2017 මාර්තු 04 වන සෙනසුරාදා

පිළිකාව සහමුපින්ම කම්මුතු කරන බේත අපේ රටේ (කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසකගේ පරීක්ෂණයකින් හෙළි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

ලංකාව තුළ පිළිකා රෝගය මේතරම් ඉහළ යන්නේ ඇයි? හැදුණොත් මරණයෙන්ම අවසන් වන මේ රෝගය මැඩපැවැත්වීම උදෙසා පිටරට ඖෂධවලට ලක්ෂ කෝටි ගණනින් අප මුදල් ගෙවිය යුත්තේ ඇයි? වරකාපොළ සුන්දර ගම්පියසක ඉපිද තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සමයේත් සමීර රංගනාත් සමරකෝන් විද්‍යා ශිෂ්‍යයාගේ හිත තදින්ම යොමුවූයේ මේ කියන ගැටලු වෙතය. මේ තරම් ස්වභාවික සම්පත්වලින් අනූන අපේ රටේ, පිළිකා මාරකය සහමුලින්ම කම්මුතු කර දමන ඖෂධයක් සොයාගන්නට නැතිද?

කැලණිය සරසවියෙන් ඇරුඹි අමෙරිකාව, පාකිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සුවිශේෂී පර්යේෂණ පුහුණුව ලත් අනුක ජීව විද්‍යාඥයකු සේම ජෛව රසායනවේදියකු ලෙස ලංකාවට එන ආචාර්ය සමීර රංගනාත් සමරකෝන් මාරාන්තික පිළිකාව නසන ස්වභාවික මාරකයක් සොයාගන්නට සිතට ගත්තේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනු ජීවවේදය සහ ජෛව තාක්ෂණ ආයතනයේදී ඔහුට මේ ගැන උනන්දුව දක්වන තවත් පිරිසක් එක්වෙති. ඒ අනුව වසර 2012 සිට ඔවුන් ආරම්භ කළ    පර්යේෂණය දැන් සාර්ථක වී තිබේ. ලංකාවේ කඩොලාන ආශ්‍රිතව පිළිකා සහමුලින්ම මරා වනසා දමන, නැතිනම් නිට්ටාවටම සුවකරන රසායනික සංයෝගයක් වෙන්කර ගැනීමට ඔහු ඇතුළු විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිති.

ලංකාවේ ස්වභාවිකව කළපු දිය ආශ්‍රිතව වැවෙන කඩොලාන ශාක විශේෂ 22 අතරින් තෝරාගත් විශේෂ 15ක්ම ආචාර්ය සමීර සමරකෝන් ප්‍රධාන විද්වතුන්ගේ     පර්යේෂණවලට උපයෝගී කරගෙන තිබේ. මේ ශාක අතරින් වල් ඉඳි, කළු කඩොල් සහ මණ්ඩ යන ශාඛ කොටස්වලින් අද්විතීය ගුණයක් සහිත රසායනික සංයෝග හතරක් වෙන්කර ගැනීමට මේ අය සමත් වූහ. ඉන්පසුව පිළිකා රෝගයේ මාරාන්තික ගුණය වන නැවත නැවත වැඩෙන හෙවත් මැරුවත් නැවත නැගිටින ගුණය නසා දමන්නට සමත් විශිෂ්ඨතම සංයෝගයක් සොයාගන්නට ලංකාවේ මේ විද්වතුන් පිරිසගේ දීර්ඝකාලීන පර්යේෂණය මගින් හැකියාව ලැබුණි.
මේ විශ්වකර්ම ඖෂධීය සංයෝගය සොයා දීර්ඝකාලීන අරගලයක යෙදුණු විද්වතුන් පිරිස වන්නේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක ජීවඡේදය සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර රංගනාත් සමරකෝන් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි තෙන්නකෝන් දෙපලගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ චන්ද්‍රිකා ෂන්මුගනාදන්, මෙරාන් එදිරිවීර, නිසල් ප්‍රනාන්දු ලක්ෂාන් විජේබණ්ඩාර, ආචාර්ය පූර්ණා පියතිලක යන විද්වතුන් වෙති. මේ පර්යේෂණය සාර්ථක කරගැනීමෙහිලා මහාචාර්ය අයිරා තාබ ලබාදී ඇත්තේ උපරිම සහයෝගයකි. නාරා ආයතනයේ හිටපු නිලධාරියකු වන කඩොලාන ශාඛ හඳුනාගැනීම පිළිබඳ විශේෂඥයකු වන සුමනදාස මහතාද මේ අද්විතීය පර්යේෂණයේ ප්‍රධාන පෙළේ හවුල්කරුවෙකි.

මෙච්චර ගස් තිබෙන රටේ කඩොලාන ශාඛවලින්ම මේ කියන පිළිකා නසන ඖෂධය සොයාගන්නට වෙහෙසුණේ ඇයි? ආචාර්ය සමීර සමරකෝන් ඒ ගැන කියන්නේ මෙසේය. ලංකාවේ කඩොලාන ආශ්‍රිත ශාඛ ගැන තියෙන්නේ බොහෝම අඩු ලංසුවකින් යුතු පිළිගැනීමක්. අද්විතීය පරිසර පද්ධතියක හැදෙන වැඩෙන මේ ශාඛ ඒ නිසාම දරුණු විනාශයකට ලක්වෙනවා. මේ නිසා මට හිතුණා මේ ශාඛවලට අලුත් වැඩි වටිනාකමක් ලබාදෙන්නට ඕනෑය කියලා. මිනිසුන් තුළ ස්වභාවික දායාදයක් වන කඩොලාන පරිසරය රුකගත යුතුය යන ඵලදායී හැඟීම ඇතිකරන්නට ඕනෑය කියලා. ඒ තමයි එක කාරණයක් වුණේ. නමුත් ප්‍රධානම කාරණය හැටියට මගේ හිතට ආ අදහස වුණේ මේ ශාඛ ජීවත්වන අසීරු කඨෝර පරිසරය තුළ ජීවත්වන්නට ඒවා දක්වන සුවිශේෂී හැකියාව. සුළං අධික, මුහුදු දිය සහ මිරිදිය මිශ්‍රිත ජලාශ්‍රිත පරිසරයක දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් අනෙකුත් ශාඛවලින් වෙන්වූ සුවිශේෂී පරිසරයකයි මේවා වැඩෙන්නේ. එතකොට මේ කටුක පරිසරයේ ජීවත්වෙන්න ඒවා තළ විවිධ අනුවර්තන ඇතිව තිබෙනවා. ඒ වගේම මම කල්පනා කළා ඒ නිසාම සෛලීය මට්ටමේදී, ජානමය මට්ටමේදී පවා ඒවායේ සිදුවන ක්‍රියාකාරකම් ඒ සඳහා උපයෝගී වන සංයෝග ආදිය අනෙක් ශාඛවලට වඩා වෙනස් ප්‍රබල ගුණයකින් සමන්විත වේවි කියලා. ඒ අනුව තමයි කඩොලාන ගැන අපේ විශේෂ අවධානය යොමුවුණේ.

මේ වනවිට ලෝකයේ අමෙරිකාව ප්‍රධානකොට පිළිකා ඖෂධ රසායන සඳහා පර්යේෂණ කරන රටවල අවධානය යොමුව ඇති එක් ප්‍රධාන අද්විතීය කාරණයක් තිබේ. එනම් පිළිකා සෛල සහමුලින්ම මරා දමන්නට හැකි සංයෝගයන් සොයා වෙන්කර වැඩිදියුණු කර ගැනීමය. ආචාර්ය සමරකෝන් ඇතුළු පිරිස දැන් මේ සොයාගන ඇත්තේ එබඳු සුවිශේෂී ගුණ සපිරි සුපිරි සංයෝගයකි.
පිළිකා සෛල අනෙකුත් ශරීර සෛලවලට වඩා අධික වර්ධන හැකියාවක් දරයි. මේ වර්ධනය ඖෂධ ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර ආදී වර්තමානයේ ඇති විවිධ ක්‍රම මගින් පාලනයකට යටත් කිරීම දැනට සිදුවෙයි. නමුත් පිළිකා සෑදීමට මූලික වන මාරකයේ මුදුන් මුල බඳු ඉතා කුඩා සෛල ගොනුවක් වන පිළිකා පියවි සෛල (Stem Cells) ලෙහෙසියෙන් මරණයට පත් නොවේ. ඒවායේ ක්‍රමයෙන් කල්ගතව වෙනස්වීම්වලට ලක්ව නැසීයාමේ ගුණය හෙවත් අනුක ජෛව විද්‍යාවේදී Apoptosis ලෙස හඳුන්වන සොබාවික ලක්ෂණය දකින්නට නොමැතිය. සෛල ස්වභාවික මරණයට පත්කිරීමට හේතුවන්නේ සෛල තුළ ඇතිවන ජානයන් වන අතර ඒවා, එක්තරා ප්‍රෝටීන සැකසුමකි. ආචාර්ය සමීර ඇතුළු පිරිස කඩොලාන ශාඛ ආශ්‍රිතව සොයාගත් නව සංයෝගය මේ කියන ප්‍රෝටීනය වර්ධනය ඉහළ දමා නොමැරෙන පිළිකා සෛලද මරණයට පත්වීම කුළුගන්වන සුවිශේෂී ගුණයකින් යුක්ත වූවකි.

එනම් මේ සංයෝගය විද්‍යාත්මකව හඳුන්වන පරිදි ප්‍රති පිළිකාමය හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉතාමත් ඉහළ හැකියාවක් දරන අතර ඒ සඳහා වන ජාන වර්ධන වේගය හෙවත් ජාන ප්‍රකාශන ගුණය අතින් අතිශය ඉහළ හැකියාවක් සහිත සංයෝගයක් බව ආචාර්ය සමීර සමරකෝන් පෙන්වා දෙයි. ඔවුන්ගේ පර්යේෂණයට ලක්වූ ශාඛ අතරින් වල්ඉදි ශාඛයේ පොතු සහ කොළවලින් ලබාගත් නිස්සාරකවල මේ ගුණය අතිශය ඉහළ මට්ටමක තිබී ඇත. ඊළඟට කළු කඩොල් ශාඛයේ මෙන්ම මණ්ඩ ශාඛයේද කොළ පොතුවලින් ලබාගත් නිස්සාරණවලද මේ ගුණය ඉහළින් වර්තා වී තිබේ. මෙබඳු සංයෝග 4ක් ඔවුන්ට හමුවූ අතර ඉන් එකක් සුවිශේෂී බව සොයාගන්නට ලැබුණි.
පර්යේෂණාගාරය තුළ කෘත්‍රිමව වර්ධනය කර රැකබලාගන්නා අක්මා සහ පියයුරු පිළිකා සෛලවලට ඉහත කී ශාඛවලින් ලබාගත් සංයෝග යොදා කළ පරීක්ෂණයේදී පිළිකා පියවි සෛල හෙවත්, දිගින් දිගට පිළිකාව වරින්වර මතු කිරීමට හේතුවන පිළිකා මූලය ලෙස හැඳින්විය හැකි සෛල ගොනුව වයස්ගත කර මුළුමනින්ම මරණයට පත්කිරීමට ඉන් එක් සංයෝගයක් ප්‍රබල ලෙස හේතුවන බව තහවුරැ කරගන්නට යෙදිනි. පසුව ඔවුන් එම සුවිශේෂී රසායනය පිරිසුදු ලෙස වෙන්කර ගන්නා ලදී. ඒ අනුව දැන් පිළිකා පියවි සෛල මරා දමන සාර්ථක සංයෝගයක් සෙවීමේ අන්තර්ජාතික සටනේ පළමු පෙළ ජයග්‍රාහකයන් බවට පත්වන්නට අපේ මේ විද්වතුන් පිරිසට හැකියාව ලැබී තිබේ.
මේ කියන සංයෝගය ඔවුහු වෙන්කරගන ඇති අතර එහි ව්‍යුහය වැඩිදියුණු කරමින්, ක්‍රියාකාරීත්වය සුපිරි මට්ටමකට ගෙන ඒම සඳහා වූ කටයුතුවලට දැන් අතගසා සිටිති.

අපේ රටේ ඕනෑතරම් ස්වභාවික සම්පත් තියෙනවා. අපි මොකටද, පිටරටවලට කෝටි ගණන් ගෙවන්නේ. අපිට අපේම ඖෂධ; නිකම්ම නොවේ ප්‍රත්‍යක්ෂ ඖෂධ, අර ඉස්සර කියනවා වගේ නිට්ටාවටම සුවකළ හැකි ඖෂධ නිපදවාගන්න පුළුවනි. අපේ ආයතනය ඒ ගැන තමා දැන් උනන්දුව දක්වන්නේ. ආචාර්ය සමීර සමරකෝන් කියන්නේ ඔවුන් දැන් ලංකාවේ ආවේණික ශාක විශේෂ සියල්ල පිළිබඳවද ක්‍රම ක්‍රමයෙන් පර්යේෂණයට ලක්කරනා බවයි.
මේ කියන සොයාගැනීම් සහ පර්යේෂණ කටයුතු ලේසිපාසු ඒවා නොවේ. ඒ සඳහා යන වියදම අපට සිතාගත නොහැකි තරම්ය. ආචාර්ය සමරකෝන් උදාහරණයක් හැටියට පෙන්වා දුන්නේ, පිළිකා සෛල පර්යේෂණාගාර මට්ටමේ සජීවීව වගාකර සතියක් බලාකියා ගැනීමට ලක්ෂයකට වැඩි මුදලක් වැය වන බවය. මේ නිසා මෙබඳු සොයාගැනීම් සිදුකිරීම අපේ රටේ විද්‍යාඥයන්හට දැඩි අභියෝගාත්මක කාර්යයක් වී තිබේ. වෙනත් රටවල මේ සඳහාම වෙන්කරන ප්‍රතිපාදන, ඒ සඳහා වූ නවීන පහසුකම් සහිත ආයතන සමග හැල හැප්පෙමින් අපේම ඖෂධයක් ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා මේ විද්වතුන්හට දරන්නට සිදුව ඇත්තේ සුළුපටු වෙහෙසක් නම් නොවේ. ලංකාව තුළ විද්‍යාත්මක      පර්යේෂණ අංශය දියුණු කිරීමටත් ඒ සඳහා වන ප්‍රතිපාදන ඉහළ දැමීමටත් මෙයට වඩා ඒ පිළිබඳ පිළිගැනීමක් කුළු ගැන්වීමක් ඇති කළහොත් ජාත්‍යන්තරය තුළ අපට අපේ සලකුණ තැබීමට වැඩි කාලයක් ගතවන්නේ නැත. ඒ කාරණයේදී සොබාදහම අපට නොමසුරුව ත්‍යාගශීලී වී ඇති බව ආචාර්ය සමීර සමරකෝන් ඇතුළු විද්වතුන්ගේ සාර්ථක සොයාගැනීම නැවත අපට පසක් කර තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00