2019 මැයි 25 වන සෙනසුරාදා

මේක ශාස්තෘන් වහන්සේලා පවා වෙන්දෙසි කරන යුගයක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

වර්ෂ 1977 දී බලන් කඩතුරා හැර දෑසේ නවකතාවෙන් සාහිත්‍යකරණයට එළැඹි කැත්ලින් ජයවර්ධන ඊට පසු තඹරවිල, සත්‍යකාම, ධවල නිම්නය, මහසෙන්, ධාරා, අකාල යාත්‍රා ආදී නවකතා පළ කළාය. ඇය කෙටිකතා කෘති මෙන්ම ගුවන්විදුලි නාට්‍යද රචනා කළ සම්මානනීය සාහිත්‍යවේදිනියකි.

ඉදිරියේදී නිකුත්වන ඔබේ අලුත්ම නවකතාව ටිකක් වෙනස් තේමාවක් සහිතයි. ඒ ගැන විස්තර කළොත්?

පොත නම් කරල තියෙන්නේ ‘ඉවුරු-ගඟ සිඳී ගියදා’ නමින්. පොතේ අන්තර්ගතය ගැන යම් ඉඟියක් මෙයින් සැපයෙනවා ඇතැයි කියල හිතෙනවා. මේ පොතෙන් හරි අඩක් ලියැවුණේ කොළඹ කාක්කකුගේ දෘෂ්ටිකෝණයෙන්. ඉතිරි අඩ මෙහෙණියක හා කන්‍යා සොහොයුරියක අතර ඇතිවූ කිසියම් අපූර්වාකාර සබඳතාවයක් පසුබිම් කොටයි නිර්මාණය කෙරුණේ.

අද බොහෝ ලේඛකයන් අලුත් ආකෘති සොයා යන බව පේනවා. මේ නවකතාවත් ආකෘතිමය වශයෙන් වෙනස් එකක්ද?

ආකෘති සොයාගෙන ගිහින් නවකතා නිර්මාණය කරන්න පුළුවන් කියල මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. ආකෘති කොහොම වුණත් අන්තර්ගතය (තේමාව) කියල කියන එක වුණත් සොයාගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හදිසියේ පිළිසිඳ ගන්න, ගැබ් ගන්න දෙයක් වගේ. සමහර විට අඳුරු අහසක ඇදිල යන විදුලි රේඛාවක් විදිහට ප්ලොට් එකක් හිතට එනවා. විදුලි එළියෙන් හාත්පස එළිය වුණාම ප‍්‍රමාණවත්. නැවතත් විදුලියක් කොටනකං බලාඉන්න ඕන නෑ. මගේ විශ්වාසයේ හැටියට නිර්මාණාවේෂය හටගන්නවයි කියන්නේ ඒ වගේ දේකට.

නව පරපුර අලුත් ඉසව් ඔස්සේ තම නිර්මාණ බිහිකිරීමට උත්සාහ දරනවා. ඔබ ඒ ගැන නිරික්ෂණයකින් සිටින බවත් පේනවා. ඒ ගැන කිව්වොත්?

නව පරපුරේ එහෙම කීපදෙනෙක් ඉන්න බව පේනවා. ඒත් බහුල වශයෙන්ම නෙවෙයි. ඇත්තටම අද අපට  ඕන කරනවා අලුත් නවකතා. ඒ කිව්වේ අලුතින් පිටවෙන නවකතා නෙවෙයි. 21 වෙනි සියවසට වගේම 22 වන සියවසටත් අදාළ වෙන ආකාරයේ නැවුම් නිර්මාණ. නව අදහස්. නව තේමා. නව අදහස්වලට ඉඩහසර පෑදෙන්නේ කූතුහලාත්මක ප‍්‍රශ්න කිරීම්වලින්. ඒ කිව්වේ හැමදේම. ආගම, ජාතිකත්වය පවා. ගැටලුව පවතින්නේ මෙන්න මෙතැනයි. විශ්වවිද්‍යාලවල පවා පර්ෙය්ෂණය ලෙස හැඳින්වෙන්නේ පර්ෙය්ෂණ වාර්තාවක් සකස් කිරීමක් වගේ දේකට. පර්ෙය්ෂණ කියන්නේ ගැටලු සමඟ පොරබැදීමකට වුණත් එහෙම දෙයක් වෙන බවක් පේන්න නැහැ. මගේ අදහසට අනුව නම් නිර්මාණාත්මක ලේඛකයා කියන්නේ දාර්ශනික ඉසව් කෙරෙහි පවා කූතුහලාත්මකව පසුවන්නෙක්. ඒත් එහෙම අය ඉන්නේ අල්පයයි.

සමහර ප්‍රවීණයන්, සාහිත්‍ය මහාචාර්යවරු වගේ විද්වතුන් නම් පවසන්නේ අද වැඩිපුර ඇත්තේ ආකෘතිමය හරඹ මිස නිර්මාණ ගුණය අඩු නවකතා බවයි. ඒකට එකඟ විය හැකිද? 

ඔබ නම් කළ පිරිසෙන් බහුතරයක් කියවන්නේ සාහිත්‍ය සම්මාන තරගයක විනිශ්චය මණ්ඩල නියෝජනය කිරීම නිසාම කියවන්නට සිදුවෙන, කියවන්නට ලැබෙන නවකතා, කෙටිකතා මිස සොයාගත් හෝ මිලදීගත් නවකතා නෙවෙයි. විනිශ්චය සඳහා පොත් කියවීම කියන්නේ නිල කටයුත්තක්. ඔබ ඔය නම් කළ කණ්ඩායම අතරින් වින්දනය සඳහා නවකතාවක් මිලදී ගෙන කියවන්නකු සොයාගන්න ලැබෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? සාහිත්‍ය තරග සඳහා යොදා ගැනෙන (ඇතැම් විට සාහිත්‍ය තරග සඳහාම ලියැවෙන) නිර්මාණවල ආකෘතිමය වෙනස්කම් බහුලව දකින්නට ලැබෙනවා තමයි. බොහෝවිට එය අන්තර්ගතය ඉල්ලා සිටින ආකාරයේ වෙනසකුත් නෙවෙයි. හිතාමතා කරන ආකෘතික වෙනස්කම්වල කෘත‍්‍රිම බව මුලින්ම හඳුනාගන්නේ සහෘද පාඨකයායි. හිතේ බලපැවැත්වෙන්නේ තරගය නම් ආකෘතික හරඹ දැක්වීමේ වුවමනාවක් ඇතුළුවන්නේත් ඒ සමඟමයි. එතකොට ඉතිං නිර්මාණාත්මක ජීවගුණය හීනවෙනවා තමයි. ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ.

ඔබ ටික කලකට පෙර සම්මාන තරගවලින් ඉවත්වන බව කිව්වා. තවමත් ඒක ක්‍රියාත්මකද?

2009 වසරේ සිට 2017 වසර දක්වා මම පොඩි විරාමයක් අපේක්ෂා කළා. සැප්තැම්බර් මාසයේ වුණත් හිත කලබල කරගන්නේ නැතුව ඉන්න එක, එක විදිහක සුවසහනයක්. මේ අවුරුදු 10කට ආසන්න කාලසීමාව තුළ මා මගේ ඇතැම් කෘති සමීක්ෂණය සඳහා යොදා නොගන්නැයි සාහිත්‍ය විනිශ්චය මණ්ඩලවලින් කාරුණික ඉල්ලීමක් (ලිඛිතව) කළා. එසේ නොවූ අවස්ථාවල මුද්‍රිත පොතේ එවැනි සඳහනක් යෙදුවා. පසුකාලීනව මගේ මිතුරන් වගේම ඇතැම් සාහිත්‍ය නිර්මාණකරුවනුත් එසේ නොකරන්නැයි මගෙන් කාරුණිකව ඉල්ලා සිටි නිසා 2017 දී නිකුත් වූ ‘අකාල යාත‍්‍රා’ නවකතාව වෙනුවෙන් මා කුමන වූ හෝ ඉල්ලා සිටීමක් කළේ නෑ. ඒත් හාස්‍යජනක කරුණ වන්නේ ‘අකාල යාත‍්‍රා’ කිසිම සම්මාන විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චයට භාජනය නොකිරීමයි. පස්සෙදි මට හිතුණා ඒකත් වෙස්වලාගත්ත ආශිර්වාදයක්ද කියල.

අද බිහිවන නවකතා දෙස බලනවිට නිර්මාණ සහිත්‍යයේ වර්ධනයක් පේනවද?

නවකතාවල වර්ධනයක්, කැපී පෙනෙන වර්ධනයක් තියනවා තමයි. ඒක ඕනම කෙනෙකුට දැකබලා ගන්න පුළුවන් සාමාන්‍යයක්. ප‍්‍රශ්නය තියෙන්නේ ගුණාත්මක වර්ධනයක් තියෙනවාද කියන එක. පේන හැටියට නම් මේ රටේ සංස්කෘතික මිනිසා මියයමිනුයි සිටින්නේ. පොතක් වෙනුවෙන් සිත සමාධිගත කරගැනීමේ හැකියාව අද බහුතරයකට නැහැ. අප මහා ගාන්ධර්වයා ලෙස හඳුන්වන අමරදේව සූරීන්ගේ ගීතයක් වුණත් දෑස් පියාගෙන සමාධිගතව අසා සිටින්නට නූතන මිනිසා අසමත්. ඔහුට ඒ සඳහා රූපාවලියක්, නර්තනයක් සම්පාදනය කළ යුතුව තිබෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ පිටු 400ක 500ක නවකතාවක් කියවන්න අපේ රටේ අනාගත මිනිසාට හැකිවේවිද?

අද බහුලව නවකතා පොත් පළවෙනවා. ඒ කියන්නේ නවකතා කියවීම වැඩිවෙලාද?

බහුලව පොත් පළවෙන්නේ පොත් කියවීම වැඩිවුණු නිසාද කියන එක දේව රහසක් වගේ. (ඒක දේව රහසක්ද වෙළඳ රහසක් ද කියන්න බෑ) ඇත්ත. නවකතා කියවීම අඩුවෙන්න අඩුවෙන්න නවකතා බිහිවීම ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙලා. සමහර පොත් පුස්තකාල රාක්කවල ගුලිගැහිලා. පොත් කියවූවත් නැතත් පාඨකයන් හිටියත් නොහිටියත් වසරින් වසරට පොත්වල සංඛ්‍යාත්මක වර්ධනයක් සිදුවෙනවා. මොකක්ද පුදුමෙ? ශාස්තෘන් වහන්සේලා පවා වෙන්දේසියේ දැමෙන යුගයක සාහිත්‍යය හා පොත් විතරක් ඉතුරු වේවිද?

ස්මාට් ෆෝන්වලට ඇබ්බැහි වී සිටින පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් කියවීමට පෙළඹවීමට කළ යුත්තේ කුමක්දැයි ඔබ සිතනවාද?

නූතන දරුවන් රන්කිරි කට ගෑවේම තාක්ෂණික ලෝකයක. අපි ඉපදුණේ එහෙම ලෝකයක නෙවෙයි. ඒ නිසා කියවන්නේ නැහැ කියන චෝදනාව නගන්න බෑ. අනිත් අතට දරුවන් කියවීමට යොමුකිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන වැඩසටහන් මොනතරම් දියාරුද? ඔවුන්ට කියවීමේ උත්තේජන සැපයෙන වටාපිටාවක්ද තියෙන්නේ? දරුවන්ට කියවීම සඳහා නිර්දේශ කළ යුත්තේ රුචිය වඩවන (Readable) පොත්. ඒවා ශිල්ප හරඹ විය යුතු නෑ. මා නම් මුලින්ම කියවූයේ, මාව කියවන්නට යොමු කළේ, කරුණසේන ජයලත්, ටී.බී. ඉලංගරත්න වැනි ලේඛකයන්ගේ පොත්. අද වුණත් දරුවන්ට එවැනි පොත් ලබාදුන්නොත් කියවාවි. රසවින්දනය සඳහා අපට අවකාශයක් විවර කළේ මවුපියන්, ගුරැවරුන් හා පෙළපොත්. අද මේ තුනම දරුවන්ට අහිමි කරලා නේද? 

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00