2019 ජුනි 01 වන සෙනසුරාදා

ක්ලියර් බෑග් එකෙන් පාසල් ළමුන් ගසාකන්න හැදූ විදුහල්පතිලා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

ආරක්ෂක හේතූන් මත බොහෝ පාසල්වලින් දෙමාපියන්ට උපදෙස් ලැබුණේ දරුවන්ගේ පොත්පත් විනිවිද පෙනෙන (Clear bag) බෑගයකට අසුරා එවන ලෙසයි. එවිට ඇතුළේ තිබෙන දෑ පහසුවෙන් දැකබලා ගැනීමට හැකිවීම එයට හේතුවයි. සමහර පාසල්වල විදුහල්පතිවරු විනිවිද පෙනෙන බෑග් අනිවාර්ය කර ඇති බව ආරංචි විය. එයින් ද නොනැවතී දරුවන්ගේ කෑම පෙට්ටි සහ වතුර බෝතල් ද විනිවිද පෙනිය යුතු බවට නිල නොවන නීති පනවා තිබුණි.

මමද පුතුට බෑගයක් මිලදී ගැනීමට මාලඹේ වෙළෙඳ සැලකට ගියෙමි..

“කීයද මේ ක්ලියර් බෑග් එක..?” කුඩා බෑගයක් පෙන්වූ මම ඇසුවෙමි...

“1550/-යි.”

“ගාණ අඩු කරන්න බැරිද..?”

“බැහැනෙ මහත්තයා. ඉස්කෝලවලින් අනිවාර්ය කරලනේ තියෙන්නේ. කීය දීලා හරි මවුපියෝ ගන්නවා.” සේවකයා පැවසුවේය. මම බෑගය මිලදී නොගෙන ආපසු ආවෙමි. එම බෑග්වල දැන් සිසුන් රැගෙන යන පොත් තොගය දැමූවිට ද ඉරීයන බවද පෙනුණි.

දෙවැනි පාසල් වාරය මැයි 6දා 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට ද මැයි 13 දා ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට ද ආරම්භ වුවද පාසල් ගියේ ළමුන් ඉතා සුළු ප්‍රමාණයකි. බහුතරයක් දරුවන් පාසල් ගමන ආරම්භ කළේ බෝම්බ බිය තරමක් පහව ගිය වෙසක් නිවාඩුවෙන් පසු මැයි 21දාය. සෑම පාසලකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරිණි. සමහර පාසල්වල දරුවන්ට අත්‍යවශ්‍ය පොත් පමණක් රැගෙන එන ලෙස පවසා තිබූ අතර තවත් සමහර පාසල්වලින් පවසා තිබුණේ විනිවිද පෙනෙන බෑග් පමණක් රැගෙන එන ලෙසය.

මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ බොහෝ දරුවන් ද කලකට පසු පාසලට පැමිණියේ තමන් සතු සාමාන්‍ය බෑග්වල පොත්පත් රැගෙනය. එහෙත් ගේට්ටුව අසල බෑග් පරීක්ෂා කිරීමේදී විනිවිද නොපෙනෙන බෑග් රැගෙන පැමිණි දරුවෝ දැඩි අපහසුතාවයට පත්වූහ. එවැනි බෑග්වල තිබූ පොත්පත්, කෑම පෙට්ටි ආදිය ඉවත් කර බෑග් සියල්ලම ගේට්ටුව අසලට විසිකර ගොඩගැසීමට පරීක්ෂා කරන පිරිස් කටයුතු කළ ආකාරය දැකගත හැකිවිය. සමහර කුඩා දරුවෝ බෑග් නොමැතිව හඬා වැටෙන්නට වූහ. ආරක්ෂක හේතූන් මත සාමාන්‍ය බෑග් රැගෙන පාසලට ඒමට විදුහල්පතිවරයා අවසර නොදීම එයට හේතුවයි. මේ පිළිබඳව පාසලේ සිසුන්ගේ බොහෝ දෙමාපියෝ දැඩි විරෝධය පළකර සිටියහ.


මේ පිළිබඳව අවධානය යොමුකරන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ විනිවිද පෙනෙන බෑග් රැගෙන එන ලෙස සිසුන්ට. කිසිදු නියෝගයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර නැති බවයි. මේ නිසා මයුරපාද මැදි විදුහලේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවේය. මේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඒ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූයේ මේ අයුරිනි:-
“සමහර පාසල්වල ළමුන්ට මේක ලොකු මානසික කරදරයක්. ජයවර්ධනපුර කලාපයේ සමහර පාසල්වලින් මේ බෑග්වලට ළමුන්ගෙන් සල්ලි ගන්න බව වාර්තා වුණා. ඔය බෑග් එකක් රු. 1500/-, 2000/- වගේ වෙනවා. ශක්තියක් නැති නිසා ටික දිනකින් ඉරෙනවා. ළමයි හතළිස් තුන් ලක්ෂයක් පාසල්වල ඉන්නවා. බෑග් ලක්ෂ 43ක් එකපාරට ගන්න කෙහෙද තියෙන්නේ? ජනවාරි මාසේ ළමයින්ට දෙමාපියෝ අලුතින් බෑග් අරන්දීලා තියෙන්නේ. ආයෙත් පාරක් බෑග් මිලදී ගැනීමට හැකියාවක් තියනවාද? අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධව නිහඬ අනුමැතියක් දීලා තිබෙනවා. මේ බෑග් කතාව තනිකරම විහිළුවක්.

මේක අලුත් ව්‍යාපාරයක්. සමහර විදුහල්පතිවරුන් මේ බෑග් බිස්නස් එක පිටුපස්සේ ඉන්නවා. ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ඔය බෑග් නිසා සිදුවන්නේ නැහැ. බෑග්වල බර පොත් දාන්නත් බැහැ. අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අධ්‍යාපන අමාත්‍යාංශය මේක නැවතීමට ලිඛිතව සඳහන් කර ලියුමක් යැවිය යුතුය. මම මේ සිද්ධිය සබරගමුව ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායකට පැවසූ විට ඔහු කිව්වා. මේක අහෝසිකරන ලෙස වහාම ලිපියක් පළාතේ පාසල්වලට යොමුකරන බව.”

බෑග්වලට අමතරව සමහර පාසල්වල ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී. පද්ධති මිලදී ගැනීමට ද දෙමාපියන් මත බර පටවන එම වාර්තාවේ. තිබෙන වියදම් මදිවාට CCTV කැමරාවල බරදැරීමට ද දෙමාපියන්ට හැකියාවක් නැත. මෙවැනි කටයුතු වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීම අවශ්‍යය.

මේ පිළිබඳව අප සමඟ කතා කළ ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලකට තම දියණියන් යවන පියෙකු වන එස්. උඩගමගේ මෙසේ කීවේය. “අපේ ළමයි නම් යන්නේ පරණ බෑග්ම අරගෙන තමයි. එයාලට පාසලෙන් අනිවාර්ය කරලා නෑ ක්ලියර් බෑග් ගේන්න කියලා. ළමයින්ගේ බෑග් ගේට්ටුවේදී ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ දෙමාපියන් එක්ව පරීක්ෂා කරලානේ ඇතුළට යවන්නේ.”

අප ඊළඟට කතා කළේ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුටය. “අපි කිසිම විටක පාසල් ළමුන්ට අලුතින් බෑග් ගේන්න කියලා නෑ. බෑගය පරීක්ෂා කරලා පාසලට ඇතුළුකර ගන්නා නිසා ආරක්ෂාව ගැන ගැටලුවක් ඇතිවන්නේ නෑ. දෙමාපියන් සමඟ ආරක්ෂක නිලධාරීන් ද එයට සහයෝගය දක්වනවා.”

නැති ප්‍රශ්න ඇතිකර ගැනීමට අපේ බොහෝ දෙනා දක්ෂය. වැඩිපුර මාසයක් පමණ ගෙදර කල්මරා පාසල් පැමිණි ළමුන්ට “ක්ලියර් බෑග් මේනියාවක් මවා ගැටලු ඇති කිරීමට ද සමහර විදුහල්පතිවරු ක්‍රියාකිරීම අතිශයින්ම කනගාටුදායකය. එය කලදුටු කල වළ ඉහගැනීමක් බවයි. අපට නම් පේන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මෙවැනි අයාලේ යන නිල නොවන නීති පාසල්වලට ගෙනඒමට ඉඩනොදී ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි.

► කුසුම්සිරි