2017 මාර්තු 04 වන සෙනසුරාදා

ග්‍රහලෝක දේපළ වෙ‍ළ‍ෙඳාම

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

 

අපේ ගම් පළාතේ  පිහිටා තිබෙන මාතෘභූමි දේපල වෙළඳාම් සමාගමයේ අධිපති  සාම විනිසුරු, ඉඩම් භූෂණ මහීපාල මහතා, පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියේ, කට දෙකොණින් සිනා උතුරමිනි. මම ඔහු සාදරයෙන් පිළිගත්තෙමි.

ආයුබෝවන් මහීපාල මහත්තයා, මොකද මේ අවේලාවෙ, කට කනේ තියාගෙන?

සුබ ආරංචියක් ලැබුණා. ඔබතුමාත් දන්නව ඇතිනෙ?

ආ ඔව්. ඔව්. අපේ නිව්ටන්ට මඟුලක් හරි ගිහිල්ලලු නේද? හැට පැන්නත් සිකුරට ගාණක් නෑ කියනවනෙ.

නෑ නෑ ඒක නෙවෙයි,

අධිවේගෙට අහුවුණු ඉඩම්වලට වන්දි දෙන්න යනවලු නේද?

මම ඒවා අරන් කොච්චර කල්ද?

එහෙනං මොකක්ද සුබ ආරංචිය?

නාසා ආයතනයෙන් අලුත් ග්‍රහලෝක හතක් හොයාගෙනලු නේද?

ආ ඒකද? ඒක අලුත් ආරංචියක් නං තමයි, ඒත් මොකක්ද ඒකෙ තියෙන සුබේ?
මම උදාසීන ලෙස කීවෙමි.

පත්තරේ බැලුවෙ නැද්ද? ඒ ග්‍රහලෝක පෘථිවියට සමානයිලු. නුදුරැ අනාගතයේදිම අපිට ඒවයෙ පදිංචියට යන්ඩත් පුළුවන්ලු. මාත් හිතුව එහෙන් ඉඩම් කෑලි ටිකක් අරන්, ශ්‍රී ලංකා හවුසින් ස්කීම් එකක් හදන්ඩ.

මහීපාලගේ සතුට මට දැන් පැහැදිලිය. මහ පොළොව උලාගෙන කන ඔහුට, අලුත් ග්‍රහලෝක හතද පෙනෙන්නේ ධන වාසියක් ලෙසය.
කලකට පෙර, කොළඹට නුදුරු පෙදෙසකින් වගුරු ඉඩමක් ගත් ඔහු එය ගොඩකර, කොටස් කර විකිණීමට සැරසුණේය. එම නිවාස යෝජනා ක්‍රමයට නම් කෙරුණේ ලෝටස් ස්කීම් යනුවෙනි.

සතර අතට විහිදෙන සේ තාර පාරවල් තනා, දෙපසට පිඩැලි අල්ලා අලංකාර කරන ලද ඉඩම් කොටස් මධ්‍යයේ, නෙළුම් පොකුණක්ද ඉදිවුණි. රත් නෙළුමින් සැදි පොකුණ හරහා සිසිල් සුළං හමා යයි. සැඳෑ සමයේදි එය අසල ඉදි වූ තාවකාලික මණ්ඩපයක හිඳ පෙරදිග වාදක මණ්ඩලයක් මිහිරි ගී අනුවාදන ඉදිරිපත් කරති.

ඉඩම් කැබලි බැලීමට එන උදවිය මෙම නෙළුම් පොකුණ දැක මහත් සේ සතුටට පත්වූහ. මෙම නිවාස ක්‍රමයේ පදිංචියට ආ පසු, නෙළුම් පොකුණේ සුන්දර දර්ශනය නිතර දකිමින්, නිස්කලංක ජීවිතයක් ගතකළ හැකි බව ඔවුනට පෙනුණි.

ඉඩම් කැබලි, ඉතා ඉක්මනින්ම විකිණී අවසන් වුණි. එකා දෙන්නා, නිවෙස් තනාගෙන ලෝටස් ස්කීම් හි පදිංචියට ආහ. සමහරු, අඩක් නිමවෙද්දිම, තම නිවාසයන්ට පැමිණියහ. සෑම නිවසකම ඉදිරිපස දොරටුවට, නෙළුම් පොකුණ දිස්වුණි.

අවසන් ඉඩම් කැබැල්ලේ නිවසද ඉදිකෙරුණි. ඉන් ටික දිනකට පසු, එක් උදෑසනක අවදි වූ නිවෙස් හිමියන්ට දක්නට ලැබුණේ, නෙළුම් පොකුණ ගොඩකර ඇති බවය. ටික දිනකින්ම, එහි අහස උසට වතුර ටැංකියක් ඉදිවුණි! දැන් පළාත්වාසීන් එම නිවාස යෝජනා ක්‍රමය හඳුන්වන්නේ, ලෝටස් ස්කීම් යනුවෙන් නොව, වතුර ටැංකි වත්ත යනුවෙනි. මාතෘභූමි දේපල වෙළඳාම් අධිපති මහීපාලගේ වෙළෙඳ උපක්‍රම ඔයාකාරය.

අලුත්‍ ග්‍රහලෝකවල නිවාස යෝජනා ක්‍රමයක් ඇරුඹීමට සිහින මවන මහීපාලට, එය කිසිසේත්ම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව පැහැදිලිකර දීමට මට අවශ්‍ය විය.

මහීපාල මහත්තයා, ඔය ට්‍රැපිස්ටර් ග්‍රහලෝක අපේ මහ පොළවට සමාන බව ඇත්ත. ඒත් ඒවට යන්නෙ එන්නෙ කොහොමද?

මම ඒක නාසා ආයතනයත් එක්ක කතා කරගන්නවා. අපේ පීරිස් මහත්තයගෙ ලොකු පුතා වැඩ කරන්නෙත් නාසා එකෙනෙ?

ඉතින් කොහොමද එහෙ යන්නට හදන්නෙ. රොකට් එකෙන්ද?

මොකක් හරි වාහනයක් හොයල දෙන්නැතෑ. අපි සල්ලි ගෙවනවනෙ. ට්‍රම්ප්ටත් දැන් ඕනවෙලා තියෙන්නේ සල්ලිනෙ.

මහීපාල, ග්‍රහලෝක බලන්නට යාමට සැරසෙන්නේ නාගදීපයේ යන්නාක් මෙන්ය. ඔහුට ඇති තතු පැහැදිලි කර දිය යුතුය. (ධන තෘෂ්ණාව නිසා මිනිසුන්ගේ සිහිය විකල් වන බව සැබෑවකි.)

මහීපාල මහත්තයා, ඔය අලුත් ග්‍රහලෝක පිහිටලා තියෙන්නෙ පෘථිවියේ ඉඳල අාලෝක වර්ෂ හතළිහක් දුරින්.

ආ... ඒක මොකක්ද?

පැයට කිලෝමීටර් 926ක් යන, ජෙට් එකකින් ගියත්, අවුරුදු මිලියන හතළිස් හතරක් යනවලු, ඒ ග්‍රහලෝකයකට කිට්ටු කරන්න.

ආ ඒක ප්‍රශ්නයක් නෑ. ඉඩම් ලාබෙට ලැබෙනව නං අපේ මිනිස්සු, ඕන දුරක් යන්න ලෑස්තියි. මම ඒක අත්දැකීමෙන් දන්නවා. සමහරු ඉඩම් ගන්නෙ තමන්ට නෙවෙයිනෙ, මීමුණුබුරන්ට.

ඒ කතාවත් ඇත්ත තමයි. යුද්දෙ කාලෙ අපේ මිනිස්සු දුක් වුණා, යාපනෙන් ඉඩම් කෑල්ලක්වත් ගන්ඩ විදිහක් නෑනෙ කියලා. දැන් ඒවා අමතකයි. ගෙවල් කුලියවත් ගෙවාගන්ඩ බැරි මිනිස්සු තමයි යාපනෙ ඉඩම් ගන්ඩ ලෑස්ති වුණේ.

ආං ඒකනෙ, මට දැන් තව අදහසක් ආවා. ඇඩ්වර්ටයිසින් පාරක් දානවා, ඔබේ ආයුෂ වැඩි කර ගැනීමට නම් ග්‍රහලෝකයක පදිංචි වෙන්න කියලා.

ඔව්. ඒකත් නරක නෑ. ආත්ම හත අටකින් හරි ග්‍රහලෝක හතට යා ගන්න බැරියැ.

ඔන්න මහත්තයට තේරැණා. ඒත් එක්කම මම දානවා ග්‍රහලෝක ට්‍රැවල්ස් කියලා තව ව්‍යාපාරයක්. ඉඩම් බලන්ඩ යන අය වගේම, ග්‍රහලෝක බලන්ඩ යන අයත් මම අරන් යනවා. දඹදිව යනවා වගේ.

තරුපහේ අයිඩියා එක! ඒත් ට්‍රම්ප්ගෙ අලුත් ප්‍රතිපත්තිවල හැටියට පිටරට මිනිහෙක්ට ඕවට ඉඩ දෙයිද කියලා සැකයි.
මහීපාල සිනාසුණේය.

ට්‍රම්ප්ව අල්ලන ට්‍රම්ප්ස් මගෙ ගාව තියෙනවා මහත්තයා. මම මිනිහගෙ පදවි ප්‍රාප්තියයි උපන් දිනෙයි අල්ලලා පත්තරේ තනි පිටුවේ දැන්වීම් දෙක තුනක් දානවා.

මිනිහ ඒවට අහුවෙයිද?

මොකද නැත්තෙ? ග්‍රහලෝක බිස්නස් එක දුන්නෙ නැත්තම්, තානාපතිකමක් හරි දෙයිනෙ!

මා නිරුත්තර වූයේ, එවැනි දෙයක් නම් අමෙරිකාවේ පවා විය හැකි යැයි සිතුණු නිසාය.

කපිල කුමාර කාලිංග