2019 ජුනි 01 වන සෙනසුරාදා

මැටි ගුලියෙන් ආභරණ මවන රූපා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 234

අතට ගන්න මැටි ගුලියකින් ඇය අවසානයේ නිර්මාණය කරන්නේ ඔබ අත කරලන වළල්ලකි. මාලයකි. එසේත් නැතිනම් අරුංගල් යුගලකි. ඊට අමතරව ඇඳුම්, මල් පෝච්චි, ගමන් මලු මේ ආදිය ද ඇගේ නිර්මාණ වපසරියට අයත්ය. කාලයක් මුලුල්ලේ ඇගේ දිවි සැරිය සාරවත් කරලූයේ එකී කලාවයි. ජාතික සම්මානයත් ඉන්දියාවෙන් ලද සම්මානයත් ඇගේ ඒ කලා කෞශල්‍ය වෙනුවෙන් සාක්ෂි දරයි. ඇය ඉපයූ මුදලින් ඈ ඇගේ පුතුගේ සරසවි අධ්‍යාපනයට ද වියදම් කළේය. පාරම්පරිකව මුදල්හදල් තිබුණත් සැකෙවින්ම පවුලක්ම ජීවත් කරවන්නට ඈ වගකීම් දෙවුර දැරුවේ ඒ ඉපයූ මුදලෙනි.

ඇය රූපා කුමාරසිංහයි. කලගෙඩිහේනේ පදිංචි ඇය පවුලේ වැඩිමල් දියණියයි. ඇයට සොයුරන් හතරදෙනෙකි. පුතුන් දෙදෙනකුගේ මවක් වන ඇය ඇගෙන් පසු වැරවෑයමින් දියුණු කරගත් ව්‍යාපාරයේ උරුමය තම වැඩිමල් පුතුගේ බිරියට බාර දී ඇත.
මම හරි ආසයි මේ කර්මාන්තය මගේ මල්ලිලත් එක්ක එකතු වෙලා අපේ පවුලේම ව්‍යාපාරයක් විදිහට දියුණු කරගන්න. මල්ලිලා එකඟ වුණොත් දැනට කවුරුත් පදිංචි නැති අපේ උපන්ගෙයත් උපයෝගී කරගෙන මේ කර්මාන්තය මහා පරිමාණයෙන් කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මීටත් වඩා පුළුල් ව්‍යාපාරයක් විදිහට අපි දියුණු වුණොත් අල්ගම ඇල්ල එක්කම ඉඩමක් තියෙනවා. ඒකත් අරගෙන මේක තව විශාල පිරිසකට රැකියා ලබාදෙන ඒ වගේම දේශීය කර්මාන්තයක් විදිහට රටට ආදායම් උපද්දවන තැනකට මේ ව්‍යාපාරය ගේන්න මම හුඟක් උත්සාහ කරනවා.

අත්කම් නිර්මාණ පටන්ගත්තේ කොයි කාලෙක කොහොමදැයි අපි ඇයගෙන් ඇසුවෙමු.

අද මම මැටි ආභරණ පිළිබඳව ප්‍රවීණ ශිල්පිනියක් වුණත්, මම මේ ගමන පටන්ගත්තේ හරි පුංචි තැනකින්. මගේ ආච්චි අම්මා තමා මට මුලින්ම මේ ගැන ආසාවක් ඇති කළේ. ආච්චි අම්මා මේ වගේ නිර්මාණ කරන්න ආස කෙනෙක්. මම පැදුරු වියන්න ඉගෙනගත්තෙත් ආච්චි අම්මාගෙන්. ඒත් ඉස්කෝලෙ යන කාලෙ මම මේකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් කාලයක් යද්දි මම මගේම උත්සාහයෙන් ආච්චි අම්මා උගන්නපු දේවලුත් උපයෝගී කරගෙන අලුත් නිර්මාණ කරන්න පටන්ගත්තා. මගේ අරමුණ වුණේ ශිල්ප ගම්මානයක් ඇතිකර ගැනීම. එහෙම වුණොත් මේ ශිල්ප කවදාවත් අභාවයට යන්නෙ නෑ. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් ඒ උරුමය රැගෙන යාවි. මම විශ්වාස කරනවා අපේ සංස්කෘතික වටිනාකම රැකගෙන අපි යමක් උපන් රටට දායාද කළ යුතුයි කියලා.

ජාතික ශිල්ප සභාවට බැඳී එයින්ද මෙකී කර්මාන්තයට අදාළ සිද්ධාන්ත න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව හැදෑරෑ ඇය සංස්කෘතික මධ්‍යස්ථාන මෛත්‍රී ප්‍රතිපාදන ආදියෙහි උපදේශක තනතුරු ද ඉසුලුවාය. සමස්ත ලංකා ශිල්පීන්ගේ සංගමයේ ලේකම් ධූරය ද දැරුවාය. ශිල්ප පිපාසාවෙන් පෙළුණු ඇය ඉන්දියාවට ගියේද මේ කලාවේ වැඩිදුර හැදෑරීම් සඳහාය. 

2005 අවුරුද්දෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් මට මේ කර්මාන්තය දියුණු කරගන්න සෑහෙන උදව් ලැබුණා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා මට දුන් සහයෝගය මම ස්තූති පූර්වකව සිහිපත් කරනවා. ජාතික ශිල්ප සභාවට කලින් මම මගේ මැටි ආභරණ දැම්මත් දේශපාලන පළිගැනීමක් නිසා මට ඒ අවස්ථාව නැති වුණා. දැන් මම ලක්සැල සහ ලංකා Treat යන ආයතනවලට මෙම ආභරණ දානවා. මගේ ළඟ දැනටත් සේවකයෝ කිහිපදෙනෙක් වැඩ කරනවා. මගේ නිර්මාණවලට දේශීය ගැනුම්කරුවන්ටත් වඩා ප්‍රිය වෙන්නේ විදේශිකයන්. කරාබු, මාල, ඇඳුම්, මල් පෝච්චි, ගමන් මලු මේ හැමදෙයක්ම ඒ අය හරි ආසාවෙන් බලන්නේ සහ මිලදී ගන්නේ. අමුද්‍රව්‍ය මම ජීවත්වන ප්‍රදේශයෙන් වගේම බියගම දංකොටුව වගේ ප්‍රදේශවලිනුත් ලබාගන්නවා. ඇත්තටම අපි රටට බරක් නොවී සංස්කෘතික උරුමයක් රැකගෙන ඒ ඔස්සේ අපේ ආර්ථිකයත් සවිමත් කරගත් තවත් අයට ජීවත් වෙන්න අපේ කර්මාන්තය ඔස්සේ රැකියා ලබාදෙමින් උදව් කරපු අය. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපි වගේ දේශීය ව්‍යාපාරිකයන්ට උදව් කරන්න සහ හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරගන්න ඉඩ හදලා දෙන්න කියලා. එහෙම වුණොත් තව පරම්පරා එකකින් දෙකකින් අභාවයට යා හැකි මේ කර්මාන්ත එසේ නොවී රටේ ජාතික ආර්ථිකයට ලොකු ශක්තියක් දේවි.

ඇය කියන ඒ කතාවෙහි ගැඹුරැ අරුතක් තිබේ. පිටරටින් සියල්ල එනතුරු දත නියවා බලාගෙන සිටින තත්ත්වයට ඇද වැටුණු බහුතරයකට දේශිය සම්පත් දේශීය උරුම සහ සාර පොළොව අස්වනු නිම්න බවට පත්කරන ජාතික චින්තනයක හා ජාතික ආර්ථිකයක අවශ්‍යතාව පිළිබඳව සිතන්නට ඒ කතාව බල කරතැයි මට සිතේ.

 චන්න කස්සප කෝරළේආරච්චි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00