2019 ජුනි 08 වන සෙනසුරාදා

කවුරුත් නොදන්නා වැද්දාගේ වෙදකම්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 929

අප රටේ ආදිවාසීන් වන වැද්දා ගැන ඉංග්‍රීසි පාලන සමයේ සිටම පර්යේෂණය කෘති පළවී තිබේ. ඒ අතරින් සෙලිග්මාන් යුවළ ලියූ Vaddas පොත මුල්තැනක් ගනී. නන්දදේව විජේසේකර (වැද්දන්ගේ විකාශන ක්‍රමය), දයානන්ද සෝමසුන්දර (ලෝකයේ ආදිවාසීන්), ඊ.එම්. රත්නපාල ආදී කිහිප දෙනෙක්ම වැදි ජන සංස්කෘතිය පිළිබඳව අවධානය යොමු කරමින් කෘති පළ කළහ. නමුත් වැදි සමාජයේ වෛද්‍ය ක්‍රම පිළිබඳව අවධානය යොමුකළ ග්‍රන්ථයක් පළවී තිබුණේ නැත. එම අඩුව සපුරාලමින් ආචාර්ය එල්.ඩබ්ලිව්. චන්ද්‍රතිලක බණ්ඩාර වැද්දාගේ වෙදකම් කෘතිය ලියා තිබේ.

වැදි සංස්කෘතියේ අංග සීඝ්‍රයෙන් වෙනස් වී යන යුගයක මෙම අධ්‍යයනය කාලීන අවශ්‍යතාවක් සේ සැලකිය හැකිය. දඹාන, රතුගල, මාදෙගල, පොල්ලෙබැද්ද, බණ්ඩාරදූව, බොක්කෙබැද්ද, පාදාගොඩ යන වැදි ගම්මාන ආශ්‍රිතව ලබාගත් කරැණු විමර්ශනය කරමින් කෘතිය පෙළගස්වා තිබේ. ලෝකයේ තවමත් පවතින පාරම්පරික වෙදකම්වල හිමිකරැවෝ ආදිවාසිහු වෙති. අතීතයේ පටන්ම ඔවුහු රෝග නිවාරණය හා රෝග සඳහා සිය අත්දැකීම් මත හුරැපුරැදු කරගත් එම වෙදකම හඳුන්වනු ලබන්නේ සම්ප්‍රදායික හා ස්වභාවික ඖෂධීය වෙදකම ලෙසිනි. (39 පිට)

සාම්ප්‍රදායික ක්‍රමවල වටිනාකමක් වර්තමාන තාක්ෂණික ලෝකයට නැත. නමුත් සැඟව පවතින එම වෛද්‍ය ක්‍රමවලින් ලබාගත හැකි දෑ බොහෝය. වැද්දාගේ වෙදකම් කෘතිය ඒ සඳහා මඟපෙන්වන අධ්‍යයනයකි.

වැද්දන්ගේ වෙදකමේදී දැකගත හැක්කේ ශාන්තිකර්ම පුදපූජා සමඟ ඖෂධීය වෙදකම් කිරීමය. උණ රෝගය, මන්දපෝෂණය, අතීසාරය, පාචනය, උදරාබාධ හා මුත්‍රාබාධ, චර්ම රෝග, කැඩුම් බිඳුම්, සර්ප දෂ්ටන ආදී රෝග අවස්ථා රුසකට මුහුණපෑමට වැදි ජනතාවට සිදුවේ. ඒ අතර නෑයකුන්ගේ බැල්ම වැටීම නම් මානසික රෝගී තත්ත්වයද සුලබය.

ආදිවාසී රෝග සමනයේ වැඩි ප්‍රමුඛත්වයක් ශාන්තිකර්මවලට ලැබේ. &ආදිවාසීහු තමන් විසින් පොරොන්දු වූ භාරහාර ඔප්පු කිරීමට පිදවිලි සූදානම් කර ගනිති. ඒවා වැදි සංස්කෘතිය හා බැඳුණු ද්‍රව්‍යයන්ගෙන්ද වර්තමානය වනවිට මහා සංස්කෘතීන්ගෙන් ලැබුණු ද්‍රව්‍යයන්ගෙන්ද සමන්විත වේ. (69 පිට)

කතුවරයා මෙම අධ්‍යයනය සඳහා මානව වංශ විද්‍යාත්මක පර්ෙය්ෂණ, සහභාගීත්ව නිරීක්ෂණ, ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා, සම්මුඛ සාකච්ඡා ආදී අංශ උපයෝගී කරගෙන තිබේ.

පරිච්ඡේද අටකින් යුත් කෘතියෙහි තෙවැනි පරිච්ඡේදය පර්ෙය්ෂණ ක්‍රමවේදය විස්තර කිරීමට වෙන්ව ඇත. සිව්වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ වැදි රෝග සහ රෝග විනිශ්චය ගැනය. රෝගී වීමට හේතු විමසීමේදී සෑම වැදි වෛද්‍යවරයකුම ප්‍රකාශ කළේ එය නෑ යකුන්ගේ කාර්යයක් බව යයි කතුවරයා සඳහන් කර ඇත. රෝගීවීම යම් තැනැත්තකුට සිදුවන විශාලතම පාඩුව වන්නේ යයිද එහෙයින් නිරෝගීව සිටීම මහත්ම ලාභය වන්නේ යයිද මෙරට සිංහල සංස්කෘතියේ පවතින පිළිගැනීම ආදිවාසී වැදිජනයා තුළද නොවෙනස්ව පවතී. (104 පිට)

රෝගී වීමට හේතු, බහුලව හටගන්නා රෝග, රෝග හඳුනාගන්නා ආකාරය ගැනද කතුවර චන්ද්‍රතිලක අවධානය යොමුකර තිබේ. රෝග හඳුනා ගැනීමට පළපුරැද්ද මෙන්ම පේන බැලීම, සාස්තර ඇසීම, නාඩි ඇල්ලීම, දූත ලක්ෂණ ආදියද යොදාගන්නා ආකාරය මෙහි විස්තර කෙරේ.

කෘතියෙහි පස්වැනි පරිච්ඡේදය වෙන්වන්නේ ආදිවාසී වෛද්‍යවරයා සහ ඔහුගේ කාර්යභාරය පිළිබඳව විමසීමටය. වැදි වෙද සිරිත්, වෙදකමට ගන්නා භාණ්ඩ හා උපකරණ ගැනද එහිදී අවධානය යොමුකර තිබේ. ආදිවාසී වැදි වෙදවරැන් තම වෙදකම සඳහා යොදාගන්නා භාණ්ඩ හා උපකරණ ඉතා සීමිතය. අවශ්‍යම කරැණකට විනා ඔවුහු උපකරණ පිහිට නොපතන්නෝය. (135 පිට)

හයවැනි පරිච්ඡේදය වෙන්කර ඇත්තේ රෝග සඳහා ආදිවාසී වැදි ප්‍රතිකාර විමර්ශනය කිරීමටය. රෝගය, රෝග ලක්ෂණ හා ප්‍රතිකාර සඳහා හත්වන පරිච්ඡේදය වෙන්ව තිබේ. අප අතරින් මැකී යන ජන සංස්කෘතියක එක් අංගයක් විමර්ශනය කරමින් ලියූ මෙම කෘතිය වටිනා මානව විද්‍යාත්මක අධ්‍යයනයකි. මෙහි ඡායාරූප කිහිපයක්ද අඩංගුය. නමුත් ඡායාරෑප මෙන්ම චිත්‍ර සටහන්ද වඩාත් සාර්ථකව උපයෝගී කර ගත්තා නම් කෘතියේ වටිනාකම තවත් ඉහළ නැංවෙන බව සඳහන් කළ හැකිය.

මෙම කෘතිය මරදාන සූරිය ප්‍රකාශනයකි.
පාඨක