2019 ජුනි 01 වන සෙනසුරාදා

ඉත්තන්ට පේන්න මාදැල් ඇදීමේ කලාව

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 685

එකින් එක පරයන රැළි වෙරළ සිඹින විට වෙරළේ අරගලයට සේනා සංවිධානය වෙයි. මේ අරගලය දූපත් රාජ්‍යයක ධීවරයන්ගේ ඓතිහාසික අරගලයකි. එය ඔවුන්ගේ උරුමයකි. ගොඩබිමේ සිට මීටර් එක්‌දහස්‌ පන්සීයක්‌ පමණ දුරකට පමණ ඇදෙන මිනිසුන් පිරිසකි. මේ ගමන මාදැල වටකිරීම වෙනුවෙනි. දෙවියන් සිහිකොට රළ අතරින් දියඹට ඇදෙන ඔරුවේ නායකයා මරක්කලහේය. පළමුව මාදැල් ඔරුවකට පටවාගෙන ඔවුන් මේ ගමන් කරන්නේ දැල් වටකිරීම වෙනුවෙනි. ධීවරයන් අටදෙනෙක් පමණ මේ සඳහා පිටත්ව යති.

මේ ගමනේ ලාබ පාඩු ධීවර ශිල්පයේ කෙළ පැමිණි පැරැන්නෝ මුහුදට බැස සාගරයේ උණුසුම මැන බලා කියන්නට සමතුන්ය. එම අනාවැකි බොහෝ විට නිවැරදිය. දැල වට කරන්නේ උදයේද සවසද යන්න තීරණය කරන්නේ ශිල්පයේ ප්‍රවීණයන් මහා සාගරයේ වර්ණ හොඳින් බලාකියාගත් පසුවය. අපට නොතේරෙන මේ අපූරු මුහුදු මිනිසුන්ගේ සාත්තර කීමේ හැකියාව ඔවුන් පාරම්පරිකව උරුම කර ගත්තකි. රත ගැහීමෙන් ඔවුන් සීරුමාරුවට තේරුම් බේරුම් කරගන්නේ මාළු කෙළියට සාගරයේ ඇති උචිත අනුචිත බවයි.

දැල වටකිරීමට රළ අතරින් ඉදිරියට ඇදෙන මරක්කලහේ ඇතුළු පිරිස හොඳ පුරුදු කාරයෝය. මාළු ගැවසෙන ඉසව් හේ හොඳින් දැන සිටී. මාළු රෑන් මේ පෙදෙසට එන යන වෙලාවල් පිළිබඳවද මනා දැනුමක් ඔහුට ඇත. සාගරයේ වර්ණ පිළිබඳ ගොඩබිමේ සිට කියනා අනාවැකි සපථ කරමින් ගමනේදී සාගරයේ තැන තැන කාලවර්ණ ලප මතුවී පෙනෙන්නට ගනී. ඒ මාළු අයින් බව ඔවුහු දනිති. එම මාළු අයින් මැදිකර ඔවුහු දැල වටකරති. මේ ගමනේදී දැලේ එක්‌ කොනක්‌ ගොඩ තබා ඒම සිදුවේ. එමෙන්ම දැලේ මඩිය හරි මැදින් තබා දැල වටකිරීම කළයුතු වේ. සුළං අතද දියවැල්ද මේ මාදැල් වටකිරීමේදී සලකා බලති. සැබෑවටම මඩිය තර වන්නේ මේ සියලු දෑ එක්තැන් වූ විටය.

අද මේ මාදැලේ රාජකාරි ඉතා සංකීර්ණය. මාදැලේ අයිතිකරු ඒ සඳහා වාර්ෂිකව බලපත්‍රයක්‌ ලබාගත යුතුවේ. රටේ හැම වෙරළකම මාදැල් ඇදීම සිදුකළ නොහැකිය. ඊට අවසරලත් මාදැල් පොළවල් තිබේ. සාගර සම්පත සුරැකීමේ අටියෙන් දීර්ඝ කාලයක සිට මෙම වැඩපිළිවෙළ දියත් කෙරේ. නව බලපත්‍ර ලබාදීමද දැන් ඉතා විරලව සිදුවන්නකි. දැල පිළිබඳව ගත්තද යම් යම් ප්‍රමිතීන් ඇත.


අතීතයේදී නම් ලණු දැල් යොදා මාළු ඇල්ලීම සිදුව තිබේ. දැලේ ඇස්‌ ලොකුවීම නිසා පොඩිමාළු හසුකර ගැනීම අපහසු වූයෙන් මාදැල් ධීවරයන් විසින් නයිලෝන් නූල් වලින් හදාගත් දැල් භාවිත කිරීම දක්වා ක්‍රමික ගමනක් පැමිණ තිබේ. අද වනවිට අඟලේ දැල් මීට යොදාගන්නා බව කියැවේ. මාදැලේ අගට යනවිට දැල් ඇස්‌ පොඩි වේ. දැලේ මුලට ලණු යොදා ඉන්පසු නයිලෝන් නූල් භාවිතා කරයි. අලුත් පන්නේ අඟලේ දැල් එන්නේ ඉන්පසුවය. කෙසේ නමුත් මාදැලක්‌ බඹ දෙසීයක්‌ දිග බවත් උස බඹ එකොළහක් පමණ බවත් කියැවේ.

ඔරුවලින් ගිය පිරිස දැල වටකරන විට ගොඩ සිටින ඉත්තන්ට ඔවුන්ව පෙනෙන්නේ ඉතා කුඩාවටය. ඉත්තන් යැයි කීවේ මාදැල ගොඩට ඇදීමට සූදානම් වෙන පිරිසයි. ඒ දෙපිරිසම මාදැල් වටකිරීමේදී මෙන්ම දැල ඇදීමේදීත් වැඩිමනක් භාවිතා කරන්නේ සංඥා බසකි. එම භාෂාව ඔවුන්ට හොඳට හුරුපුරුදුය. මාළුන්ට හොරා කරන මේ කටයුත්ත ඔවුන්ට නෑසෙන්නට ඔවුන් කරන සෙයකි. පිටව ගිය අප මරක්කලහේ ඇතුළු පිරිස දැල එළා අවසන්ය. ඒ  බව ගොඩ සිටින අයට නොපෙනේ. කාර්ය නිමවූ බවට සංඥාව ලැබේ. මුහුදේ ඇති ඔරුවල හැසිරීම නිරීක්ෂණය කරන ගොඩ සිටින මාදැලේ නායක තැන එය අවබෝධ කර ගනී. මේ සියල්ල සිදුවන්නේ ධීවර ශිල්පයේ පරම්පරික ඥානය ඇසුරිණි.

මාදැල එලා අවසන් වනවිට දෙකෙළවර කඹ වටා පිරිස දෙකට බෙදී මඩිය තර කිරීමට සූදානම් වෙති. මේ අතරේ මුහුදේ සිටින ඔරුකාරයෝ පාඩු දැමීම අරඹති. පාඩු දමනවා යනු මාළු දැල වෙත රැස් කිරීමයි. එය යම් ආකාරයක කුපිත කිරීමකි. මෙය එකම කලබැගෑනියකි. පිරිස අතින් සහ හබලෙන් මුහුදු ජලයට කළඹමින් ශබ්ද නගයි. සමහරුන් වතුරට පැන පිහිනා ගොස් ජලය කලතයි. මේ සියල්ලම පාඩු දැමීම ලෙස නම් වේ. වේලාසන මුහුදු ගිය අපේ පිරිස දැන් සිදුකරමින් සිටින්නේ මේ අපූරැ කටයුත්තයි. ලහිලහියේ මාළු දැල තුළට ඇදෙති. ඒ වෙරළ බලා එනු රිසියෙනි. නැත එය මහා මුලාවකි.

මාදැල් පන්න ක්‍රමයේ අතීත කතාවද සිත් අලවන සුළුය. එය ධීවර කර්මාන්ත ඇති පැරැණිතම පන්න ක්‍රමයක් යැයි කියැවේ. මේ ඉතිහාසය කුවේණියගේ කාලයටත් එහා ඇදෙන බැව් ඇතැම් තැනක කියැවේ. යක්ෂ ගෝත්‍රිකයෝ මුහුදු වෙරළේ වැවෙන බිංතඹරැ වැල් එකතුකොට දැල් සාදා මසුන් මැරෑ බවට ජනප්‍රවාද ඇත. කෙසේ නමුත් ඒ ඉතිහාසය තහවුරු නොකරන ලද්දකි. එහෙත් දූපත් රාජ්‍යයක් වන මේ බිමේ ආදි මානවයාද ධීවරකම් නොකළැයි කාට කිව හැකිද? අප ආදිවාසීන් විසින් ලණු භාවිත කරමින් දැල් සාදාගෙන මාළු ඇල්ලූ බව පොත පතේ කියැවේ. මාදැලේ ආරම්භය මේ සියල්ල ඇසුරේ සිදුව තිබේ.

පැරැණි ඔරු පන්න ධීවර ක්‍රම අභාවයට ගොස් අද වනවිට මෝටර් බෝට්ටු ට්‍රෝලර් යාත්‍රා ධීවර කර්මාන්තය ආක්‍රමණය කර ඇත. එදා විශාල මසුන් අස්වැන්නක් නෙළා ගත හැකි එකම ක්‍රමය මාදැල වුවත් අද කතාව ඊට වෙනස්‍ වී තිබේ. ඒ නිසාම ලංකාවේ ඉපැරණිම පන්න ක්‍රමයක්‌ වන මාදැල් පන්න ක්‍රමය වර්තමානයේ අභාවයට යමින් පවතී. දැල්වල සහ ආම්පන්නවල මිල ගණන්ද ඊට හේතුවී ඇත. වර්තමානයේ මාදැලක මිල රුපියල් ලක්‍ෂ හයක් පමණ බව කියැවේ. නමුත් අද මේ කර්මාන්තයෙන් හරිහමන් ආදායමක්‌ ලැබෙන්නේ නැති බවට මැසිවිලි නැඟේ. එම නිසාම මාදැලේ ඉතිහාස කතාව අද වනවිට අවසාන පරිච්ඡේදයට ළංව ඇතැයි කීම සාධාරණය.

ගල්පර රහිත නොගැඹුරු මුහුදේ දැන් මාදැල් එලා අවසන්ය. බොහෝ පිරිස් පළල් වෙරළ තීරයට රඅස්වෙමින් සිටී. පරම්පරාගත උරුමය ඇත්තෝ මුහුද දෙස බලා නෙක නෙක අනාවැකි කියමින් සිටී. මාදැලේ මඩිය තරවේ. හෙලෙයි හෙලෙයියා හඬ නැඟේ. මාදැල ඇදීම ඇරුඹේ. මාදැලෙන් මාළු මිලදී ගැනීම සඳහා ජනයා වැල්ලට රැස්වෙති.

ලබන සතියේ මාදැල අදිමු....
► චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ I අන්තර්ජාලයෙනි