“වර්තමාන නවකතා අතර විශාල සංඛ්‍යාවක් ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ කෘතීන්ය. ඔහුගේ හස්තයෙන් නිමවන ලද සෑම කෘතියක්ම මහජනයා විසින් ඉතා ආශාවෙන් කියවනු ලැබේ. ඔහුගේ කෘති මෙපමණ ජනප්‍රිය වූයේ ඒවා සියල්ලක්ම ප්‍රේම කතා වන හෙයිනි. ඒ මතු ද නොවේ. ධර්මිෂ්ඨයා සෑමවිටම ජයගන්නා, දුෂ්ටයා පරාජය වන අවසානයේදී පෙම්වතුන් එක්වන මනෝ රාජ්‍යයකට ඔහු පාඨකයා ඇතුළු කරයි” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ එම සටහන අපට මතක් වූයේ ඩබ්ලිව්. ඒ. සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරයට පිවිසි විටය. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සාහිත්‍ය කෘති පිළිබඳ හරස්කඩක් වශයෙන් එම අදහස සැලකිය හැකිය.
එදා වැල්ලවත්තේ හයිස්ට්‍රීට් නමින් හැඳින්වූ අද ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ පිහිටි රමණීය සැලසුමකින් යුත් ‘සිල්වර් මියර්’ නිවසේ පිහිටි කෞතුකාගාරයට අපි පිවිසුණේ නූතන නවකතා කලාවේ කතාන්දර රජු ලෙස හැඳින්වෙන ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සාහිත්‍ය මතක සටහන් අතර කිමිදීමටය.
වර්ෂ 1890දී උපත ලබා 1957දී මෙලොවින් සමුගන්නා තෙක්ම වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්. ඒ. සිල්වා ජීවත් වුණේ ‘සිල්වර් මියර්’ නම් නිවසේය. ඔහු විසින් සිංහල සාහිත්‍යයට දායාද කළ සියලුම කෘති ලිව්වේ මේ නිවසේ ඉදිරිපස කාමරයේ සිටය. අවුරුදු 150කට වඩා පැරණි හුණු කපරාරු කළ මෙම නිවස තනා ඇත්තේ කබොක් ගල්වලිනි. එහි ගෙබිමට ටෙරාකොටා ගඩොල් අතුරා තිබේ. සමහර තැන්වල පැරණි පිඟන් ගඩොල්වල රටා යොදාගෙන තැනූ මොසැයික් මෝස්තරය.
ජරාවාස වී තිබුණු සිල්වමියර් නිවස අලුත්වැඩියා කර ඩබ්ලිව්. ඒ. සිල්වා කෞතුකාගාරය පිහිටුවීමට විශාල කාර්යභාරයක් ඉටු කළේ වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති ශාස්ත්‍රපති වතවන සිරිසුමන නාහිමියෝ වෙති. ඩබ්ලිව්. ඒ. සිල්වා පදනමේ සභාපති වන උන්වහන්සේ මේ සාහිත්‍යවේදියාගේ පාඨකයෙක් ද වෙති. අපට කෞතුකාගාරය පෙන්වීමට මඟපෙන්වමින් කතාබහට එක් වූ සිරිසුමන හිමියෝ මෙසේ පැවසූහ.
“ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් හිටියේ අවිවාහකවයි. ඔහු දරු තනතුරේ තබාගන්නේ තමන්ගේ මල්ලිගේ පුත්‍රයා වන සෙනරත් නන්දදේව. ඔහු පසුව රජයේ පරිපාලන නිලධාරියෙක් වුණා. ඔහු විවාහ වුණත් දරුවෝ හිටියේ නැහැ. මමත් ඔහුත් අතර පැවති හිතවත්කම නිසා 2010 අවුරුද්දෙදි නන්දදේව මහත්තයා අන්ත්‍රාවූ විට ඔහුගේ අන්තිම කැමති පත්‍රය අනුව ඩබ්ලිව්. ඒ. සිල්වා පදිංචිව සිටි නිවස සහ පොත්පතිවල අයිතිය මට හිමිවුණා. මහා ලේඛකයා භාවිත කළ ගෘහ භාණ්ඩ, පොත්වල අත්පිටපත් ආදියත් මට හිමිවුණා. ජාතික සම්පතක් වන එතුමාගේ දේපල පොදු ජනතාවට සේවයක් වන වැඩකට යොමු කිරීමට මට අවශ්‍ය වුණා. එතුමාගේ ජාතික සාහිත්‍ය සේවයට කලගුණ සැලකීමක් සඳහා කෞතුකාගාරයක් නිර්මාණය කිරීමේ අදහසක් ඇති වුණා. ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් නිවසේ තිබෙනවා. ඩබ්ලිව්. ඒ. සිල්වා නාමය ටික කලක් මියගිහින් වගේ තිබුණේ. ඒ නාමය යළිත් නගා සිටුවීමටත් මට අවශ්‍ය වුණා.”
‘සිල්වර් මියර්’ නිවස කෞතුකාගාරයක් බවට පත් කළේ විශාල බාධක මැදය. නිවස ප්‍රතිසංස්කරණයට විශාල මුදලක් අවශ්‍ය වීම පළමු බාධකයයි. ඩබ්ලිව්. ඒ. සිල්වා පදනම ආරම්භ කළ සිරිසුමන හිමියෝ ඒ සඳහා අඩිතාලම දැමුවෝය. “රජයේ ආයතන කිහිපයකටම මේ සඳහා අරමුදල් ලබා ගැනීමට කතා කළත් සාර්ථක වුණේ නෑ. ඔවුන් කෞතුකාගාරයේ අයිතිය පවරන ලෙස පැවසුවා. පසුව ඒ අදහස ඉවත් කර පන්සලේ දායකයන්ගේ සහ පදනමේ අයගේ කැපවීමෙන් ගොඩගේ ආයතනයෙන් සිල්වා මහතාගේ පොත්වලට ලැබෙන කර්තෘ භාගයත් යොදවා කෞතුකාගාරය ආරම්භ කළා”
වර්ෂ 1900 වනවිට වැල්ලවත්ත පොල් අතු සෙවිල්ලු නිවසින් යුත් රමණීය පිටිසර ගම්මානයකි. එකල ගාලු පාරද බොරලු පාරක් විය. ගාලු පාරට නුදුරින් පිහිටි සිල්වර් මියර් නිවස ඒ කාලයේ හැටියට විශාල මන්දිරයක් විය. එම නිවස පසුකාලීනව ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් සිල්වර් මියර් ලෙස නම් කරනු ලැබීය. එහි අරුත ‘රිදීමය වැව’ යන්නයි.
මුල් කාලයේ ජනප්‍රිය වී තිබූ පියදාස සිරිසේනගේ උපදේශාත්මක නවකතා ආර වෙනුවට කතා රසයට මුල්තැන දෙන සාහිත්‍ය නිර්මාණ ඩබ්ලිව්. ඒ. සිල්වා අතින් බිහිවිය. ඔහුගේ නවකතා එකල පිටපත් දහස් ගණනින් අලෙවි වුණේ උණු කැවුම් පරිදිය. පුල්ස්කැප් පොත්වල උල්පත් පෑනෙන් ලියූ නවකතාවල අත් පිටපත් ද පාඨකයන්ට එහිදී දැකගත හැකිය. “නවකතාවල අත්පිටපත් සියල්ල මා සතුව තිබුණත් ඒ හැම එකක්ම කෞතුකාගාරයේ දැනට ප්‍රදර්ශනයට තබා නෑ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා. ඒ වගේම ගෙදර තිබුණු කෘතිවල මුල් මුද්‍රණ රාශියක් විනාශ වෙලා තිබුණා. ඒවා ගැන අවධානයක් යොමු නොවූ නිසා. මා භාරයට පත්වූ පසු හමු වූ මුල් මුද්‍රණ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ කාලේ පොතක් විකුණලා තියෙන්නේ රු.1.50ක් වගේ මුදලකට” සිරිසුමන හිමියෝ ප්‍රදර්ශන මැදිරියක සිට පැවසූහ.
එක් ජනේලයකින් යුත් නිවසේ ඉදිරිපස කාමරය වෙන් වී ඇත්තේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ කාර්යාල කාමරයටය. එහි ඔහු පොත් ලියූ මේසය සහ පුටුව තවමත් තිබේ. එකල කවියන්, සාහිත්‍යකාමීන් සහ ලේඛකයන් වූ මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන, කුමාරතුංග මුණිදාස වැන්නන් නිතර සිල්ව මියර් නිවසට පැමිණීම සිරිතක් කරගෙන තිබුණි. ඔවුන්ට කෑම සකසා දුන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වාය. දිනක් මිතුරෙක් සිල්වාගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
“ඔබ විවාහ නොවන්නේ ඇයි?”
“මම විවාහ වෙලා” ඔහු කීවේය.
“එහෙනම් අපි නොදන්නේ?”
“මම විවාහ වෙලා ඉන්නේ සාහිත්‍යයත් සමඟයි” මහා ලේඛකයා පැවසුවේය.
ලේඛකයාගේ ප්‍රකාශනවල පැරණි මුද්‍රණ සමඟ නව මුද්‍රණ ද මෙහි තැන්පත් කර තිබේ. පාඨකයන්ට අවශ්‍ය නම් නවකතාවල නව මුද්‍රණ මිලදී ගැනීමට ද පුළුවන. කෞතුකාගාරයේ පරිපාලන නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ තමාරි තිලකවර්ධනයි. ඇය ද අපට මඟ පෙන්වමින් කෞතුකාගාරය පිළිබඳව විස්තර කළාය. එහි එක් කාමරයක් වෙන්ව ඇත්තේ ලෙටර්ප්‍රෙස් මුද්‍රණ තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබාදීමටයි. එකල සිල්වාගේ පොතපත පළ කළේ ලෙටර්ප්‍රෙස් මගින් අකුරු අමුණා කළ මුද්‍රණ ශිල්පයෙනි. ඔහුගේ ජීවිතය පිළිබඳ සටහන්, පැරණි ඡායාරූප පිටපත්, නිවසේ තිබූ පැරණි භාණ්ඩ ආදිය ද මෙහි ප්‍රදර්ශනය කෙරේ.
සිරියලතා නවකතාව ලියමින් 1907දී ආරම්භ කළ ඔහුගේ සාහිත්‍ය දිවිය ලක්ෂ්මී (1922), හිඟන කොල්ලා (1923), පාසල් ගුරුවරී (1924), දෙයියන්ගෙ රටේ (1926), කැලෑ හඳ (1933), දෛවයෝගය (1936), සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936), විජයබා කොල්ලය (1938), හඳපාන ඇතුළු නිර්මාණ කෘති රාශියක් රටට තිළිණ කිරීමට සමත් විය.
ඒ අතරින් 1953දී සිනමාවට නැගූ පළමු සිංහල නවකතාව බවට පත්වෙමින් ‘කැලෑ හඳ’ වාර්තාවක් තැබුවේය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය කළ කැලෑ හඳ එකල අතිශය ජනප්‍රිය විය. එම පුවත 1953 දෙසැම්බර් 14 දා ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වශයෙන් පළ කෙරුණේ “ප්‍රථම වරට සිංහල නවකතාවක් චිත්‍රපටයක් වේ” යන ශීර්ෂ පාඨයෙනි. රුක්මණී දේවි සහ එඩී ජයමාන්න ප්‍රධාන චරිත නිරෑපණය කළ එයට වැය වූ මුදල රු. ලක්ෂ පහක් බව පුවත්පත් වාර්තාවේ දැක්වේ.
මෑතකදී කැලෑ හඳ ටෙලි නාට්‍යයක් වශයෙන්ද නිර්මාණය කෙරුණි. සිරියලතා, හිඟන කොල්ලා, දෙයියන්ගෙ රටේ, දෛවයෝගය හා නවකතා ද ජනප්‍රිය චිත්‍රපට බවට පත්විය. මේ වනවිට ඔහුගේ විජයබා කොල්ලය නවකතාව ද මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිනමාවට නගා අවසන්ය.
ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නිවසේ ඉදිරිපස ජනේලය දකින මා හට මතක් වූයේ ඔහුගේ ප්‍රේමය පිළිබඳ අපූරු සිද්ධියකි. ඒ සිද්ධිය මලල්ගොඩ බන්දුතිලක ලියූ ‘මහා ගත්කරු’ නම් පොතේ මෙසේ සඳහන්ය.
“මෙයින් තිස් වසරකට පමණ පෙර ඩබ්ලියු. ඒ. ඥාති සම්බන්ධකමක් ඇති එක්තරා ඉංග්‍රීසි පාසල් ගුරුවරියක හා සරණ ගිවිස සිටියේය. පුදුමයකට මෙන් ඩබ්ලිව්. ඒ.ගේ නෙතත්, සිතත් දිනා සිටි නමුතු ඕ තොමෝ වූ කලී ඔහු කෙරෙහි නොයෙක් සැක පහළ කරමින් ඔහුගේ සෑම ඉරියව්වක්ම හොර රහසේ විමසමින් සකල කාන්තාවන්ම තමන්ගෙන් ඔහු පැහැර ගැනීමට දිවුට සිටින්නී යයි සිතමින් පසුවූ ශකාසෝභිනියකි. එක් දවසක සිල්වර් මියර් මන්දිරයේ විසූ වැඩිහියෝ, නෑ ගමනක් සඳහා බැහැර ගියහ. ඉතිරි වුණේ මාටින් නමැති ආවතේවකාරයාත්, මහලු කුස්සිඅම්මාත්, ඇයගේ තරුණ දියණියත්, සිල්වා මහතාත් පමණකි. ඔහු කලින්ම රෑ කෑම කා පොත් කිහිපයක් රැගෙන මහමගට මුහුණ දී ඇති තම සයනාගාරයට ගොස් යහනෙහි ඇලවුණේය. සුළු වේලාවකින් වසා තිබුණු කපාටයට උඩින් පිහිටි මල්ලිය පුවරුවෙන් තම යහන දෙසට යොමු වූ දෙඇසකුත්, ඔළුවකුත් ඔහුට දක්නට ලැබුණි. පසුව සෙමින් දොර හැර ආලින්දය පසුකර අංගණයට ගිය ඔහුට අවතාරය හැඳින ගැනීමට හැකිවිය. ඒ බණ්ඩා නම් ඔහු සරණ පතන තරුණ පාසල් ගුරුවරියගේ සේවකයෙකි. කාමරයට එබිකම් කළේ ඇයිදැයි ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් ඇසූවිට බණ්ඩා මෙසේ පැවසීය.
“ඉස්කෝලෙ හාමිනේ බලන්න කිව්ව හින්දයි මං බැලුවේ. අනේ බුදු මහත්තයො මාව මරන්න එපා”
“මොනවද තොට ඉස්කෝලෙ හාමිනේ බලන්නෙයි කිව්වේ?”
“මහත්තයගේ කාමරේ ආයා හෙම ඉන්නවද බලන්න කිව්වා”
“වර යන්න ඉස්කොලෙ හාමිනේ බලන්න”යි කියමින් ඔහු බණ්ඩාට මෙසේ පැවසීය.
“මේ අහපන්, තෝ දැන් ඉස්කෝලෙ හැමිනේලෑ ගේ ළඟට ගියාම තෝව කවුරුත් මරන් කන්න හැදුවා වගේ මරහඬ තලන්න ඕනෑ. ඉස්කෝලෙ හාමිනේ බලන්න කිව්ව හින්දයි බැලුවේ කියා කියන්න ඕනෑ. නැතිනම් ගෑස් කණුවක ගැට ගහලා තෝ මරලා කක්කුස්සි වළක දානවා”
බණ්ඩා ද අකුරටම වැඩ කළේය. මෙපමණින් ඩබ්ලිව්. ඒ. සිල්වා හා විවාහ වීම පිළිබඳ ඉස්කෝලේ හාමිනේගේ අපේක්ෂාව සදහටම සුන් වූවාය. එහෙත් ඔහුගේ පන්හිඳෙන් 1921 ‘පාසල් ගුරුවරී’ නැමති කෘතිය පහළ වුණේය.
ඩබ්ලිව්. ඒ. සිල්වා පදනමේ කාර්යභාරය කෞතුකාගාරයට පමණක් සීමා වී නැත. ඒ පිළිබඳව වතවන සිරිසුමන හිමියෝ මෙසේ පැවසූහ.
“ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ තෝරාගත් කෙටිකතා ගණනාවක් දෙමළ බසට පරිවර්තනය කර තිබෙනවා. මෙතුමාගේ සාහිත්‍ය සේවය ගැන ඉදිරි පරම්පරා ද දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ දක්ෂම ශිෂ්‍යයාට වාර්ෂිකව රන් පදක්කමක් පිරිනමනවා. පදනමට ඇති ආර්ථික දුෂ්කරතා නිසා තවත් වැඩ රාශියක් කිරීමට බාධා මතුව තිබෙනවා.”
කෞතුකාගාරය විවෘතව පවතින්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල උදේ 10.00 සිට හවස 4.00 දක්වාත් සෙනසුරාදා ඉරිදා දිනවල උදේ 10.00 සිට සවස 5.00 දක්වාත්ය. සඳුදා, සිකුරාදා සහ රජයේ නිවාඩු දිනවල එය වසා තැබේ. ඔබ සිල්වර් මියර් නිවස ඉදිරිපිටට ගොස් එහි ඇති නූල ඇද්ද විට නිවසේ සීනුව නාද වෙයි. එවිට පාලිකාවක් පැමිණ ඔබ කෞතුකාගාරයට කැඳවාගෙන යනු ඇත.
කෞතුකාගාරය ගැන නරඹන්නන් තුළ දැනුවත් භාවයක් නැති නිසා එය නැරඹීමට එන්නේ සුළු සංඛ්‍යාවකි. කොළඹ නගරයේ අධ්‍යාපන චාරිකාවලට පැමිණෙන පාසල් දරුවන්ට මෙන්ම සාහිත්‍යයට ලැදි කාටත් සිල්වර් මියර් නිවස නැරඹීමෙන් මහා ලේඛකයකුගේ අත්දැකීම්වලට සමීප වීමට ඉඩ ලැබේ. මේ පිළිබඳ වැඩි විස්තර 011-2587375 දුරකථනයට වතවන සිරිසුමන නාහිමියන්ට කතා කිරීමෙන් ලබා ගැනීමට පුළුවන.
සටහන / සේයාරූ
►කුසුම්සිරි විජයවර්ධන