ත්වය තවදුරටත් අවිනිශ්චිතවීමට හේතු වී තිබේ.

අපනයන වර්ධන වේගයට වඩා ආනයන වර්ධන වේගය ඉහළ යාම නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වයට හේතුවූ වෙනත් කරුණු ලෙස මහ බැංකුව දක්වා ඇත්තේ අපේ සේවා අපනයන සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද වෙළෙඳ හිඟය (ආනයන-අපනයන අතර වෙනස) වැඩිවීම, විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රටට ලැබෙන විදේශ මුදල් පහළයාම, විදේශ ණයවලට පොලී ගෙවීමට සිදුවීමයි. මේ නිසා ජංගම ගිණුමේ හිඟය හෙවත් වෙනස දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 දක්වා පුළුල් වූ බව මහ බැංකුව අවධාරණය කර සිටී.

2018 වසරේදී මෙතෙක් වාර්තා වූ ඉහළම විදේශීය ඍජු ආයෝජන මට්ටම මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හරහා විදේශ ණය ගැනීම් ඉහළයාමද මූල්‍ය ගිණුමේ ශේෂයට හේතු වී ඇත. මෙහි සමස්ත ප්‍රතිඵලය වී ඇත්තේ ගෙවුම් තුළනයේ ශේෂය හිඟයක් ලෙස වාර්තා වී තිබීමයි.

එසේම මෙම තත්ත්වයට තවත් ප්‍රබල හේතුවක් වූ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම යම් අවස්ථාවල පාලනය කිරීමට මහබැංකුවට මැදිහත්වීමට සිදුවීම පිළිබඳ මහ බැංකු වාර්තාව මෙලෙස කියයි.

“2018 වසරේදී ශ්‍රී ලංකා මහබැංකුව අනුගමනය කළ වෙළෙඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මධ්‍යයේ රුපියල තියුණු ලෙස අවප්‍රමාණ වූ නමුත්, විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධන ගලායාමක් සිදුවන අවස්ථාවලදී සහ අනිසි සම්ප්‍රේෂණ කටයුතු හේතුවෙන් වෙළෙඳපොළේ අධික උච්ඡාවචන ඇතිවන අවස්ථාවලදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මැදිහත් විය.”

වෙළෙඳ හිඟය වැඩිවීම මර්දනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීම, ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම, තෝරාගත් ණය වර්ග කිහිපයකට ණය අනුපාතික දැඩි කිරීම මෙන්ම සහනදායී බලපත්‍ර මත වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමටද රජය ටසිදුව ඇති බව මහ බැංකුව කියයි.

මේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙස 2018 අවසානයේදී සහ 2019 වසර ආරම්භයේදී ගෙවුම් තුලනය හා විනිමය අනුපාතිකය මත ඇතිවූ පීඩනය අවම කර ගැනීමට හැකිවී තිබේ. මේ අනුව 2019 වසරේ මුල් කාර්තුවේදී අපේ රුපියල ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණ වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහා දැක්මෙන් යුතු මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ දේශීය සැපයුම් ඉහළයාම නිසා මෙන්ම ඉල්ලුම අඩුවීම නිසා රැපියලේ සිදුවූ අධික අවප්‍රමාණය හා ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම නිසා වසර තුළදී මූලික උද්ධමනය තනි අගයක තබා ගැනීමට හැකිව තිබේ. මෙහිදී වසර තුළ ඇතිවූ හිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් ආහාර මිල අඩුවීම හේතුවෙන් මතුපිට උද්ධමනයේ උච්ඡාවචනයන් පාලනය කරගෙන ඇත.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නම්‍යශීලී උද්ධමන ප්‍රතිපත්තිය තුළ මැදිකාලීන උද්ධමනය තනි අගයක පවත්වාගැනීමට හැකි වූ බව මහ බැංකුව කියා සිටී.

වසර තුළ ප්‍රාග්ධන වියදම්වල නිරතුරුව සිදුවූ පහළයාම හේතුවෙන් අයවැය හිඟය තුළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2017 දී සියයට 5.5 වූ අතර එය 2018 දී සියයට 5.3 දක්වා සියයට 0.2කින් අඩුකරගත හැකිව තිබේ. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනුයේ 2018 අපේක්ෂා කළ ඉලක්කය වූ සියයට 4.8 මට්ටමට ළඟාකර ගැනීමට අපොහොසත් වූ බවයි. එසේම තත්ත්වය තවත් අහිතකර වූයේ 2017 වසර අවසානයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 76.9ක් වූ නොපියවූ ණය ප්‍රමාණය 2018 අවසානය වනවිට සියයට 82.9 දක්වා ඉහළ යාම හේතුවෙනි. මෙයට හේතුවූයේ රුපියල අවප්‍රමාණ වීම සහ ශුද්ධ ණය ගැනීම් ඉහළ යාමයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දළ දේශීය නිෂ්පාදිතයේ තාවකාලික ඇස්තමේන්තු අනුව රටේ ආර්ථිකය මූර්ත වශයෙන් 2017 දී වාර්තා කළ සියයට 3.4ක වර්ධනයට සාපේක්ෂව 2018 දී සියයට 3.2 දක්වා පහළ බැස තිබෙන බව මහ බැංකුව වාර්තා කරයි. එසේ වුවද 2018 වසරේදී කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.8කින් වර්ධනය වී තිබේ. එයට හේතුව වී ඇත්තේ වී වගාව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම මෙන්ම අනෙකුත් ධාන්‍ය හා එළවළු වගාවද වර්ධනය වීමයි. නියඟය හේතුවෙන් වර්ධනය අඩාල වූ 2017 වසර හා සලකා බලනවිට 2018 දී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

2018 වසර තුළදී වී, පොල්, පළතුරු, පශු සම්පත් එළවළු හා වෙනත් භෝග රැසක නිෂ්පාදනය වැඩි වී තිබේ. එසේ වුවද තේ, රබර්, ධීවර හා සීනි නිෂ්පාදනය පහළ ගොස් ඇත. එහෙත් ඒ සියල්ල යටපත් කරගෙන 2018 දී වී නිෂ්පාදනය 2017ට සාපේක්ෂව සියයට 64.9ක් දක්වා වර්ධනය විය. එය වාර්තා කළ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.9කි. හිතකර කාලගුණික තත්ත්වය සහ වී වගාවට ප්‍රමාණවත් පරිදි ජලය ලැබීම නිසා කන්න දෙකේම වී නිපැයුම සැලකිව යුතු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසරේ සහල් ආනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 66.7කින් විශාල ලෙස පහළ වැටී ඇත.

එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2018 වසර තුළ ප්‍රධාන සහල් වර්ගවල මිලේ අඩුවීමක් දක්නට නොහැකි වූ බවකි. එයට හේතු දක්වා නොමැත. 2018 වසරේදී තේ මිල ගණන්ද පහළ බැස්ස අතර, විශේෂයෙන් වසරේ දෙවැනි කාර්තුවේදී අයහපත් කාලගුණික තත්ත්වය සහ වතු අංශයේ වැටුප් පිළිබඳ සිදුවූ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හේතුවෙන් තේ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇත. එසේම දිගටම පැවැති වර්ෂාව සහ නිෂ්පාදන පිරිවැය ඉහළයාම නිසා වසර තුළ රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබේ. එහෙත් ප්‍රමාණවත් ලෙස වර්ෂාව ලැබීම හේතුවෙන් පොල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇත. අවුරුද්දේ අවසන් කාලයේදී රටේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ “සේනා දළඹු” උවදුර නිසා බඩඉරිඟු හා කුරක්කන් නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී තිබිණි. වසරේදී එළවළු, පළතුරු සහ කිරි නිෂ්පාදනය ඉහළ ගියද, සීනි නිෂ්පාදනය අඛණ්ඩව දෙවැනි වසරටත් පහළ ගොස් තිබේ. 2018 වසරේ බිත්තර නිෂ්පාදනය පහළ ගිය නමුත් මස් නිෂ්පාදනයේ මඳ වර්ධනයක් ඇතිව තිබේ.

2018 තුළදී කර්මාන්ත අංශයේ විශාල පසුගාමීත්වයක් පෙන්නුම් කළ බව මහ බැංකුව කියයි. 2017 වසරේදී සියයට 4.1කින් වර්ධනය වූ කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ක්‍රියාකාරකම් 2018 දී සියයට 0.9 දක්වා විශාල ලෙස පහළ ගොස් තිබීම පිළිබඳවද මහ බැංකු වාර්තාව කියයි. කාර්මික නිෂ්පාදන දර්ශකයේ තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් දායකත්වය දරන ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන අංශය 2017 වසරේදී සියයට 3.3ක වර්ධනයක් පෙන්නුම් කළද 2018 දී සියයට 1.0ක සුළු වර්ධනයක් වාර්තා කර තිබේ. 2017 දී සියයට 11.7ක අඩුවක් පෙන්නුම් කළ බීම වර්ග නිෂ්පාදනය 2018 දී සියයට 9.1ක වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සැර සහ මෘදු බීර සඳහා වූ බදු පහළ දැමීම මෙයට හේතුව බවයි.

කාර්මික නිෂ්පාදන දර්ශකයේ දෙවැනි අංශය වන ඇඟලුම් කර්මාන්තය 2017 සියයට 4.7ක වර්ධනයක් පෙන්නුම් කළද, 2018 දී පෙන්වා ඇත්තේ 3.9ක අඩු වර්ධනයක් පමණි. ජී.එස්.පී. + සහනය නැවත රටට ලැබීම නිසා රෙදි පිළි නිෂ්පාදන අංශය පෙර වසරේ වර්ධනය වූ සියයට 2.3ට සාපේක්ෂව 2018 දී 3.6ක ඉහළ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. 2018 වසරේදී නිෂ්පාදන කර්මාන්ත අංශයේ ප්‍රගතිය වෙනුවෙන් සියයට 78කට ආසන්න දායකත්වයක් ඇඟලුම් නිෂ්පාදනය සහ රෙදිපිළි නිෂ්පාදනය යන දෙඅංශයෙන් ලැබුණු බව මහබැංකුව ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළ රටේ සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාමට දැරූ ප්‍රයත්න මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම නිසා රටේ ආර්ථිකය මන්දගාමී වර්ධනයකට පත්ව ඇති බව පවසන මහ බැංකුව, දශකයකට පෙර මැදි ආදායම් ලබන රටක මට්ටමට පත්වූ ශ්‍රී ලංකාව “මැදි ආදායම් උගුල” යන තත්ත්වයෙන් මිදී ඉහළ මට්මකට නංවාලීම සඳහා දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි. මෙවැනි ප්‍රතිසංස්කරණයද ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සමාන ආර්ථිකයක් පවතින රටවල් සීඝ්‍ර ප්‍රතිඵලයක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව අපනයන ප්‍රවර්ධනය, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය, අයවැය හිඟය හා ණය අඩුකර ගැනීමට කටයුතු කිරීම මෙන්ම රටේ රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සහ නීතිය හා සාමය නිසි පරිදි පවත්වා ගැනීම සහතික කිරීම යන අංශවල වර්ධනය කෙරෙහි පවතින බාධා ඉවත් කිරීමට යුහුසුළුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

යසවර්ධන රුද්රිගු