2019 ජුනි 08 වන සෙනසුරාදා

රටේ වියදම තුනෙන් එකක් කැපිල්ල

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් රජයට දැරීමට සිදුව ඇති අතිරේක වියදම් පියවා ගැනීම සඳහා 2019 අයවැය ලේඛනය තුළින් වෙන්කර ඇති ප්‍රාග්ධන වියදම්වලින් සියයට 30ක් පමණ කපා දමන ලෙස මහා භාණ්ඩාගාරය සියලුම අමාත්‍යංශවලට දැනුම් දී ඇතැයි පසුගිය දිනවල වාර්තා විය. 2019 අයවැය ඇස්තමේන්තු අනුව ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 756ක් වෙන්කර තිබුණි. මෙලෙස කපා දැමෙන මුදල රුපියල් බිලියන 227ක් පමණ වේ. අමාත්‍යංශවලට අයත් දෙපාර්තමේන්තුවලට සහ ආයතනවලට වෙන්කර ඇති මුදල් මේ අනුව කපා හැරීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට අවස්ථාව හිමිව ඇත.

කෙසේ වුවද මෙතෙක් කල් අයවැය ලේඛනයෙන් වෙන්කළ ප්‍රාග්ධන මුදල් බොහෝ අමාත්‍යංශ අදාළ වසර තුළ ප්‍රයෝජනයට ගෙන නොතිබුණු බව විටින් විට වාර්තා විය. එයට හේතුව අදාළ ආයතන වර්ෂය අවසානය දක්වා ඒවා පරිහරණය කිරීමට කටයුතු නොකිරීමය. අවශ්‍ය ව්‍යාපෘති හඳුනාගෙන පියවර නොගැනීම, ප්‍රසම්පාදන වැඩ පිළිවෙළවල් ආරම්භ කර නොමැති වීම හා ආරම්භ කළ වැඩ පිළිවෙළවල් සිදු කර නොමැති වීම හා ආරම්භ කළ වැඩ වුවද වර්ෂය තුළ අවසන් කර ගෙවීම් කිරීමට නොහැකි වීම ආදි හේතු නිසා විශාල මුදලක් වැය නොවී වසර අවසානයේදී ආපසු මහා භාණ්ඩාගාරයට ගිය බවට චෝදනා එල්ල විය. ඒ නිසා ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මෙලෙස මුදල් අඩු කිරීම එතරම් දුරට අදාළ ව්‍යාපෘති සඳහා බලනොපානු ඇති බවය.

මෙලෙස වැය කපා හැරීමට කටයුතු කිරීමෙන් නොනැවතී ජාත්‍යන්තර ආයතනවල සහය ද ලබාගෙන ලබන ජූලි මාසයේදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. එහිදී මෙම කපා හැරෙන වියදම් ද අඩුකර යළි අලුතෙන් අයවැය ඇස්තමේන්තු සකස් කර අනුමත කර ගැනීමට බලාපොරොත්තු වේ.

රාජ්‍ය ආදායම් වැඩිකර වියදම් අඩුකර අයවැය හිඟය අඩු කිරීමට හා ණය පහළ හෙලීමට රජය සැලසුම් කර තිබුණද අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාර හමුවේ ඒ සියලු අපේක්ෂා බොඳ වූ සිහින බවට පත්ව තිබේ. මෙම තත්ත්වය නිසා 2014දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.3ක් හා 2018දී 82.9 දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය බර 2019 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90 ඉක්මවනු ඇතැයි අනතුරු හැඟවේ. රාජ්‍ය බදු ආදායම ද 2016දී තිබූ සියයට 14.1 2017දී 13.6 හා 2018දී 13.3 දක්වා අඩුවෙමින් පැවතිණ. මෙම තත්ත්වය පාලනය කිරීමට ආදායම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකව තිබුණ ද හදිසියේ සිදු වූ ව්‍යාකූලතාව නිසා ඒවා ක්‍රියාත්මක කළ නොහැකි විය. 2019 අයවැයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2228න් බිලියන 50ක් පමණ අහිමි වීමේ තර්ජනයක් උද්ගතව ඇති බව පැවසේ.
රජයේ ආදායම අඩුවුවද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට, අඩපණ වූ ව්‍යාපාරවලට, සහන සැලසීමට, හානි වූ දේපළ හා පුද්ගලයන්ට, වන්දි ගෙවීමට, ආරක්ෂක තත්ත්වය දැඩි කිරීමට ආදිය සඳහා විශාල මුදලක් වැය වේ. මේ නිසා වියදම් කපා හැරීමට ක්ෂණික තීරණ ගනිමින් 2019දී මුලින් අනුමත කර ගත් අයවැය ලේඛනය සංශෝධනය කිරීමට ආණ්ඩුවට සිදුව තිබේ. මේ නිසා 2019 අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් වනු ඇත.

ආණ්ඩුව ගැනීමට යන පියවර පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ප්‍රාග්ධන වියදම් අඩු කිරීම මේ අවස්ථාවේදී ආණ්ඩුව කිසිවිටෙක නොකළ යුතු දෙයක් බවයි. මේ වෙලාවේ ආයෝජන වැය කැපීම රට තවදුරටත් ආර්ථික ආගාධයකට යාමට හේතුවන්නක් බව ඔහුගේ අදහස වෙයි. මෙම මුදල් යොදවා ජනතාවට සහන දීම තාවකාලික පිළියමක් මිස රටට යහපතක් සිදුවන්නක් නොවන අතර, දේශපාලන වාසි තකා ගන්නට යන මෙම අදූරදර්ශී වැඩ පිළිවෙළ ප්‍රතික්ෂේප කළ යුතු බව ඔහුගේ අදහසය. ඔහු තම අදහස් මෙසේ ප්‍රකාශ කරයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික හැසිරීම නිර්ණායක කිහිපයක් මත සලකා බැලිය යුතුයි. ආර්ථික වර්ධනය, ණය ගෙවීම්, ණය අනුපාතිකය, උද්ධමනය, ආනයන අපනයන, ඉතුරුම් ආදියේ හැසිරීම පිළිබඳ සොයා බැලීම අවශ්‍ය වෙනවා. මේ හැම පැත්තෙන්ම අපට අවාසියක් මිස යහපතක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

2012 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ සියයට 9.4ක මට්ටමේ තිබුණු ආර්ථික වර්ධනය 2013දී 3.4ට අඩුව තිබී යළි 2014 – 15දී සියයට 5ක මට්ටමේ පැවතුණා. එහෙත් 2018 වනවිට 3.2ට බැස්සා. ඉදිරියේදී තවත් අඩුවන ප්‍රවණතාවක් තමා තිබෙන්නේ. රටේ උද්ධමන අනුපාතිකය 2012 වසරේ 4.7ක්ව තිබී 2018දී 7.2ට ඉහළ ගියද 2019 සිද්ධි නිසා එය තවත් ඉහළ නගින බවට සැකයක් නැහැ. රටේ අපනයනය 2012දී අමෙරිකානු ඩොලර් බිලියන 10.7ක් තිබී 2018 වනවිට 11.4 දක්වා වැඩිවුවද ආනයනය බිලියන 18 සිට 21 දක්වා ඉහළ යාම නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා.

රටේ සමස්ත ණය ගැන කලකා බලනවිට 2012දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 68ක මට්ටමේ තිබුණද 2018 වනවිට සියයට සියයට 83 දක්වා වැඩි වී ඇත. ඉදිරියේදී අවිචාරවත් ලෙස ණය ගැනීම දිගින් දිගටම සිදුවීම නිසා ණය තවදුරටත් ඉහළ යනවා. 2019 වනවිට සර්ව ආර්ථික විචල්‍යයන් බොහෝ දුරට සෘණ අගයකට යාම නිසා ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් අයහපත් වන බවක් දක්නට තිබෙනවා.

මෙම තත්ත්වය අනුව 2019 වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ණය වාරික ගෙවීමට තිබෙනවා. මෙම ණය ගෙවීමට ද වැඩි පොලියට තවත් ණය ගන්නට සිදුවීමෙන් අපේ ආර්ථිකය තවදුරටත් අයහපත් බවට හැරෙනවා.

2019 අයවැය ලේඛනය අනුව එහි අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2228ක්. මෙයින් සියයට 91ක් බදු ආදායම වන අතර රජයේ වියදම රුපියල් බිලියන 2903ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එයින් සියයට 22ක් හෙවත් බිලියන 630ක් වැටුප් හා වේතනවලට වෙන්වී තිබෙනවා. භාණ්ඩ හා සේවා සඳහා වැය රුපියල් බිලියන 195ක්. එය සමස්තයෙන් සියයට 7ක් වේ. ණය පොලී ගෙවීමට සියයට 28ක් හෙවත් බිලියන 820ක් වෙන්කර තිබෙනවා. සහනාධාර සියයට 17ක් හෙවත් බිලියන 507ක් වෙනවා.

රජය ප්‍රාග්ධන වියදම් ලෙස මුළු වියදමෙන් සියයට 25ක් වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 751ක් වෙයි. දැන් සියයට 30ක් කපා හරින්න යෝජනා කර ඇත්තේ මෙම වියදම්ය. මෙලෙස කපා හරින මුදල පුනරාවර්ථන වැයවලට පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම රුපියල් බිලියන 225ක මුදල ආයෝජනයට අහිමි වීමක් තමා වෙන්නේ.

රටේ සමස්ත ප්‍රාථමන වියදම හෙවත් ආයෝජනය මේ වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 31ක්. මෙයින් සියයට 24ක් පෞද්ගලික අංශයේ දායකත්වය වන අතර සියයට 5ක් රාජ්‍ය අංශයෙන් යොදවනවා. සියයට 2ක් විදේශ ආයෝජනවලින් සමන්විතයි. දැනටමත් වෙන්කර ඇති සියයට 31 මුදල වුවද ආර්ථිකයේ විශාල වර්ධනයකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙය සියයට 40 දක්වා හෝ වැඩි කළහොත් තමා බලාපොරොත්තු වන සියයට 5 – 6කට ආර්ථික වර්ධනය ලබාගත හැකි වෙන්නේ. රජයේ දායකත්වය වෙන සියයට 5න් සියයට 30ක් කපා හැරීම කියන්නේ විශාල වශයෙන් ආයෝජන වැය අඩුවීමක්.

පෞද්ගලික අංශයේ ආයෝජනය ද ඉදිරියේදී වැඩි වේයැයි සිතන්න බැහැ. එයට හේතුව රටේ ඉතුරැම් මට්ටම සියයට 21 වැනි පහළ අගයක පැවතීමයි. 2012දී ඉතුරැම් මට්ටම සියයට 27ක්ව තිබුණු අතර 2018දී 21ට පහළ වැටුණා. එලෙස පහළ මට්ටමක ඇති නිසා පෞද්ගලික අංශයේ ආයෝජනය විශාල ලෙස වැඩි වේයැයි අපේක්ෂා කරන්න බැහැ. එසේ රටේ වර්තමාන වාතාවරණය අනුව විදේශ ආයෝජකයන් රටට පැමිණීම අඩුයි. සිටින ව්‍යාපාරිකයන් ද ස්වකීය ව්‍යාපාර ඉවත් කරගෙන යාමේ ප්‍රමාණවත්ව තමා තියෙන්නේ. විදේශ ආයෝජන ගෙන්වීමට අවශ්‍ය පරිසරය පසුගිය කාලයේ රට තුළ සකස් වූයේ නැහැ.

මෙම තත්ත්වය අනුව සියයට 5ක් වන රජයේ දායකත්වයෙන් ද සියයට 30ක් අඩු කිරීමට යාම විශාල අයහපත් තත්ත්වයක්. මෙහිදී රුපියල් බිලියන 225ක් විතර කැපෙනවා. මෙයින් සමස්ත රාජ්‍ය ආයෝජනය පහළ යනවා. මේ වනවිට අපේ ආර්ථික දර්ශකය ක්‍රමයෙන් පහළ වැටෙමින් තමා පවතින්නේ.

ව්‍යාපාර සිදු කිරීමේ දර්ශකය අනුව 2012 වසරේ අපේ රට සිටියේ 83වැනි ස්ථානයේයි. 2018 වනවිට 100 ස්ථානය දක්වා පහළ ගොස් තිබෙනවා. ලෝක තරගකාරී දර්ශකය 2012දී 52 තැන සිටිය ද 2018 වනවිට 85 වැනි ස්ථානයට පහළ ගිහින්. මෙම තත්ත්වය මත අපේ රටට විදේශ ආයෝජකයන් පැමිණේයැයි සිතන්න බැහැ. ඉදිරියේදී පෞද්ගලික සහ රාජ්‍ය ආදායම් දෙකම පහළ වැටෙනවා ස්ථිරයි.

මෙහි ප්‍රතිඵලය තමා රටේ සමස්ත ඉල්ලීම පහළ යාම. රජය දැඩි මූල්‍ය ප්‍රතිපත්තියකට යාම නිසා මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයට ප්‍රතිපත්තියකට යාම හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට බාධා සිදුව තිබෙනවා. රජයේ පාරිභෝගික වැය වැඩි වෙමින් පවතිනවා. ආයෝජන එක තැන පල්වෙන තත්ත්වයක් ඇතිවෙලා. රටේ ශුද්ධ අපනයන වැඩිවීම වෙනුවට සිදුව ඇත්තේ පහළ වැටීමක්. රජය දැන් කරන්නේ ප්‍රාග්ධන වියදම අඩුකර වර්තන වියදම ඉහළ දැමීමට කටයුතු කිරීමයි. සහන පැකේජ් දෙනවා. වැඩි පිරිසකට සමෘද්ධිය දෙනවා. පොහොර සහනාධාර දෙනවා. පාසල්වලට ටැබ් පරිගණක දෙනවා. ජූලිවල සිට රාජ්‍ය සේවක වැටුප මාසිකව රුපියල් 2500 බැගින් වැඩි කරනවා. විශ්‍රාමික වැටුප්වල විෂමතාව නැති කරලා තියෙනවා. රාජ්‍ය සේවයට උපාධිධාරීන් 22000ක් අලුතින් බඳවා ගන්න යනවා. මේවාට සල්ලි කෝ? ණයවලින් තමයි ඔක්කොම කරන්නේ. වැඩි පොලියට වාණිජ ණය ගන්නවා. මේ තත්ත්වය නිසා කෙටි කාලයකින් ආර්ථිකය  කඩා වැටෙන්න පුළුවන්. රට මධ්‍ය පරිමාණ ආදායම් ලබන රටක් ලෙස දිගටම තිබුණත් සිදුවෙන්නේ ආර්ථිකය කඩාවැටීමක්.

රට ගැන ආදරයක් තිබෙනවානම් මේ අවස්ථාවේදී ප්‍රාග්ධන වැය නොකැපිය යුතුයි. ආර්ථිකය පවත්වාගෙන යාමට ආයෝජනය නැතුව බැරි බව තේරුම්ගැනීම අවශ්‍යයි. ලබන වසරේ බලාපොරොත්තු වන 4.2 ආර්ථික වර්ධන ප්‍රතිශතයට අඟලකටවත් ළංවෙන්න බැරි වෙනවා. ආණ්ඩුව මේ සියල්ල වැරදි බව දැනගෙනත් දිගටම කරන්නේ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන්. මැතිවරණ ඉලක්ක කරගෙන ජනතාව රවට්ටන්නයි මේ දේවල් කරන්නේ. රට අමාරුවේ වැටෙනවා. 

මේ අවස්ථාවේදී රට ගොඩගන්න නම් අවංකවම කළයුතු වන්නේ අනවශ්‍ය සහනාධාර අඩු කිරීමයි. එසේම දැනට කරන අනවශ්‍ය වියදම් කැපිය යුතුයි. ප්‍රචාරණ වියදම්, උත්සව, වාහන ගෙන්වීම්, වැටුප් වැඩි කිරීම්, මැති ඇමැති වියදම්, රට සවාරි, මෙවැනි අනවශ්‍ය වියදම් හැකි තරම් සීමා කළ යුතු වෙනවා. එහෙම නැතිව ආයෝජන වැය කැපිය යුතු නැහැ. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි. එහෙත් අද සියල්ල කරන්නේ හෙට දවසේ බලයට ඒමට මිස රටේ අනාගතය ගැන අබ මල් රේණුවක තරම්වත් සිතලා නෙවෙයි. මෙය විශාල අපරාධයක්.

► යසවර්ධන රුද්රිගු