මහා සාගරය අප නොදන්නා බොහෝ රහස් සඟවාගෙන වෙරළ සිඹිමින්, නැවත දියඹට ඇදෙමින් නිසලවද හිඳී. ඉතා ගැඹුරු සාගර පතුලේ වෙසෙන සමහර සතුන් හිටිවනම වෙරළට ගොඩ ගසන්නේද එකී රහස්වල ප්‍රතිඵල වශයෙනි. පසුගියදා පිලිපීනයේ මිණ්ඩානේ දූපතේ උතුරුදිග වෙරළට මත්ස්‍යයන් තිදෙනකු ගොඩගසා තිබිණි. සමහරුන් මොවුන් හබල් මත්ස්‍යයන් වශයෙන් හඳුන්වා තිබුණද ඔවුන් හබල් මත්ස්‍යයන් නොව, Oarfish හෙවත් අවර මත්ස්‍යයන් වේ. ශරීරය ඔරැවක අවරක් මෙන් දිගුවට සහ පැතලියට පිහිටීම නිසා මෙම නම ඔවුන්ට ලැබී ඇත.
ඝර්ම කලාපික මුහුදුවල ජීවත්වෙන Oarfish මත්ස්‍යා පිළිබඳ මුල්ම වාර්තා තබා ඇත්තේ නෝර්වේ ජාතික ජීව විද්‍යාඥයකු වන පීටර් ඇස්කානියන් විසිනි. මෙම මත්ස්‍යයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Regalecus Glesnce ය. මිලිමීටර හයක් දිග බිත්තරයකින් ඉපදෙන රිදී පැහැති මෙම මත්ස්‍යයාගේ හිසේ සිට වලිග කොණ තෙක් ඇති වරල් සමූහය රතු පැහැයක් ගනී. සිරුරේ වරල් 400ක් පමණ ඇති අතර, මොවුන් ජීවත් වන්නේ අඩි 3000ක් ගැඹුරැ සාගර පතුලේය. පළලින් අඩු දිගින් වැඩි Oarfish මත්ස්‍යා මහා සාගරයේ ගමන් කරන්නේ පීත්ත පටියක් අකාරයෙනි. මියගිය විට හෝ මියයෑමට ආසන්නව හා රෝගී අවස්ථාවල මේ මත්ස්‍යා සාගර මතුපිටට පැමිණෙයි. එහෙත් මෙම සතා ඉතා දුර්ලභ බැවින් අවුරුදු දහයක් තරම් කාලයකටවත් එයින් එක් මත්ස්‍යයකුගේ සිරුරක් සාගරය මතුපිටට පාවී ගොඩබිමට ගොඩ ගසන්නේ නැත. එක්දහස් හත්සිය ගණන්වල මෙබඳු මාළුවෙකු දඩයම් කර ගැනීමට ලැබීමත් රජයේ ගෞරවය හිමිවන තත්ත්වයක් ලෙස සැලකිනි. Oarfish මත්ස්‍යා අනුභවයට සුදුසු නැත. එයට හේතුව වන්නේ උගේ මාංශය පාප්ප මෙන් ඇලෙන සුළු ගතියකින් යුක්ත වීමයි. ගැඹුරැ මුහුදේ ජීවත් වන මේ සත්වයා ගොඩට පැමිණෙන්නේ භූ තැටි ආශ්‍රිත කම්පන ග්‍රහණය වීම නිසා බවට මතයක් ඇත.
පිලිපීන උතුරුදිග වෙරළට මෙවැනි මත්ස්‍යයන් තිදෙනකු ගොඩ ගසා තිබූ අතර, ඔවුන්ගෙන් දිගම මත්ස්‍යා හමු වී තිබුණේ කගායණ්ඩි ඕරෝ දූපත වෙරළ නගරය ආශ්‍රිතවය. එම මත්ස්‍යා දිගින් අඩි 15ක් බවත්, වෙරළට ගොඩගැසීමෙන් පසු මිය යන්නට ඇති බවටත් විශ්වාස කෙරේ. මෙවැනි මසුන් ගොඩගසා තිබුණ අවස්ථාවේදී රික්ටර් පරිමාණ 6.7ක භූ කම්පනයක් පිලිපීනයේ මෙම දූපත් ආශ්‍රිතව ඇති වී ඇත. මෙම මසුන්ගේ ගොඩගැසීම භූ කම්පනයක පෙර නිමිත්තක් බව එරට වැසියෝ විශ්වාස කරති.
ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව යම් රජකු රාජධානියක් කොල්ලකා පැන යන අවස්ථාවේ කොල්ලකෑමට ලක් වූ රාජධානියේ වැසියන් සාපයක් කර ඇත. එම සාපය නිසා කොල්ලකෑ වස්තුව රැගෙන යන නැව මුහුදුබත් වී නැවේ අවර කොටස මුහුදු පතුලට ගිලා බැස තිබේ. එම අවර මෙලෙස මසුන් වූ බවත්, පසුව ගැඹුරැ මුහුදේ කොල්ලකාර රජුගේ දිවයිනේ වෙරළට පිහිනා ආ බවත්, ඒ රාජධානියට භූ කම්පනයක් ඇති වූ බවත් කියවේ. මෙය පුරාවෘත්තයක් පමණි. අවර මත්ස්‍යයන් උන්ගේ ආයු කාලය අවසන්ව වෙරළට ගොඩගැසූ කල භූ කම්පනයක් සිදුවීම නියතයක් නොවේ. එහෙත් කුමන හෝ විශ්වාසයක් මත අහම්බෙන් එවැනි දෙයක් සිදුවී තිබේ.
සමහර මිත්‍යාවන් අපට එකවර බැහැර කළ නොහැකිය. අවර මත්ස්‍යයන් වෙරළට ගොඩබැසීමත්, භූ කම්පනයක් සිදුවීමත් අතර සමානත්වයක් ඇතැයි මේ දක්වා වාර්තා වී නොමැත. කෙසේ වෙතත් භූ කම්පනයක් සිදුවීමට මත්තෙන් සත්ත්වයන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන බව අපි අසා ඇත්තෙමු. එවන් තත්ත්වයක් ඇතිවන්නේ නම් එම අවස්ථාවට මුහුණ දීම සඳහා මිනිසුන් විසින් පියවර ගත යුතුය
තනූජා ලුම්බිණි