කාන්තාර බඳු වෙරළ තීරය, පාළු වූ අවන්හල්, හිස් වූ හෝටල් කාමර මෙරට සංචාරක කර්මාන්තයේ බිඳවැටීමේ සලකුණුය. පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වනසා දැමුවේ යැයි කීම සාධාරණය. මේ මොහොත වනවිට සංචාරක කර්මාන්තය මතින් යැපුණු ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත වියවුල් වී තිබේ. ජාතික ආර්ථිකයටද නුදුරේදීම මෙම බර ඉසිලීමට නොහැකි වනු ඇත. මෙය වනාහි එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණදුන් දැවැන්තම අර්බුදයයි.
පසුගිය සමයේ ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් වූ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල කාමර හිස් වී තිබේ. පසුගිය සතියේ දැනගන්නට ලැබුණු පරිදි කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක වෙන්කර තිබූ කාමර ගණන 15ටත් වඩා අඩුය. ඒවාගේ ලැගුම් ගෙන සිටින්නේ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු විවිධ කණ්ඩායම්ය. මෙම හෝටල්වල බුෆේ සියල්ල නවතා දමා ඇති බවද වාර්තා වෙයි. මේ අතර කොළඹ ප්‍රමුඛ තරු පන්තියේ හෝටලයක් පුවත්පත් දැන්වීමක් පළ කරමින් සඳහන් කර තිබුණේ ඕනෑම තැනකට පැමිණ කේටරින් පහසුකම් ලබාදීමට තම සේවක පිරිස සූදානමින් සිටින බවයි.
කොළඹ නගරයේ තත්ත්වය එසේ වනවිට දිවයිනේ සෙසු සංචාරක කලාපවල තත්ත්වය තවත් භයානකය. බොහෝ විශාල හෝටල්වල කාමර එකක හෝ දෙකක පමණක් සංචාරකයෝ ලැගුම් ගෙන සිටිති. සේවකයන්ගෙන් අඩක් පමණ නිවාඩු යවා ඇත. බොහෝ හෝටල් තමන්ගේ වියදම පිරිමසා ගැනීමේ අරමුණින් 50% දක්වා විශාල වට්ටම් ලබාදීමට ද කටයුතු කර තිබේ. මේ මාසය අවසානය වනවිට විදුලි බිල පවා ගෙවාගැනීමට නොහැකි වනු ඇති බව කුඩා සහ මධ්‍ය පරිමාණ සංචාරක වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති. මංගල උත්සව පවා පැවැත්වෙන්නේ සුළු පරිමාණයෙනි.
මේ අතර මෙරට සංචාරකයන් ගෙන්වන ආයතන විශාල අර්බුදයකට මුහුණ දී සිටී. සංචාරකයෝ මෙරටට පැමිණීමට පෙර අදාළ ආයතනවලට, හෝටල්වලට අත්තිකාරමක් ලෙස ගෙවීම් කරති. සාමාන්‍ය ක්‍රමය අනුව අවලංගු කිරීමක දී මුදල ආපසු ගෙවන්නේ නැත. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුවන අවලංගු කිරීම්වලදී ආපසු ගෙවීම් සිදුකිරීමට අදාළ ආයතන සාමූහික තීරණයකට එළැඹ තිබේ. එය රාජ්‍ය මැදිහත් වීමකින් තොරව මෙරට සංචාරක කර්මාන්තයේ අනාගතය ගැන සිතා ඔවුන් ගත් තීරණයකි. කෙසේවෙතත් ඊළඟ වසරේ තමාගේ සංචාරක ගමනාන්තය කුමක්දැයි බොහෝ යුරෝපීය සංචාරකයන් තීරණය කරන්නේ මේ වසරේ මෙම කාලය තුළදීය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති අනතුරු නිවේදනය හේතුවෙන් බොහෝ සංචාරකයන් ලබන වසර වෙනුවෙන් විකල්ප ගමනාන්තයක් සොයමින් පසුවන බව දැනගන්නට ඇත. ඒ හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරි වසර ද විශාල අවදානමකට ලක්ව තිබේ.
ජාතික සංචාරක මගපෙන්වන්නන්ගේ සිට වෙරළ සංචාරක නියාමකයන්, වෙළෙඳුන් දක්වා විශාල පිරිසක් මෙම අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටිති. කිසිදු ආර්ථික රැකවරණයක් නොමැති මෙම පිරිස් ප්‍රබල ජීවන අර්බුදයකට මුහුණ දී සිටිති. සංචාරක ප්‍රවාහන සේවාව ද දැවැන්ත වශයෙන් අඩාලව ඇති අතර සුඛෝපභෝගී බස් රියේ සිට ත්‍රීරෝද රථය දක්වා රථවාහන හිමියෝ, රියැදුරෝ ආදායම් අහිමි වීමෙන් අපහසුතාවට පත්ව සිටිති. ඉදිරියේ දී තම වාහනවල වාරික ගෙවීමට තබා දෛනික වේල පිරිමසා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බව ඔවුහු පවසති. තවද බොහෝ හෝටල් තම සැපයුම් සීමාකර ඇති අතර එම නිසා සැපයුම්කරුවෝ ද විශාල වශයෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.
පසුගිය වසරේ ලංකාවට සංචාරකයන් ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බවත් මෙම වසරේ අපේක්ෂාව ලක්ෂ 26ක්ව තිබූ බවත් සඳහන් වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. එය සංචාරකයන්ගේ පැමිණීමේ 10.3%ක වර්ධනයක් බව මහ බැංකුව දක්වා තිබුණි. කෙසේවෙතත් කර්මාන්තයේ නියුතු හෝටල්කරුවන් පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර පරයමින් 2019 වර්ෂය ආරම්භයේ දී මෙරට තුළ සංචාරක ආකර්ශනයේ සුභ ලකුණු පහළ වී තිබුණි.
සංචාරය කිරීමට හොඳම රටවල් සහ කලාප වාර්ෂිකව නම් කරනු ලබන (ලෝන්ලි ප්ලැනට්) නම් සංචාරක මාර්ගෝපදේශන ආයතනය විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව දක්වා තිබුණේ 2018 වසර අග භාගයේදීය. ඒ අනුව දළදා පෙරහර සමය වෙනුවෙන් බටහිර අර්ධගෝලයේ ශීත කාලය ආරම්භ වීම සමඟ විශාල සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතව සිටි බවද කියැවේ. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ අත්‍යවශ්‍ය කරුණකට හැරුණුකොට ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් තම රටවැසියන්ට නිවේදන නිකුත් කොට ඇත.
මේ අතර ජනාධිපතිවරයා මෙම අනතුරු හැඟවීම් ඉවත් කරගන්නා ලෙස බටහිර තානාපතිවරුන්ගෙන් ඉල්ලීය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ජූනි මාසය වනවිට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බවයි. එහෙත් රට තුළ අස්ථාවර තත්ත්වය තවදුරටත් පවතින විට බිලියන ගණනක් යොදවා සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතුද යන්න ගැටලුවකි. මෙය යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් අවැසිය. ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශේෂඥයන් රැසක් මෙරට සිටින අතර ඔවුන්ගෙන් උපදෙස් ගෙන ඉදිරි කටයුතු මෙහෙයවීම උචිත වේ. දේශපාලනඥයන් විසින් හිතුමතේ දියත් කරන ව්‍යාපෘති හරහා සිදුවන්නේ තව තවත් සංචාරක කර්මාන්තය අගාධය කරා ගමන් කිරීමයි. කෙසේවෙතත් මේ වනවිට දේශීය වශයෙන් රජය සංචාරක කර්මාන්තයට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ද දියත් කර තිබේ. ඒ අනුව කර්මාන්තයේ ලියාපදිංචි ආයතනවලට තමන් ලබාගෙන ඇති ණය ගෙවීම්වලදී සහන ලබාදීම සිදුවනු ඇත. තවද යම් යම් සහන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරමින් තිබේ.
මෙහිදී පැහැදිලිවම කිව යුත්තේ සංචාරක කර්මාන්තය තුළින් යැපුණු ලක්ෂ සංඛ්‍යාත පිරිස් අතුරෙන් ඉතා සීමිත පිරිසකට පමණක් මෙම සහන හිමිවිය හැකි බවයි. කුඩා වෙළෙන්ඳන්, වෙළෙඳසල් හිමියන්, තම නිවෙස්වල සංචාරකයන්ට පහසුකම් සැපයූ පුද්ගලයන්, සංචාරක මඟපෙන්වන්නන්, රියැදුරන්, රථවාහන හිමියන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මෙම සහන නොලැබෙනු ඇත. අනෙක් අතට මෙම කර්මාන්තය යථා තත්ත්වයට පත්වීමට වසරකට අධික කාලයක් ගතවනු ඇති බව විශේෂඥ මතය වී තිබේ. එය එසේ වුවහොත් තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇත.
මේ වනවිටත් මෙරට සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත සංචාරකයන්ගෙන් මුක්ත කලාප වී තිබේ. දේශීය සංචාරකයන් ද පවතින තත්ත්වය මත ගමන් බිමන් සීමාකර ඇති බව පෙනේ. සීගිරිය හුදෙකලා වී ඇත. හික්කඩුව, බෙන්තොට, නිලාවේලි, කල්පිටිය වෙරළ තීරය පාළු වී හමාරය. ගාලු කොටුවේ වීදි හිස්ය. මහනුවර, අනුරාධපුරය නගර අතහැර දැමුවා හා සමානය. මෙය නිසැක වශයෙන්ම 2001 කටුනායක ගුවන්තොටුපොළ ප්‍රහාරය, 2004 සුනාමිය පරයන අර්බුදයක් වෙමින් පවතී.
මෙම අර්බුදයෙන් මිදීමට නම් ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව තහවුරු කිරීම හැර වෙනත් විකල්පයක් නැත. ජාතිවාදී කලකෝලාහල, ඇඳිරි නීතීය, සමාජ ජාල තහනම තවමත් ජාත්‍යන්තර පුවත් මවයි. එය සංචාරක කර්මාන්තය විෂයයේ අතිශය අයහපත් තත්ත්වයකි. පෙනෙන මානයක ගොඩ ඒමක් නොමැත. කවදත් සංචාරක කර්මාන්තය රාජ්‍ය පාලනය මත යැපුණක් නොවීය. එය ස්වාධීන රට ඉහළට ඔසවා තැබූ දිරිය මිනිසුන්ගෙන් සමන්විත වූවකි. ඉතිහාසය පුරා සංචාරක කර්මාන්තයට දේශපාලනඥයන්ගේ මෝඩකම්වලට වන්දි ගෙවීමට සිදුවිය. අද සිදුවෙමින් තිබෙන්නේ එහි දිගුවක් විනා වෙනත් යමක් නොවේ.
සුරක්ෂිත බව තහවුරු කළොත් නැගිටගන්න පුළුවන්
ගෝල්ෆේස් හෝටලේ සමූහ ව්‍යාපාරයේ උප සභාපති චන්ද්‍රා මොහොට්ටි
විශේෂයෙන්ම ප්‍රහාරයෙන් විදේශිකයන් මැරුණ නිසා සහ රට තුළ අස්ථාවරභාවයක් පෙනෙන නිසා ලංකාවේ හෝටල්වලට සංචාරක ආකර්ශනයක් නෑ. අපේ 21 වැනිදා ප්‍රහාරයෙන් නැතිවුණේ ප්‍රධාන දේවල් දෙකයි. ඒ ආරක්ෂිතභාවයයි සුරක්ෂිතභාවයයි. ආගන්තුක සත්කාරයෙන් අඩුවක් වුණේ නෑ, සුනාමියෙන් වගේ හෝටල් විනාශ වුණේ නෑ. බෝම්බ ප්‍රහාරයට ලක්වෙච්ච හෝටල් තුන පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් ඇතිවුණු නිසා අස්ථාවරභාවයක් ඇති වුණා.
මේ තත්ත්වය මගහැරෙන්න ටික කලක් යයි. ඒ මගහැරෙන්නේ ස්ථාවර තත්ත්වයක් පෙන්වීමත් එක්ක. ආරක්ෂක කටයුතු සම්බන්ධ ක්‍රියාකාරකම් තාමත් රටේ සිද්ධවෙනවා. ඒවා නොකර බෑ. ඒ වුණාට මේ ක්ෂේත්‍රයට ඒවා බලපානවා. සීසන් ක්‍රමය අඩුවෙලා ගිහින් තිබ්බේ. ප්‍රහාරයට අවුරුද්දකට විතර කලින් ඉඳලා සීසනලිටි එක නැතිව ගියා. අලුත් වෙළෙඳපොළවල් නිර්මාණය වුණා. ඔය සීසන් එක කියන්නේ බටහිර රටවල ශීත සෘතුවට. ඉන්දියාවෙන් චීනයෙන් ඕස්ට්‍රේලියාවෙන් අලුත් පිරිස් එන්න ගත්තාම ඒ ක්‍රමය වෙනස් වුණා. ඒ නිසා සීසන් එක පොඩ්ඩ පොඩ්ඩ නැතුව ගියා. ඒ නිසා සීසන් එකේ බලපෑමට වඩා වැඩිපුර තියෙන්නේ සුරක්ෂිතභාවයේ බලපෑම. ගමනාන්තයක් තෝරාගැනීමේ පළවැනිම හේතුව සුරක්ෂිතභාවය.
මේ තත්ත්වය ටික ටික හොඳ පැත්තට යන්න පටන් ගත්තොත් වැඩි කාලයක් යන්නෙ නෑ නැවත නැගී සිටින්න. මෙච්චර කල් එහෙමයි සිද්ධ වුණේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පාරත් එහෙම්ම වෙයි කියලා. නැවත සංචාරක කර්මාන්තය නංවාලන්න ආණ්ඩුවේ විතරක් නෙවෙයි පෞද්ගලික අංශයෙත් සැලසුම් තියෙනවා කියලා පේනවා. ඒ වුණාට මගේ පෞද්ගලික පිළිගැනීම තමයි සුරක්ෂිතභාවය තහවුරැ කරන්නේ නැතුව ඒවා ඵල දැරීමක් බලාපොරොත්තු වෙන්න තාම කල් වැඩියි.
නැෂනල් ගයිඩ්ලා ඔක්කොම අතරමං
ජාතික සංචාරක මඟපෙන්වන්නෙක් කනිෂ්ක සංජීව
මේ අවුරුද්දේ විශාල බුකින් ප්‍රමාණයක් තිබ්බා අතිරික්තයක් එන තරමට. මේ මාසෙට මගේ විතරක් බුකින් දහහතරක් කැන්සල් වෙලා තියෙනවා. අප්‍රේල් දහතුන් වැනිදායින් පස්සේ එක ටුවර් එකක්වත් ගියේ නෑ. ඒ මම පෞද්ගලිකව. ආයතන විදිහට බැලුවාම කොහෙවත් වැඩ නෑ මේ කාලේ.
මේ පාර සීසන් එක මැයි පහුවෙන කල් ඇදෙන්න තිබුණේ. නැෂනල් ගයිඩ්ස්ලා දෙදහස් නවසීයකට ආසන්න ගාණක් ඉන්නවා. ඊට අමතරව විවිධ මට්ටම්වල සංචාරක මඟපෙන්වන්නෝ දහස් ගාණක් ඉන්නවා. මිනිස්සු ගොඩක් අසරණ වෙලා තියෙන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ වාහන ගොඩක් විකුණන්න දාලා තියෙන්නේ.
හැම කෙනෙක්ටම වෙන වෙන ආදායම් මාර්ග හොයාගන්න වෙලා තියෙනවා. මං නම් පෞද්ගලිකව ගොවිතැනක්වත් කරගන්න ඕන. ලංකාව වටේම අපේ හිතවත් යාළුවෝ ඉන්නවා. කොහෙත් මෙහෙම තමා.
සුනාමි ආවා: කටුනායකට ගැහැව්වා ඒත් මෙහෙම නම් වෙලා නෑ
ලංකා සිල්ක් සීගිරිය මහනුවර හිමිකරු - ආසිරි නානායක්කාර
අපේ ෂෝරූම් එකට ඕෆ් සීසන් නෑ. සාමාන්‍යයෙන් දවසකට වාහන හතළිහ පනහ ආවා. මේ මොහොත වෙනකොටත් එක වාහනයක්වත් ඇවිල්ලා නෑ ෂොප් එකට. මට අවුරැදු විසිපහක තිහක පළපුරුද්දක් තියෙනවා මේ ක්ෂේත්‍රයේ. සුනාමිය, කටුනායකට ගහනකොට අපි හිටියා මේ ක්ෂේත්‍රයේ.මෙච්චර හානියක් වුණේ නෑ ඒ කාලෙවත්.
සහනයක් දෙනවා කියලා තියෙන්නෙ සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ආයතනවලටනේ. ලයිසන් ගන්න හෝටල්, රෙස්ටුරන්ට් අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න ඕන. ජෙම් ෂොප්, සිල්ක් වගේ ෂෝරූම් වැඩි හරියක් ලියාපදිංචි වෙලා නෑ. ඒ නිසා ඔය කියන වරප්‍රසාද ලබාගන්න එක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා.
මම තනියම මේ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු පහයි. කලින් වෙන වෙන ආයතනවල කළමනාකරුවෙක් විදිහට තමා වැඩ කළේ. දැන් කොහොම හරි මාසයකට කිට්ටුව මේක අපි ඇදගෙන ගියා. නුවරත් මගේ ෂෝරෑම් එකක් තියෙනවා. ඉන්න තැනට ලක්ෂ අට හමාරක් ගෙවනවා. හතළිස් හත් දෙනෙක් වැඩ කරනවා. ගිය මාසෙත් ඇදගත්තා. මේ මාසෙත් කොහොම හරි ඇදගන්න පුළුවන්. එතනින් එහාට නම් අනාගතයක් ගැන හිතන්න අමාරුයි. මම කාර්ය මණ්ඩලය එක්ක ගොඩක් සුහදව කටයුතු කරන්නේ. අනෙක් ආයතනවල නම් දවස් පහළොව පහළොව වැඩට එන්න කියලා බෙදලා තියෙනවා. අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. මම නම් වෙන දේකට අපි එකට මුහුණ දෙමු කියලා ඉන්නවා. තාම කිසිම කෙනෙක්ව නිවාඩු යවන්න කටයුතු කරලා නෑ.
කාමරයක් තියා වතුර බෝතලයක්වත් විකිණෙන්නෙ නෑ
දිමුතු දිල්ශාන් - සාමාන්‍යාධිකාරී ඩෙකෝන් ෆෝටි ෆයිව් හෝටලය සහ ෆිෆ්ටි සික්ස් බයි ඩෙකෝ හෝටලය - ගාලු කොටුව
මේ සීසන් එක බොහොම සාර්ථක සීසන් එකක් අපිට තිබුණේ. ගොඩක් අවුරුදුවල අප්‍රේල් මුල් සතිය වගේ වෙනකොට ගොඩක් ගෙස්ට්ලා සීසන් එක ඉවරවෙලා ගියා. මේ සීසන් එකේ අප්‍රේල් අන්තිම හිටියා. මැයි මාසෙටත් බුකින් තිබුණා. ජූනි මාසෙට තිබුණා. සාමාන්‍යයෙන් ඕෆ් සීසන් එකේ චීන ජාතිකයන්, ඉන්දියානුවන් කොටුවට එනවා. රාමසාන් එකත් එක්ක අරාබි ජාතිකයෝ එනවා. කොහොම වුණත් කොටුවට ලොකුවට ඕෆ් සීසන් එක තිබ්බේ නෑ.
අපි කොටුවේ ප්‍රදීපාගාරය වීදියේ ආයතන දෙකක් පවත්වාගෙන යනවා. නවාතැන් වගේම ආපනශාලා දෙකකුත් තියෙනවා. විසිඑක් වැනිදා ඉඳලා සීරෝ තියෙන්නේ. අපි රූ අට නවය වෙනකල් මේ අවන්හල් ඇරගෙන ඉන්නවා. වතුර බෝතලයක්වත් විකිණෙන්නේ නෑ. මගේ කාර්යය මණ්ඩලය ඉන්නවා හතළිහකට ආසන්න ප්‍රමාණයක්. එතන පවුල් හතළිහක් ජීවත් වෙන්න ඕන. අපිට මාළු, පළතුරු සපයන අය ඉන්නවා. සැපයුම් ආයතන ඉන්නවා. ඒ ඔක්කොම මේ ගැටලුවට මුහුණපාලා ඉන්නේ. ඒ ගොල්ලන්ට බඩු සපයන්න විදිහක් නෑ. අපිට බඩු අරගෙන කරන්න දෙයක් නෑ. මෙතන කාමර දොළහයි තියෙන්නේ. බුකින් සීයක් විතර කැන්සල් වෙලා තියෙනවා 21 වැනිදා ඉඳන් අද වෙනකොට. අපිට කැන්සලේෂන් පොලොසි එකක් තියෙනවා. අපි රිෆන්ඩ් කරන්න ඕනෑ නෑ ඒ නිසා. හැබැයි මේක ගෙස්ට්ලාගේ ප්‍රශ්නයක් නොවන නිසා අපි ආපසු ගෙවීම් කළා. අපි ආගන්තුක සත්කාර කරන ආයතන විදිහට තවදුරටත් සංචාරකයන්ට ලංකාව ගැන අප්‍රසාදයක් නොවෙන්න වග බලාගන්න ඕන නිසා ඒ අයට ගෙවපු සල්ලි නැවත ගෙවනවා.
චමිදු නිසල් ද සිල්වා