සිදුහත් කුමරුන්ගේ උපන් දිනය නොයෙක් මතභේදයන්ට තුඩු දී ඇති කාරණයකි. මහා වංශයේ සහ දීපවංශයේ සඳහන්ව ඇත්තේ සිදුහත් උපත ක්‍රි.පූ. 623 වෙසක් පොහෝ දින සිදුවූ බවයි. එහෙත් පූජ්‍ය අකුරටියේ අමරවංශ නා හිමියන් හා එච්.ඩබ්ලිව්. දිසානායක වියතාණන් පෙන්වා දෙන්නේ කුමරැගේ ඉපදුම ක්‍රි.පූ. 483 වියහැකි බවයි. කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සංග්‍රහයේ රාජ නාමාවලිය සකසා ඇත්තේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑම ක්‍රි.පූ. 483 ලෙස සලකාගෙනය. ඒ අනුව සිදුහත් උපත ක්‍රි.පු. 563වේ. වර්තමානයේ සිදුහත් කුමරු උපන් ස්ථානය පිළිබඳවත් නොයෙක් මත ඉදිරිපත් වී ඇත. ඉන්දියාවේ විසු ජොතිර්වේදියෙකු වන B.V. Raman මහතා සිදුහත් කුමරැ ක්‍රි.පු. 623 නේපාලයේ ලුම්බිණියේදී කටක ලග්නයෙන් උපන් බවට Notable Horoscopes නැමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
කාලයක සිට මා කළ පර්යේෂණවලට අනුව සිදුහත් කුමරැගේ උපන් දිනය, වේලාව හා උපන් ස්ථානය පිළිබඳ බොහෝ වෙහෙසක් දරමින් කිසියම් වූ ස්ථිර නිගමනයකට පැමිණීමට හැකි වූවාදෝයි හැඟුණ නිසා ඒ පිළිබඳ විස්තරයක් මෙසේ සටහන් තබමි. සිදුහත් කුමරු ඉපදුණු දිනය සොයාගැනීම පිළිබඳ බොහෝ දෙනකුට යම් යම් ගැටලු මතුවූවා නම් ඒ මහා රහතන් වහන්සේලා බිහිකරන්ට, උන් වහන්සේලාගේ උත්පත්ති බොහෝමයක් ආසන්න වසරවල සිදුවන්නට සුදුසු ග්‍රහ චාරයන් තිබූ නිසා බවට නිගමනය කළ හැකිය. බලංගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර ඇති කුමරුගේ උපත හැටියට සඳහන් වන්නේ ක්‍රි.පු. 620 වසරයි. මෙහි මා දකින විශ්මය දනවන කාරණය නම් පරිගණක තාක්ෂණය නොමැති කාලයක දී ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ සිදුහත් උපත පිළිබඳ නිගමනයකට එලඹියේ කෙසේ දැයි හිතාගන්නටවත් බැරිය යන්නයි. ක්‍රි.පු. 0 සැලකිල්ලට ගැනීමේදී සිදුහත් උපත සිදුවූයේ ක්‍රි.පු. 619 දී වෙයි. ක්‍රි.පු. 0 නොසලකා ගණනය කිරීමෙන් මේ දිනය 620 වේ. උන්වහන්සේ ඉදිරිපත් කර ඇති කේන්දර සටහනේ ලග්නය, ලග්න ස්පූඨය හා සිදුහත් කුමරු උපන් වේලාවත් එහි ග්‍රහයින්ගේ පිහිටීමත් ඉතාමත් නිවැරදි බවට තහවුරු කළහැකිය. ප්ගනාත්හෝරා මෘදුකාංගයට අනුව ක්‍රි.පු. 619 අප්‍රේල් 4 වෙසක් පොහෝ දින පෙ.ව. 11.20 නේපාලයේ ලුම්බිණි හීදී උපන්දින්නට ඇති බවට සාක්ෂි එමටය.
මෙහිදී විශේෂ කරැණක් ඇත. මාගේ පර්යේෂණයේ අවසන් නිගමනයකට පැමිණෙන මොහොතේවත් ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ හඳුන්වා දී තිබූ සිදුහත් කුමරැගේ කේන්දර සටහන මා නොදැන සිටීමයි. ක්‍රි.පු. 618 හරියටම දවල් 12ට සිදුහත් කුමරැගේ යැයි සිතිය හැකි කේන්දර සටහනක් ද පර්යේෂණ සඳහා යොදාගතිමි. මෙම වේලාවන් ගැඹුරින් විශ්ලේෂනය කර අවසන් නිගමනයට පැමිණි අවස්ථාවේදී සංජීව මහේෂ් වීරරත්න නම් ජෝතිර්වේදියාගෙන් ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබූ දල කේන්දර සටහන මා අතට පත්වීම හා මා අනුමාන කළ වේලාවන් උන්වහන්සේ සනාථ කර තිබූ වේලාවන් එකම වීම නිසා මා විශ්මයට ද පත්විය. එහෙයින් මා කළ ජෝතිර් විද්‍යාත්මක පර්යේෂණයේ සිදුහත් කුමරැගේ ඡන්ම පත්‍රයේ හෙවත් ආනන්ද මෛත්‍රීය ස්වාමීන් සඳහන් කර තිබූ සටහනෙහි කෙටි විස්තරයක් මෙහි තබමු.
සිදුහත් චරිතයේ වැදගත් සන්ධිස්ථානයන් කිහිපයකි. ඒ ඉපදී දින 7කින් මව අභාවප්‍රාප්ත වීම, දක්ෂ ලෙස අධ්‍යාපනයේ නියැලීම, වයස 16දී විවාහ වීම, විවාහ වී වසර 13කට පසු දරැවකු බිහි කිරීම, ගිහිගෙය අතහැර යාම, දුෂ්කරක්‍රියා කිරීම හා බුදුවීම යන කරැණු සැලකිල්ලට ගෙන කළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි මේ.
ක්‍රි.පු. 619 අප්‍රේල් 04 වෙසක් පුන් පොහෝ බුධ දින දහවල් 11.20ට නේපාලයේ ලුම්බිණියේදී උපත සිදුවිය.
විසා නැකතින් උපන් සිදුහත් කුමරැ ගුරැගේ මහ දශාවෙන් හා සිකුරැගේ අන්තර් දශාවෙන් උපන් නිසා ඉපදී වසර 9ක් පමණ ගුරැ මහ දශාව පැවතුණි. ගුරැ සහ සිකුරැ ඉතාමත් බලවත්ව ත්‍රිකෝණගතව පිහිටීම හා ගුරැ හා සිකුරැගේ දශාවන් වීම මහා බලවත් උපතක් බව පිළිගත හැක. නමුත් ලග්න ස්පූඨයන් රවි හා සඳුගේ ස්පූඨයන් අශ්ටාමිම්ෂ දෝෂයන්ට ලක්ව තිබීම රටක රජ කෙනෙකුට දාව උපන් කුමරෙකුට පිහිටා තිබීම එක්තරා විදියක මහා ආශ්චාර්යයකි.
කේන්දරයක 4 වැන්නත් සඳු හා සිකුරැ ග්‍රහයින් දෙදෙනාත් ඡන්මියාගේ මව ගැන කියැවෙන අතර සිකුරැගෙන් 8 වැන්නේ සඳු දුර්වලව 4 වැන්නේ සඳුගේම ස්පූඨයේ තැන්තපත් වී සිටීම තම මවට අහිතකර තත්ත්වයක් ඇති කරන්නට සමත් ග්‍රහ පිහිටීමකි.
සාමාන්‍යයෙන් රවි ග්‍රහයාගේ ස්පූටයත් සඳු ග්‍රහයාගේ ස්පූටයත් අතර ඇති දුරෙහි මධ්‍ය ලක්ෂ්‍යය හරහා ග්‍රහයින් පිහිටීමත් ග්‍රහයින් ගෝචරය කිරිමේදීත් ඡන්මීන්ට විශේෂ සිදුවීම් වන අවස්ථාවේ. එවැනි ස්ථාන දෙකක් කේන්දර සටහනක තිබේ. එනම් සඳු සහ රවි අතරේ කෙටි දුරෙහි මධ්‍ය ස්පූටයත් එම ග්‍රහයින් දෙදෙනා අතර ඇති දිග දුරෙහි මධ්‍ය ස්පූටයන්ය. ඡන්මියාට යම් යහපතක් හෝ අහිතකර බවක් වැඩිපුර ගෙන දෙන්නේ රවි හා සඳු අතරේ ඇති කෙටි දුරෙහි මධ්‍ය ස්පූටයේය.
කුමරැගේ කේන්දර සටහනෙහි රවි සහ සඳු අතරෙහි කෙටිදුර ලෙසට ගනු ලබන්නේ 7 වැන්න වූ මකර රාශියේ 25 වන අංශකයේ බැවින් කේතු සමඟ සංයෝග වූ අෂ්ටාමාම්ෂ දෝෂයට ලක්වූ තම මවට අහිතකර බලපෑමක් කරන්නට සමත් පාපී සඳු ග්‍රහයා මකර රාශියේ අංශක 25 තරණය කළේ කුමරු ඉපදී දින 7කදී හෙවත් අප්‍රේල් 11 වෙනිදා හිරැබැස යන සවස් යාමයේදීය. එහිදී කුමරුගේ මව ජීවිතයෙන් සමු ගත්තාය.
රවි සහ සඳු අතර ඇති දුර ප්‍රමාණයෙහි මධ්‍ය ලක්ෂයන්ගේ අනිත් ලක්ෂ්‍යය පිහිටා තිබෙන්නේ ලග්නය වූ කටකයේ 25 වන අංශකය වන අතර මෙහි තවත් විශේෂත්වයක් නම් ලග්න ස්ටූටය ද මෙම අංශකයම අයත් වීමයි. ලග්ක රාශියේ හා 12 වෙනි භාවයේ ගුරැ ග්‍රහයා අංශය 0 වේ සිට හරියටම අංශක 25 හරහා තරනය කරන්නේ එම වසරේ අගෝස්තු 01 වප් පුර පසළොස්වක පොහෝ දිනයේදීය. කුමරැට වයස මාස 5වූ දා මහා ආශ්චාර්යයක් සිදුවුණු දිනයක් හැටියට හඳුනාගත හැකිය. ඒ එදින කටකයේ 25 අංශකයේ ගුරැ ග්‍රහයා ගමන් කිරීම නිසයි.
කුමරැගේ වයස 9 සම්පූර්ණ වූ පසු ලැබූ සෙනසුරු මහ දශාව වයස 28 දක්වා පැවතිණ. සෙනසුරැ ග්‍රහයා 11 වැන්නේ තැන්පත්ව ඇති අතර නවාංශකයේ තුලා රාශියේය. තුලා රාශිය යනු ලග්න කේන්දරයේ 4 වැන්න බැවින් සෙනසුරැ ග්‍රහයා සුඛාම්ෂ යුක්තය. එහෙයින් සැපවත් ජීවතයක් ඇතිකරන්නට සෙනසුරු ග්‍රහයා ක්‍රියාකරන අතර දක්ෂ ලෙස ඉගෙනීමක්ද ඇතිකරන ග්‍රහපිහිටීමකි. ඉගෙනුම ලබා දෙන 5 වැන්නේ බලවත්ව කුජ තැන්පත්ව ඇති අතර එම කුජගේ නැකතේ සෙනසුරැ තැන්පත් වී සිටීම සියලු ශිල්ප ඉගෙනුම ලබාදෙන පිහිටීමක් වේ.
විවාහය ගැන නිරීක්ෂණය කිරීමේදී කේන්දරයේ වැදගත්ම ස්ථානය වන්නේ 7 වැන්නයි. 7 වැන්න මකර රාශිය නිසා එහි අධිපති සෙනසුරැ විවාහය කෙරෙහි බලපායි. එහෙයින් සෙනසුරැ මහ දශාවේදී විවාහය සිදුවී ඇත. සිදුහත් කුමරැගේ විවාහය වයස 16දී සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ. කේන්දරයේ 7 වැන්න අධිපති ග්‍රහයා තැන්පත් වී ඇති නවාංශක රාශියේ ගුරු ග්‍රහයා ගෝචරය වන දිනවල හෝ 7 වැන්න අධිපති ත්‍රිකෝණයට ගෝචරය කරන අවස්ථාවේ ඡන්මියාගේ විවාහය ඇතිවීමට අවස්ථාවක් උදාවීම සම්මත සිද්ධාන්තයකි. ගුරැ ග්‍රහයා රාශියක ගමන් කරන්නේ එක් වසරක් පමණි. එම සිද්ධාන්තයට අනුව පෙනෙන්නේ කුමරැගේ වයස 16දී එය පැහැදිලිව දක්නට හැකි බවයි.
සිදුහත් කුමරැගේ 15 වන වසර අවසන් වන දින වර්ෂපල් ජෝතිෂයට අනුව ක්‍රි.පු. 604 අප්‍රේල් 4 වෙනිදා පෙ.ව. 7.41ට උදා විය. මෙහි වර්ෂාධිපති සිකුරැ වන අතර විවාහ සහමය අංශක 28ක සිටිමින් විවාහක ස්ථානයේ තැන්පත්ව ඇති අතර ස්ත්‍රී සහම ස්පූටය සිකුරැ සමඟ සංයෝගව අංශක 28 ලෙසට සිටිමින් විවාහ සහමයට දෘෂ්ටියක් ද දී ඇත. මෙයින් ප්‍රකාශ වන්නේ කුමරුගේ වයස 15 සම්පූර්ණ වූ පසු විවාහ ගිවිස ගන්නා බවයි.
විවාහ සහමයේ සිට 11 වැන්න කන්‍යා වූ බැවින් එහි අධිපති බුධ ග්‍රහයාට විවාහ සහමයේ සිට අංශක 145ක පරතරයක් ඇත. එක් අංශකයක් එක දිනක් ලෙස සැලකීමේ දී ක්‍රි.පු. 604 අප්‍රේල් 4 දිනට 145 එකතු කිරීමෙන් අගෝස්තු 29 දින කුමරැ විවාහ වන ආසන්නම දින හැටියට තාජික ජෝතිෂයට අනුව හඳුනා ගැනීමට හැකිය. එම කාල පරාසය තුළදී සෙනසුරැගේ මහ දශාවත් සිකුරැගේ අතුරු දිශාව තිබීමත් උපන් කේන්දරයේ 7 අධිපති ශනි ග්‍රහයා තුලා නවාංශකයේ සහ ශනි ග්‍රහයා අංශක 13 බැවිනුත් එම කාල පරාසයේ ගෝචර ගුරැ ග්‍රහයා තුලාවේ අංශක 13 ආසන්නයේ ගමන් කිරීමත් යන කරැණු සැලකිල්ලට ගැනවීමේදී මෙම කාලය ඉතාමත් නිවැරදි බව සනාථ වෙයි.
මෙහි සඳහන්ව ඇත්තේ කුමරැගේ වයස 16 සම්පූර්ණ වූ අවස්ථාවේ වර්ෂ උදා කේන්දර සටහනයි.
විවාහ වී වසර 13කට පසු පුත් කුමරෙකු බිහි කළ බවත් ඒ සමඟ ඇසළ පුන් පොහෝ දින ගිහිගෙය හැර ගිය බවත් සඳහන් වේ. මෙම උපන් කේන්දරයට අනුව ඒ ගැන විමසීමේදී කුමරැට වයස 28 සම්පූර්ණ වන වර්ෂ උදා කේන්දරයට අනුව දරු උපත පිළිබඳ අගනා තොරතුරැ රුසක් අනාවරණය වෙයි.
29 වන වර්ෂ උදා මොහොත වන්නේ ක්‍රි.පු. 591 අප්‍රේල් 05 සවස 3.43ය. දරුපල පිළිබඳව බොහෝ කාරණා මෙහි අන්තර් ගතය. පුත්‍ර සහමය අධිපති බුධ හා ප්‍රසූත සහම අධිපති කුජ යන ග්‍රහයින් දෙදෙනා අතර “ඉත්ථශාල යෝගයක්” පැවති අතර දරුවන් සම්බන්ධව කාරක ග්‍රහයා වන ගුරු ග්‍රහයාගෙන් සහම අධිපතියන් දෙදෙනාටම ඉත්ථශාල යෝග ඇතිකර තිබේ. ඉත්ථශාල යෝගයක් යනු අදාළ කාරණය එම වර්ෂය තුළ සිදුවන බව සනාථ කරන යෝගයකි.
ප්‍රසූත සහම ස්පූටය වන මේෂ රාශියේ අංශක 14 සිට සෙනසුරැගේ ස්පූටයට ඇති දුර ප්‍රමාණය අංශක 42කි. අංශක 1ක් දිනයක් ලෙසට ගැනීමේ දී 591.04.05 දිනට 42 එකතු කිරීමෙන් මැයි 17 දිනට ආසන්න දිනයක දරුවා බිහි කරන්නට ඇති බවට සනාථ වේ. ක්‍රි.පු. 591 මැයි 17 රාහුල කුමරු ජනිත වූ අතර මැයි 25 ඇසළ පුර පසළොස්වකදී සිදුහත් කුමරු ගිහිගෙය හැර ගිය බවටද ජෝතිෂ්‍ය අනුව සාක්ෂි තව බොහෝ ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂාචාර්ය
තිලක් ද සිල්වා
මාලබේ