2019 මැයි 25 වන සෙනසුරාදා

ලෝක ක්‍රිකට් උණ ලංකාවට දැනුණු 1975

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 336

1975 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ පිලේ නායකත්වය ඉසිලූ අනුර තෙන්නකෝන්ගේ ඇල්බමයෙන් උපුටාගත් ඡායාරූපයක් අවුරුදු හත අටක පටන් අන්තර්ජාලයේ පැරණි ඡායාරූප අතර සංසරණය වේ. එහි පෙනී සිටින්නේ 1975 ලෝක ක්‍රිකට් කුසලානයට ඉදිරිපත් වූ ක්‍රීඩකයන්ය.

එම ක්‍රීඩකයන් ලෝක කුසලානය සඳහා එංගලන්තයට යෑමට පෙර නුවරඑළිය රදැල්ල ක්‍රීඩා පිටියේ ඔවුනට එංගලන්ත දේශගුණයට හුරු වීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙනු ලැබීය. සමූහ ඡායාරූපය ගෙන තිබුණේ එම පුහුණුවට යන අතරතුරයි. (නැතහොත් පිටත්වීමට පෙරාතුවයි.) පසුබිමේ ඇත්තේ ඔවුන් ඒ සඳහා ගමන්ගත් බස් රථයයි. “1975 World Cup” යනුවෙන් ලියූ බැනරයක් එම බස් රථයේ එල්ලා තිබෙනු පසුබිමෙන් පෙනේ.

එම ඡායාරූපයේ ඇත්තේ ක්‍රීඩකයන්ගේ රුවත්, පසුබිමේ බස් රථයත් ඒ අවට භූමියත් පමණක් වුවද දහසක් රසවත් තොරතුරු රාශියක් එම ඡායාරූපයෙන් අපට කියයි. එදවස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව රටේ ජනතාවගේද ජීවන පැවැත්ම එම ඡායාරූපයෙන් කියා පායි. එකල ක්‍රිකට් ක්‍රීඩකයන් එම ක්‍රීඩාවේ යෙදුණේ හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ ආදරයත්, රට කෙරෙහි තිබූ ආදරයත් නිසාය. ඒ හැර ඔවුනට එයින් ලැබුණු ප්‍රතිලාභයක් නැත. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තිබුණු එකම වාසිය නම් හොඳින් ක්‍රීඩා කොට පාසලෙන් ඉවත් වෙද්දී පෞද්ගලික ආයතනයක ඔවුන්ට රැකියාව ලැබීම පමණකි. මර්කන්ටයිල් කුසලානය උදෙසා හෝ ආයතනයේ කීර්ති නාමය උදෙසා පෞද්ගලික ආයතනවලින් ඔවුනට රැකියාවත්, ක්‍රීඩා කිරීමේ අවකාශයත් ලබා දුන්නේය.

කණ්ඩායමේ කළමනාකාර තනතුර ඉසිලූ මයිකල් තිසේරාත්, සුනිල් වෙත්තමුණිත් එම ඡායාරූපයේ නැත. තම පෞද්ගලික රථයෙන් නුවරඑළියට යන්නට වත්කමක් තිබී ඇත්තේ ඒ දෙදෙනාට පමණි. (ඔවුන් කාර් එකෙන් නුවරඑළියට ගිය වගද අන්තර්ජාලයේ සඳහන්ය) සියලුම ක්‍රීඩකයන් එම ඡායාරූපයේ සැරසී ඉන්නේ රටේ සාමාන්‍ය තරුණයන් එකල ඇඳි ඇඳුම්වලිනි. රටේ ජනයාටත් ක්‍රීඩකයන්ටත් අමතර T කමිසයක් සැහැල්ලු ගමන් සඳහා තිබුණේ කලාතුරකිනි. එහි සියලු ක්‍රීඩකයන් අත් කොටට නැමූ අත් දිග කමිසයෙන් සැරසී සිටිති. පැළඳ සිටින්නේ ද එදිනෙදා ගමන්වලට අඳින සපත්තුය. ඔවුන් ගමන් ගන්නා බස් රථය අද දවසේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගමන්ගන්නා වායු සමීකරණය කළ අති සුඛෝපභෝගී බස් රථයක් නෙවේ. උපාසක අම්මලා හෝ සැදැහැවතුන් එකල වන්දනා ගමන් ගියේද එවැනි බස් රථවලයි. පසුතලයේ දිස්වෙන බැනරයේ ද ඇත්තේ ආටෝපයෙන් තොර සරල බවකි. සමස්තයක් ලෙස මුළු ඡායාරූපයමය දිස්වන්නේ ආටෝපයෙන් තොර සරල බවයි.
1996 ලෝක කුසලානය දිනාගත හැකි මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට එන්නට පදනම සකසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවටම කැපවී, ඔවුන් එකල ගතකළ එම ආටෝපයෙන් තොර සරල ජීවිතය විසිනි. ක්‍රීඩාවෙන් මුදල් හම්බ කිරීමේ චේතනාවක් ඔවුන් තුළ තිබුණේම නැත.

සූදානම කොතරම් සරල වුවත් 1975 පළමු ලෝක කුසලාන තරගවලදී පිටියට බට විට ඔවුන් තුළින් දිස් වුණේ අප්‍රතිහත ධෛර්යයකි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේදී ලකුණු 86කට සියල්ලන් දැවී ගියත්, ඔස්ට්‍රේලියානුවන්ට ඔවුහු එළවා එළවා බැට දුන්හ. දුලීප්ගේ එක් හයේ පහරක් නතර වූයේ ක්‍රීඩාගාරයෙනුත් ඔබ්බේය. කළුපෙරුම ග්‍රෙග් චැපල්ගේ විකට්ටුව බිම හෙලුවේය. කිසිදා බලාපොරොත්තු නොවූ පිති හරඹයකින් ඔවුහු ඕස්ට්‍රේලියාව මවිත කළහ. දෙපරුන්ද ආරක්ෂා කරන උපකරණ ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් කාලයේ සිටම භාවිත වූවත් හිස ආරක්ෂා කරන හෙල්මට් ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතයට ආවේ ක්‍රීඩාව බිහි වූ වසර 100ක් ඉක්ම ගියි පසුවයි. මේ නිසා තොම්සන් එදා පන්දුව එල්ල කළේ දුලීප්ගේ හිසටයි. 1975 දී පවා හිස් ආවරණ භාවිත වූයේ නැත.

1975 ලෝක කුසලානයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි දෙනා 1968 – 1973 කාලයේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අය වූහ. සතාසිවම්, ස්ටැන්ලි ජයසිංහ ආදී අතීතයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටින් මුල් යුගයේ බිහිවී තිබුණත් පොදුවේ හොඳ දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් ගොන්නක් එකවිට ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ඒ කාලයේය. පාසල්වලින් මතු වූ එම ක්‍රිකට් උන්නතිය, ඉන්පසු ක්‍රිකට් සමාජ අතර (විශේෂයෙන්ම සරා කුසලාන) තරගවලටත්, ජාතික කණ්ඩායම කරාත් ඇදී ආවේය.

පාසල් මට්ටමෙන් ලබාදුන් ක්‍රිකට් පුහුණුව සෘජුවම ඒ කාලයේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකු තනන්නට පවා සෑහෙන බවට හොඳ සාක්ෂියකි අනුර රණසිංහ. ඔහු 1975 පෙබරවාරියේ මෙරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරග වදින ශ්‍රී ලංකා පිලට තේරුණේය.

“නාලන්දා නායක ශ්‍රී ලංකා පිලට තේරෙයි” යනුවෙන් ඒ ප්‍රවෘත්තිය එදා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම පළවූයේය. බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දෙවැනි ඉනිමේදී ඔහු දක්ෂ ලෙස ලකුණු 21ක් රැස් කළේය. එකල ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා වූ ඇන්ඩි රොබට්ස්ට ද ඔහු දක්ෂ ලෙස හතරේ පහරක් එල්ල කළේය.

ඒ කාලයේ ඉන්දියා, පකිස්ථානු හා MCC කණ්ඩායම් හැරුණු විට ඕස්ට්‍රේලියානු හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ කලාතරකිනි. 1975 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ලංකාවට පැමිණ තිබුණේ 1966 වසරෙන් පසුවයි. 1975 බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැත්වූ තරගවලින් අපේ කණ්ඩායම ලෝක කුසලාන තරගවලට යන්නට අවශ්‍ය පන්නරය ලබා ගත්තේය. 1975 බටහිර ඉන්දීය කොදෙව් පිල ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, රෝයි ෆෙඩ්රික්ස්, ඇන්ඩි රොබට්ස්, ඇල්වින් කලිචරන් ආදී අති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූයේය. 

දෙවැනි නිල නොවන තරගයේ වැඩි වාසි අත් කරගන්නට අපේ කණ්ඩායම සමත් වූයේය. පළමු ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව්වෝ 119කට සියල්ලෝ දැවී ගියහ.

එම වාරයේදී බටහිර ඉන්දීය කොදෙව් සමඟ අවසාන වශයෙන් තිබුණේ ඕවර 50 තරගයකි. අති විශාල ජනකායක් එම තරගය නරඹන්නට පැමිණියහ. තරග පැරදුණත් දුලිප් මෙන්ඩිස්ගේ ලකුණු 75 නරඹන්නන් කුල්මත් කරනු ලැබුවේය.
1975 ලෝක කුසලානය වන විටවත් අප රූපවාහිනියක් දැක තිබුණේ නැත. අපට කෝකටත් තිබුණේ කුරු කුරු හඬ නංවන, ප්‍රධාන විදුලියෙන් (AC) පණ ගැන්වෙන රේඩියොව පමණකි. මේ වනවිට සින්දු ඇහුවේත්, නාට්‍ය ඇහුවේත්, ප්‍රවෘත්ති ඇහුවේත්, ක්‍රිකට් විස්තර ප්‍රචාර ඇහුවේත් එයින්ම පමණකි. මොනවා ඇසුවත් වායු කැළඹෙන කුරු කුරු හඬ වරදින්නේ නැත.

සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාර ඒ වනවිට පාසල් මහා ක්‍රිකට් තරගවලට පමණක් සීමා විය. ජාත්‍යන්තර තරග විස්තර ප්‍රචාරය වූයේ ඉංග්‍රීසියෙන්ම පමණකි. 1975 ලෝක කුසලාන විස්තර ප්‍රචාර සිදු කළේ BBC සේවාවෙනි. එකවිට තරග කිහිපයක් පැවතුණු නිසා අපේ තරගය ප්‍රචාරය කළේ අතරින් පතර බොහෝ වේලා ගිය පසුවය.

1979 ලෝක කුසලාන විස්තර ප්‍රචාරවලට සවන් දුන්නේත් එසේමය. 1975 ඔස්ට්‍රේලියා තරගයේ සමාලෝචනයක් පසුදා උදේ 6.30 වනවිට සිංහලෙන් ප්‍රචාරය වූයේය.

1979දී ඉන්දියාව සමඟ අපගේ තරගය අප ජයගෙන හමාර වූ අවස්ථාව එළඹුණේ රාත්‍රී 7.30 – 8.30ට පමණය. එවේලේ BBC සේවාවෙන් එම  සජීවී තරග විස්තරය ප්‍රචාරය වූයේය. එම තරගයේදී ශ්‍රී ලංකා පිල නායකත්වය දරමින් මෙහෙයවූයේ බන්දුල වර්ණපුරය. 1979 ජුනි 18 දා මැන්චෙස්ටර්හි පැවති එම තරගයේදී ශ්‍රී ලංකාව තම ඕවර 60 තුළදී කඩුලු 5කට ලකුණු 238ක් රැස් කළේය. සුනිල් වෙත්තමුණි 67ක්ද, දුලිප් මෙන්ඩිස් 64ක් ද, රෝයි ඩයස් 50ක් ද ලබාගත්හ. ඉන්දියාව ඕවර 54 පන්දු 31කදී 191කට දැවී ගියේය. ටෝනි ඕපාත සහ ඩී. එන්. ද සිල්වා කඩුලු 03 බැගින් බිඳ හෙලූහ.

පාසල් තරගවලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර තරග විස්තර සිංහලෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේ ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරාය. 

ප්‍රේමසරගේ තරග විස්තර ප්‍රචාරය කනින් අසා සිතට ගෙන නිමා වන්නක් නොවීය. සිංහල සාහිත්‍යයේ එන මනරම් අලංකාර බවත්, ඉංග්‍රීසි ක්‍රිකට් සාහිත්‍යයේ ගොඩනැගී තිබුණු ශෛලියත් එක්කොට ඔහු අසන්නා ඉදිරියේ ක්‍රිකට් තරගය වදන්වලින් රූපණය කළේය. ඒ නිසා අපි අපගේ පරිකල්පනයේ තරමින් තරගයේ සජීවී රූපණයක් මනසේ ඇඳගත්තෙමු. පන්දු යැවූ හා පිත්තෙන් පහර දෙන විස්තර කියන්නට පෙර ඔහු ක්‍රීඩාංගණයට ඉහළින් ඇති අහසත්, පිටිය මත වැටෙන අව්වත් ගැන පරිසර වර්ණනාවක් කළේ ප්‍රස්තුථ කාරණය තුළ රැඳෙමින්මය. මන්දාරම් අහස, ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණය, මිඩ් විකට් කලාපය ආදී වචනවලින් ක්‍රිකට් හා බැඳුණු සාහිත්‍යමය වදන් පෙළක් ක්‍රීඩාවට එක් වූයේය.

අප රටේ නගර කරා පමණක් නොව ගම් නියම් ගම් කරා ක්‍රිකට් රස ඇදී ගොස් එය ජනප්‍රිය වූයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයත් සමඟයි. දැන් කාලයේ ජංගම දුරකථනය කනට ලංකරගෙන යන්නා සේ තරග විස්තර ඇති දිනවල කුඩා පොකට් රේඩියෝ කනට ලංකරගෙන ක්‍රිකට් ලෝලීන් පාරේ යනු පෙනිණි. පුවත්පතක කටුනායක පාරේ යන ක්‍රිකට් උන්මාදය මොනවට නිරෑපණය කර තිබිණි. ක්‍රිකට් විස්තර අසන්නකු පොකට් රේඩියෝව කනේ ගසාගෙන යද්දී රේඩියෝවෙන් කියන විස්තරය පළමු කොටුවේ තිබිණි. “පාදයක් පෙරට ගෙන සීරුවෙන් පහරක් එල්ල කළා.” පාරේ විවෘතව තිබෙන මෑන් හෝල් වළකින් “රෝයි ඩයස්” යන්න ඇසෙනු දෙවැනි කොටුවේ ඇත.

1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන උන්නතිය කරා යන්නට ක්‍රිකට් ලෝලීහු ද මහත් මෙහෙවරක් ඉටු කළහ. එස්. එස්. සී, එන්. සී. සී, සී. සී. සී, බ්ලූම්ෆීල්ඩ් වැනි ක්‍රිකට් පිටිවල තරග නැරඹීමට පිටියෙන් පිටියට ඇතැම් දිනවල මාරු වෙමින් (සරා) කුසලාන තරගවලදී තම ප්‍රියතම පිලට ඔල්වර නැගූ ක්‍රිකට් ලෝලියෝ ජාතික තරගවලදී සැවොම එක්ව රටේ ජය පතා ඔල්වර නැගූහ. සවස් වරුව සත පහේ අන්නාසි කැබැල්ලකින් කුස පුරවාගත් ඔවුහු දිවා ආහාරය සඳහා ජාතික පොළේ පාන් සමඟ වට්ටක්කා හොදි අනුභව කොට තෘප්තිමත් වූවෝය.

ක්‍රිකට් ඉතිහාසය පුරා වැටුණු අවස්ථාවල නැවත දිරියෙන් නැගී සිටිමින් අපේ පිල ක්‍රිකට් ලොව වර්ණවත් කර ඇත. වැටුණ ඕනෑම අවස්ථාවක “අප්සෙට්” තරගයක් දී ජයග්‍රහණය හිමිකර ගැනීමට අවශ්‍ය අත්දැකීම් අපි ලබා ඇත්තෙමු. පැරදුණු තරගවලින් පාඩම් ඉගෙනගෙන, දිනූ තරගවලින් දිරිය වඩාගෙන මෙවර ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු අත් නෑරිය යුතුමය.

  සමන් පුෂ්ප ලියනගේ