වෙරළේ මහා කලබගෑනියකි. මා දැල ගොඩ අදින්නට පටන්ගෙන ඇත. දැල අදින විට සමහර ධීවරයෝ කවි කියති. තවත් සමහරැ කවි කුණුහරුප කර කියති. නොසරුප් බස වෙහෙස නිවන ඔවුන්ට දිව ඔසුවක් සේය. මේ සියල්ල අතරේ සිරිලක ධීවරයන්ගේ හදවතේ රිද්මය කවුරුත් හඬගා කියති.
හේල හෙලෙයි හෙලෙයියා... //
එළා අවසන් වූ මාදැලේ දෙකෙළවර කඹ බෙදුණු පිරිස මෙසේ සිය රාජකාරි අරඹා තිබේ. මේ දෙකෙළවර හැඳින්වෙන්නේ යටමන්ද සහ අනියමන්ද ලෙසිනි. මෙසේ දෙපිරිසම දැල් අදින්න අරඹන විටත් පාඩු දමන්නෝ සිය කාර්යය සිදුකරමින් සිටී. දෙකකට බෙදී මඩිය තර කිරීම් ආරම්භ කරති. ඈත දියඹේ ගොඩට ඇදෙන රළ ගෙඩි සමඟ ඔට්‌ටුවෙමින් කරන මෙම සියලු කාර්යයන් වෙහෙසකරය. ඉහින් කනින් දහඩිය මුගුරු වැගිරේ එය පිස ගිමන් නිවන්නට මොවුන්ට ඉස්‌පාසුවක් නැත. සියලුදෙනාම එකාවන්ව සියලු වෙර වීරිය යොදා මාදැල අදිති. වෙහෙස වැඩි වනවිට කෑකෝ ගැසීම්වල රිද්මය වෙනස් වේ.
සිදුවෙමින් පවතින සියල්ල කියාපාන්නේ ධීවරයන්ටම අනන්‍ය වූ වෙනම උප සංස්‌කෘතියන් ලක්ෂණය. ගමින් ගමට පළාතෙන් පළාත ඔවුන් වහරන බසද වෙනස්වේ. ඒ ඒ කටයුතු හැඳින්වෙන නාමද වෙනස්ය. දිවයිනේ කොයි තැනක සිටියද මාදැල් අදින්නන්ගේ සිත තුටින් බර වන එක මොහොතක් ඇත. ඒ මාදැලේ මඩිය නෙත ගැටීමයි. මාදැල්කාරයෝ ඕඩි හෙලෙයි හෙලෙයියා කියා මොර දෙමින් මාදැල ඇදීම වේගවත් කරන්නේ එවිටය.
දැන් සියල්ලෝම මුහුදට පැන මඩිය ගොඩට අදිති. මෙය භාරධූර රාජකාරියකි. සතුටින් ඔද වැඩුණු මේ අරගලයේ කැරලිකරුවන් එය නොතකන සෙයකි. මේ අතරේ මඩියෙන් නැගෙන්නේ සිලි සිලියකි. ඒ පණ ඇති මාළු දඟලන හඬයි. ගොඩට ඇද්ද මඩියෙන් එම හඬ නැගේ. වෙරළට රැස්වූ ජනයාගේ කෑකෝ ගැසීම් අතරින්ද මේ හඬ වියැකී නොයයි.
මෙදා මඩිය තරවී ඇත. දැලට කොටුවන මාළු අන්තිමේ නවතින්නේ ඇස් පුංචි මඩියේය. ඒ දැල්වලින් අල්ලන්නේ හාල්මැස්සෝ, හුරැල්ලෝ, මොරලි, බෝල්ලෝ, කුම්බලාවෝ, පියාමස්සෝ ආදී මාළුය. මාදැලට පොඩි මාළු හසුවීම සාමාන්‍යයෙන් සිදුවුවද පොඩි මාළු අයින් හඹා එන ලොකු මාළුන් අයිනක්ද හසුවීමට ඉඩ ඇත. එසේ වුවහොත් කාගේත් සතුට දෙගුණ තෙගුණ වෙයි. කෙසේ වෙතත් ලාභ පාඩු සිදුවන්නේ වාසනාව අවාසනාව අනුව සේම පාරම්පරික ශිල්පීය දක්ෂතාවයද හේතුවෙයි.
මෑතකාලීනව කර්මාන්තයේ බොහෝ දේ වෙනස්ය. අතීතයේ මාදැල වටකරන කොට මාදැල්කාරයෝ වෙරළට විත් හූ කියති. එවිට අවට ගෙවල්වල ඉන්න ධීවරයෝ වගේම අනෙකුත් අයත් දැල අදින්න සහායට එති. දැල් ඇද නිමා වූ පසු මෙලෙස පැමිණි අයට පළමුව කොටහ බේරයි. ඉතිරිය මාළු වෙළෙන්දන්ට විකුණන්නේ ඉන්පසුවය. දැල ඇදපු අයට ලැබෙන්නේ හොද්දක් කන්නටය. කෙසේ වෙතත් ඔවුන් තම කොටස ගෙදර ගෙන්නේ සතුටින් ඉපිළෙමිනි.
අද මාදැලට යහමින් මාළු අසුවී ඇති මාළු ටික මුදල් කිරීම වෙන්දේසි කිරීමකි. මාළු අලෙවි කිරීමද මාදැලේ හිමිකරැට අවශ්‍ය පරිදි කළ නොහැකිය. ඒ සඳහා මාදැල වට කරන්නා නැතහොත් මරක්‌කලහේගේ ඇතුළු පිරිසගේ එකඟත්වය ලබාගත යුතුය. ඒ සියලුදෙනාගේ එකඟත්වයෙන් මාළු අලෙවිය සිදුකරන්නේ මාදැලේ හිමිකරුවාය. මාළු වෙළෙන්දෝද ගැනුම්කරුවෝද එකම පොරයකි. මාදැලේ මාළු හරි රස බව වෙරළකරයේ මිනිස්සු දනිති. පණපිටින්ම මාළු ගැනීම නිසා මාදැලේ මාළු වලට හොඳ ඉල්ලුමක් ඇත. මාදැලේ මඩියට හසුවන හාල්මැස්‌සෝ, තොණ්ඩයා, බෝල්ලෝ, පැන්නෝ, කාරල්ලෝ වැනි මාළු දැලෙන් බේරා සුදු වැල්ලේ ගොඩගැසීම වෙනමම කාර්යයකි. ඇතැම් පළාත්වල ගැහැනුන්ද මේ රාජකාරිට එක්වෙති.
මාදැල්කරුවෝ මත්ස්‍ය අස්‌වැන්න සරු දිනවල විසල් ලාභයක් ලබති. මාදැලේ සියලු මාළු විකිණීමෙන් පසු ධීවර කර්මාන්තයේ සුපුරුදු පංගු පේරුවට ලාභ බෙදෙයි. මාදැලේ ඇත්තේ අපූරු ක්‍රමයකි. ලැබෙන ආදායමෙන් සියයට තිහක් පමණ බෙදීයන්නේ ගැනියන්ටය. ගැනියන් යනුවෙන් හඳුන්වන්නේ දැල් ඇදීමට සහාය වූ පිරිසය. ඉතිරි කොටස පහට බෙදන අතර ඉන් පහෙන් දෙකක් මාදැලේ අයිතිකරු සතුවේ. ඉතිරි පහෙන් තුන මරක්‌කලහේ ඇතුළු කල්ලිකරුවන් නමින් හඳුන්වන පිරිස අතර බෙදී යයි. මරක්කලහේගේ නයකත්වයෙන් දැල මෙහෙය වූ පිරිස කල්ලිකරුවන් ලෙසින් හැඳින්වේ. කෙසේ නමුත් අවසානයේදී මාදැල අලුත්වැඩියා කිරීමද පැවරෙන්නේ මේ පිරිසටය.
අප ඔබට කීවේ මාදැල් කතාව කීවේ සරලවය. එය ඉතා සංකීර්ණ කාර්යයක් වන අතර එහි එකින් එක කාර්යය පැහැදිලියි කිරීම සංකීර්ණය. කෙසේ නමුත් අද වනවිට මාදැල් කර්මාන්තයට අලුත් අලුත් දෑ එක්ව තිබේ. දැල ගොඩට අදින්නට ට‍්‍රැක්ටර් යොදාගැනීම එවැන්නකි. නමුත් මෙය අතිශයින්ම මිනිස් අතින් සීරුමාරුවට කළ යුතු කාර්යයක් බව කිවයුතුය. දැල් අදින්නන් සොයාගැනීමද දුෂ්කර වී තිබේ. පංගු ලබාදීමට කුලියක් ලබාදීම දක්වා අද මේ කටයුතු විකසනය වී ඇත. අතීතයේ තිබූ සාමුහිකත්වයේ විචිත්‍රය දැන් ක්‍රමයෙන් මැකීයමින් පවතී. තවත් නීත්‍යානුකූල නවීන පන්න ක්‍රම මාදැලේ අනාගතය අභියෝගයට ලක්කර ඇතිබව වෙසෙසින්ම කිව යුතුය.
සිරිලක ඉපැරැණිම පන්න ක්‍රමයක් වන මාදැල් පන්න ක්‍රමය වර්තමානයේ අභාවයට යන බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. අනාගත පරම්පරාවට මේ පිළිබඳ පොත පතින් පමණක් දැනගන්නට වන දිනය වැඩි ඈතක නැත.
► චමිඳු නිසල් ද සිල්වා