2019 මැයි 25 වන සෙනසුරාදා

සාලියවැව කුරුස - බෞද්ධ වෙසක් කූඩු ගෝරිය

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 300

සෑම වසරකම උත්සවශ්‍රීයෙන් සැරසෙන සාලියවැව නගරය මෙවරත් වෙසක් කූඩු 500ක් ප්‍රදර්ශනය කිරීමට සාලියවැව බෞද්ධ කතෝලික තරුණ සංගමය සූදානම් කර තිබුණි. මෙවර ශ්‍රී ලංකාව පුරා වෙසක් සැමරීමේ උත්සව නොපැවැත්වුව ද ඇති වූයේ වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමේ වැඩි ප්‍රවණතාවයකි. ජාති ආගම් බේදයකින් තොරව රටපුරා ජනතාව වෙසක් කූඩු නිර්මාණය කර නිවාස, නගර, ගම, පාසල්, පල්ලි, පන්සල්, රාජ්‍ය ආයතන වර්ණවත් කර විදුලි බුබුලුවලින් ආලෝකමත් කර රටට සාමයේ අරුණළු උදා කිරීමට එකමුතු විය.

මෙවන් එකමුතුකමක් ඇතිවීමට කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා සහා බෞද්ධ ආගමික නායකයින් අතර ඇතිවූ එකමුතුකම සහ එකිනෙකා අවබෝධ කර ගැනීම හේතුවන්නට ඇත. කිතුනු සහ බෞද්ධ ජනයා අතර පෙර නොතිබූ සම්බන්ධකමක් මෙවර වෙසක් උත්සවය තුළ තිබීම රටක් විදිහට සතුටට පත්විය හැකිය.

රටපුරා එවන් තත්ත්වයක් පැවතියද පුත්තලම සාලියවැව වෙසක් කූඩු ගිනිබත් කිරීම සිදුවූයේ පොලිස් බලපෑම් හේතුවෙනි. වෙසක් කූඩු සකසා එයට ධර්මචක්‍රය සහා කුරුසිය යෙදීම එයට හේතුවිය. වෙසක් දිනයේ උදෑසන සාලිය වැව නගරය පුරා ධර්මචක්‍රය සහ කුරුසිය සහිත වෙසක් කූඩු ප්‍රදර්ශනය වන්නට විය. නගරයට පැමිණි සාලියවැව පොලීසිය එල්ලා තිබූ වෙසක් කූඩු ගලවා තම නිවෙස් ඉදිරිපිට එල්ලා ගන්නා ලෙස බලපෑම් කර ඇතැයි සඳහන් වෙයි. පොලීසිය පැවසුවේ මෙයට ඉඩ නොදෙන ලෙස පැමිණිලි ලැබී ඇති බවයි. 17 කණුව ශ්‍රී ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති මානෑවේ පඤාරාම ස්වාමීන්වහන්සේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් බෞද්ධ චක්‍රලේඛය අනුව මෙය වරදක් බව පෙන්වා දී ඇත.


ප්‍රදර්ශනය කර තිබූ වෙසක් කූඩු ගලවා ගොඩගසන්නට ගමේ තරුණයන්ට සිදුවිය. වෙසක් දිනයේ දහවල් පොලීසිය බලාසිටියදී කූඩු කිහිපයක් ගිනිබත් විය. ගිනි තැබූ කූඩුවල ප්‍රදර්ශනය කළ ආගමික ලාංඡන ඉවත් කර ගිනි තැබීම සිදු කෙරිණි. දින කිහිපයක් තිස්සේ දේශපාලන බළල් හස්ත යොදමින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ බව ගමේ තරුණයෝ පැවසූහ.

සාලියවැව නගරයේ වෙසක් අසිරිය අහිමි කරන්නට වෙරදැරූ අයගේ බලාපොරොත්තු ඉටුවීය. වෙසක් කූඩු ගිනිබත් විය. නගරයේ දමා තිබූ සියලු බෞද්ධ කොඩි ඉවත්විය. සාලියවැවට මෙවර වෙසක් නොවීය. බෞද්ධ, කතෝලික තරුණයන්ගේ ආගමික සංහිඳියාව දෙගුණ තෙගුණ විය. රැස්වූ බෞද්ධ, කතෝලික තරුණයන් සහ වැඩිහිටියෝ එක් තීරණයකට එළඹුණහ. ඒ දෙසැම්බර් මාසයේ එන කතෝලිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වන නත්තල් දින දැවැන්ත නත්තල් ගසක් සාලියවැව නගරයේ නිර්මාණය කිරීමටයි. රටපුරා එකම ආකාරයෙන් වෙසක් කූඩු නිර්මාණය වෙත්දී සාලියවැව සිදුවීම පිළිබඳ ගවේෂණයක නිරත වූ අපට එහි යටගියාව ඉස්මතු කර ගැනීමට හැකිවිය. දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙවර වෙසක් අසිරිය සාලියවැවෙන් ගිලිහී ගිය බව එහිදී දැනගන්නට ලැබිණි.

මෙම වෙසක් කූඩු ප්‍රදර්ශනය සිදුකිරීමට කටයුතු කළ තරුණ බෞද්ධ කතෝලික සංගමයේ දරුවන් දෙදෙනකු කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සුමිත් ජයසේකර මන්ත්‍රීවරයාගේ දරුවන්ය. ඔහු 17 කණුව ශ්‍රී ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති මානෑවේ පඤාරාම ස්වාමින් වහන්සේ සමඟ සුහදශීලීව ඇසුරු කරන බෞද්ධයෙකි. සාලිය වැව නගරයේ සිට අනුරාධපුර දක්වා වසරක් පාසා සිදුකරන බෞද්ධ පෙරහර කිරීමට පියවර ගන්නේද ඔහුයි.

පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව තරණයන් වැඩිහිටියන් ඔහු වටා ඒකරාශී වී සිටිති. ඒ දේශපාලනය නිසා නොව හොඳ බෞද්ධයකු ලෙස ආගමික කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කිරීම නිසයි. ආගමික අවස්ථාවක වුවත් එක්සත් ජාතික පක්ෂයේ තරුණයන් සහ වැඩිහිටියන් පොදුජන පෙරමුණ නියෝජනය කරන සුමිත් ජයසේකර මන්ත්‍රීවරයා සමඟ වැඩකිරීම බලා සිටීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනකු ජනතාව කුලප්පු කරමින් 17 කණුව ශ්‍රී ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති මානෑවේ පඤාරාම ස්වාමින්වහන්සේට දුරකථන ඇමතුම් ලබාදෙමින් මෙය කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බව කියති.


මේ පිළිබඳ සුමිත් ජයසේකර මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය. “වෙසක් උත්සවය පමණක් නොව 21 වන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවිපිදූ සහ ඒ බෝම්බයට මුහුණදුන් සියලුදෙනා  සිහිකිරීම වෙනුවෙන් තමයි මේ වසරේ මේක කරන්න පටන් ගත්තෙ. නැතුව ආගම වෙනස් කරන්න නෙවෙයි. වෙසක් කූඩුවකට ආගම වෙනස් කරන්න පුළුවන් නම් බණ දේශනා කරලා මොනවා කරන්න බැරිද? මේ නගරේ ඉන්න සේරම ජනතාව තරාතිරම් අමතක කරලා ආගමික කටයුත්තකදී වගේම පොදු කටයුත්තකදී එකතු වෙනවා. මම සාලියවැව බෞද්ධ සංගමයේ සභාපති. කප්රුක් පූජා සංසදයේ ප්‍රධාන සංවිධායක. ශාන්ති පදනම සාලියවැව කරුවලගස්වැව ශාඛාවේ උප ප්‍රධාන සංවිධායක, කරුවලගස්වැව දේශෝදය සංසදයේ සභාපති, සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති. මේවා මට දීලා තිබෙන්නේ දේශපාලනය නිසා නොවෙයි. ජනතාවට මම වැඩ කරන්නෙ. එහෙම හිතලා තනතුරු තියාගෙන බලන් ඉන්න බැරි නිසා එකතුවෙලා වැඩ කරනවා. ඒක බලන් ඉන්න බැරි අය කුමන්ත්‍රණය කරලා කරුවලගස්වැව අඳුරු වෙසක් දිනයක් කළා. ඒකට තමයි ජනතා විරෝධය එල්ල වුණේ අපි සැලෙන්නෙ නැහැ.

මේ පිළිබඳ 17 කණුව ශ්‍රී ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති මානෑවේ පඤාරාම ස්වාමින් වහන්සේගෙන් විමසීමක් කළ අතර උන්වහන්සේ මෙසේ පැවසූහ. බෞද්ධ ආගම අනුව කුරුසය වෙසක් කූඩුවලට එක්කිරීම චක්‍රලේඛනය අනුව වරදක්. මොකද කුරුසිය බෞද්ධ ලාංඡනයක් නොවන නිසා. ඒ පිළිබඳ මම සාලියවැව පොලීසියට පැමිණිල්ලක් කළා. කිසිම අවස්ථාවක දේශපාලනඥයන්ට මම මේ ගැන කියලා නැහැ. කිසියම් අයකු ආගමික ගැටලුවක් හරහා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කර ඇති බව මට වැටහෙනවා. මෙහෙ විතරක් නෙවෙයි. රටේ සිදුවන ආගමික ගැටුම්වලදී දේශපාලනය මැදිහත්වීම් නිසා ගැටුම් විසඳා ගැනීමට ඇති අවස්ථා ගිලිහී යනවා. මට කතෝලික ජනතාවත් ගොඩක් කතා කළා. බෞද්ධ අයත් කතා කළා. ඒ අය කිව්වේ ශාසන ආරක්ෂණ බලමණ්ඩලය විදිහට මැදිහත් වෙලා මේක නවත්වන්න කියලා. ඒ නිසා මම නීතිය අනුව කටයුතු කළා. මේ වගේ වෙලාවට බොරදියේ මාලු බාන අයත් ඉන්නවා. නමුත් කිසිම අවස්ථාවලදී මම ස්වාමින් වහන්සේ නමක් විදිහට දේශපාලන වුවමනා එපාකම්වලට කටයුතු කරන්නේ නැහැ.

►රෝවන් පෙරේරා - පුත්තලම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00