2019 ජුනි 08 වන සෙනසුරාදා

කරළිය හෙල්ලූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීම

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරු ඉල්ලා අස්වූහ. රතන හිමියන්ගේ උපවාසය නිමා වූ පසුගිය සඳුදා දින මෙය සිදුවීම විය. කරුණු දැක්වීම් රැසක් මේ අරභයා මුස්ලිම් ජනතා නියෝජිතයන් සිදුකරනු ලැබුවද මෙරට බහුතරයකට ඉහත සිදුවීම තවමත් උභතෝකෝටිකයකි. ‘දේශය’ අද විමසා බලන්නට සූදානම් වන්නේ මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම දක්වා අභ්‍යන්තරිකව සිදුවූ ක්‍රියාවලියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ ගොඩනැගුණු මුස්ලිම් විරෝධය ප්‍රබලය. මුස්ලිම් දේශපාලන අධිකාරියේ කිහිප දෙනකුටද මේ සමඟ චෝදනා එල්ල වන්නට විය. රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට ප්‍රබල විරෝධයක් එල්ල වූ අතර ඒකාබද්ධ විපක්ෂය ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් භාරදුන්නේ ඒ අනුවය. විශ්වාසභංගයට පමාවී දින ලැබුණේය. විශ්වාසභංගය වෙනුවෙන් කටයුතු කරමින් සිටි රතන හිමියෝ උපවාසයකට එළැඹුණහ. මේ සමඟම මුස්ලිම් දේශපාලන අධිකාරියට එල්ලවන චෝදනා මෙන්ම පීඩනය ද තීව්‍ර විය. මෙය අප බොහෝ දෙනා දන්නා කරුණකි.

මේ අතරේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් සියල්ලෝම රහසේ එක තැනකට ගොනුවන්නට වූහ. ඊට නායකත්වය දුන්නේ රවුෆ් හකීම් ඇමැතිවරයාය. ඇතිවෙමින් පවතින තත්ත්වයට සාමූහිකව මුහුණ දිය යුතු බව බොහෝ දෙනකුගේ අදහස විය. මේ සඳහා හමුවී සාකච්ඡා කිරීමට ඔවුහු තීරණය කළහ. ප්‍රධාන ස්ථාන දෙකක් තෝරාගෙන තිබිණි. ඒ මුස්ලිම් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨතමයන් වන ඒ.එච්.එම්. ෆවුසි හා අබ්දුල් හලීම් අමාත්‍යවරුන්ගේ නිවෙස්ය. සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණි. මෙහිදී සාකච්ඡා වුණු කරුණු පිළිබඳවද යම් පමණකට තොරතුරු පවතී.

තමන් ඇතුළු පිරිසට එල්ලවන චෝදනාවලදී ආණ්ඩුවේ ඇතැමුන් මුනිවත රැකීම සහ ඒවාට පාර්ශ්විකව කතා කිරීම ඔවුනට ගැටලුවක් වී තිබිණි. මාධ්‍ය මගින් දිගින් දිගටම මුස්ලිම්වරුන් සම්බන්ධ පුවත් පළවීම සහ ඒ හරහා සිංහල සමාජය තුළ නිර්මාණය වන මුස්ලිම් විරෝධය පිළිබඳව මෙහිදී ඔවුන් සාකච්ඡා කර තිබේ. ඒකාබද්ධය ඇතුළු බලවේගවල ක්‍රියාකාරීත්වය සහ අනාගත බලපෑම පිළිබඳවද කරුණු පුළුල් ලෙස කතා කළ බව කියැවේ. මේ අනුව පළමු අදියරේදී ඔවුහු ජනපති, අගමැති සමඟ සාකච්ඡා කරා එළැඹුණහ.

ජනපති හමුවට යන මුස්ලිම් දේශපාලකයන් තම දුක් ගැනවිල්ල කියා සිටින්නේ ඒ අනුවය. මෙහිදී කඩු,  සී.ඩී., ඇඳුම් ආදිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බොහෝ මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව ඔවුන්ගේ අදහස වී තිබේ. පොලිස්පතිවරයා හරහා මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයා පොලිස්පතිවරයා ඇමතූ නමුත් මෙම පිරිස බලාපොරොත්තු වූ තරම් දෙයක් මෙහිදී සිදු නොවීය. අගමැතිවරයා ද කිහිප  විටකදී පෞද්ගලික මෙන්ම සාමූහිකව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පිරිස කටයුතු කළ බව කියැවේ. නීතිය සහ සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතීමත් පොලිස්පතිවරයා අගමැතිවරයාගේ කැඳවීම්වලට නොපැමිණීමත් හරහා එතැන වෙනම අර්බුදයක් පැවතිණ. සියලු උත්සාහයන් සාර්ථක නොවන තත්ත්වයක් උදාවී ඇති බව ඔවුනට අවබෝධ වන්නට විය. දිනෙන් දින සිදුවෙමින් පවතින සෑම ක්‍රියාවක්ම සිය පැවැත්මට අයෝග්‍ය බව කාටත් වැටහුණි. තවදුරටත් සාකච්ඡා පැවැත්විණ.

තොරතුරු දැනගන්නට ලැබෙන පරිදි හකීම් ඇමැතිවරයා සාකච්ඡාවලදී පෙන්වා දී ඇත්තේ මුස්ලිම් දේශපාලකයන් කෙරෙහි මුස්ලිම් ජනතාවගේද විශ්වාසය බිඳවැටෙමින් පවතින බවය. එසේ වුවහොත් ඉදිරි මැතිවරණයකදී සිදුවිය හැකි බිඳවැටීම ද ඔවුන්ගේ අවධානයට ලක්ව තිබේ. එහෙත් එවැන්නක් සාකච්ඡා කළ බවට පිළිගැනීමට ඔවුහු මැලි වෙති. රතන හිමියන්ගේ උපවාසය හරහා මතුවන සමාජ බලපෑම ක්‍රමිකව උත්සන්න වූයෙන් අවසාන විසඳුමක් කරා යාමේ අවශ්‍යතාව උත්සන්න විය. තාවකාලිකව ඉල්ලා අස්වීමක් විනා වෙනත් මගක් නැති බවට අදහස් මතු විය. බදුයුදීන්ට විරුද්ධව විශ්වාසභංගය තවදුරටත් තනිව ගැනෙන ප්‍රශ්නක් නොවූ අතර එහි අනාගතය සියල්ලටම බලපෑම් කරනු ඇති බව පිරිසට අවබෝධ වී තිබිණි.

ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන දින උදෑසන පිරිස නැවතත් හමුවූයේ අවසාන තීරණයක් ගැනීම වෙනුවෙනි. මේ සඳහා මුස්ලිම් සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. තත්ත්වය ඉතා භයානක බවත් 83 දී ඇතිවූවා වැනි තත්ත්වයක් උද්ගත වන්නට ඉඩ තිබෙන බවත් මෙහිදී පිරිස අදහස් කළ බව කියැවේ. රතන හිමියන්ගේ තත්ත්වය, දහවල් දොළහ වනතුරු කල් ලබාදීම, තැන තැන මතුවන විරෝධතා රැස්වීම් පෙළපාලිවලට හදිසි නීතිය යටතේ රජය පියවර නොගැනීම ඔවුන්ගේ අවධානයට විවේචනයට ලක්විය. ඒ අනුව ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පරීක්ෂණයක් සිදුකර නිමවනතුරු තනතුර භාර නොගැනීමට යෝජනා ස්ථිර විය.

එදින දහවල් එකොළහයි තිහට පමණ මුස්ලිම් මැති ඇමැති පිරිස අරලියහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. තීරණය දැනුම් දුන් විට අගමැතිවරයා ඉල්ලා අස්නොවන ලෙස පෙරළා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම අවස්ථාව වනවිට ඇමැති මංගල සමරවීර සහ ඇමැති මලික් සමරවික්‍රම යන අයද අරලියගහ මැඳුරේ රැඳී සිටියහ. ඔවුන්ගේ ද ඉල්ලීම වූයේ අගමැතිවරයාගේ ඉල්ලීමයි. නමුත් මුස්ලිම් ඇමැතිවරු කරුණු පැහැදිලි කරන්නට වූහ. තනතුරු දරා සිටීමෙන් තවදුරටත් ඵලක් නොවන බවත් රජය පැත්තෙන්ද මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවත් ඔවුහු පැහැදිලි කළහ. එමෙන්ම දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණොත් 83 දී සිදුවූවා වැනි සිදුවීමක් සිදුවීමට ඉඩ ඇති බව ඔවුන්ගේ මතය විය. එදින රට තුළ ඇතිවෙමින් තිබූ තත්ත්වය හරහා ඔවුහු මෙම මතය තහවුරු කරන්නට උත්සාහ දැරූහ. අවසානයේ පරීක්ෂණ නිමවනතුරු පිරිස ඉල්ලා අස්වන බව අගමැතිවරයාට තහවුරු කොට කියා සිටියහ.

සවස හතරට අග්‍රාමාත්‍යවරයා හමුවීමට නැවතත් ඔවුන්ට අවකාශ සැලසුණි. ඒ එදින කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ බැවිණි. මෙහිදී ඇමැති හකීම්, බදුයුදීන් රැස්ව සිටි ඇමැතිවරුන් පිරිසට තම තීරණය දැනුම් දුන්හ. ආණ්ඩුවේ ඇමැතිවරුන් පවා තමන්ව ආරක්ෂා නොකරන බව ඔවුහු චෝදනාත්මකව පැවසූහ. 2018 ඔක්තෝබර් 26 බල පෙරුළියට උදව් නොකිරීම නිසා ඒකාබද්ධය මෙලෙස තම පිරිසට පහර එල්ල කරන බව ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කළහ. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසා සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයකු වන තමන් දින 52 ආණ්ඩු පෙරැළිය කාලය තුළ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවී සිටි බවයි. එහෙත් අද තමන්ට පහර එල්ලවන විට කිසිවකු ඊට පිළිතුරු නොදෙන බවත් තමන්ටම ඒවාට පිළිතුරු දීමට සිදුවී ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. මේ ආදී ලෙසින් සංවාදය ඉදිරියට ඇදුණි. මේ මොහොතේ ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටි නිහඬතාවය පොදුවේ ඔවුන්ගේ විවේචනයට ලක්විය.

ඉන්පසුව ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු මුස්ලිම් ජාතික මැති ඇමැතිවරු අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවට එක්වූහ. එහිදී ඔවුහු සිය තීරණය ප්‍රකාශයට පත් කළහ. මේ වනවිට රතන හිමියන්ගේ උපවාසය නිමා වී තිබිණි. අසාද් සාලී සහ හිස්බුල්ලා ද සිය ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කළහ. මාධ්‍ය සාකච්ඡාවේදී මුස්ලිම් ඇමැතිවරැන් අදහස් දැක්වූ අතර රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් හා කබීර් හෂීම් ප්‍රධාන විය. රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කර ගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසීය. කෙසේ නමුත් මේ කතාවේ එක් පරිච්ඡේදයක් එසේ නිමාවට පත් විය.

ඉන්පසුව අද දක්වා ගෙවුණු දින කිහිපයේ මීට සම්බන්ධ විවිධ පුවත් වාර්තා විය. මහා සංඝරත්නය නැවත තනතුරු භාරගන්නා ලෙස මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියහ. ඒකාබද්ධය ඇතුළු පිරිස් සියල්ලන්ම ඉවත්වීම පිළිබඳ විශ්මයාර්ථයෙන් මෙන්ම විවේචනාත්මකව අදහස් දැක්වූහ. මේ අතර ඉල්ලා අස්වීමේ ලිපි නිසි පරිදි භාරදී නොමැති බවට ද පුවත් පළ විය. විධිමත්ව එම කටයුතු සිදුවන බව ඉවත් වූ පිරිස ප්‍රකාශ කළහ. කෙසේ නමුත් මෙය තාවකාලික ඉවත් වීමක් වන බව මුස්ලිම් දේශපාලකයෝ ප්‍රකාශ කළහ. විධිමත්  පරීක්ෂණයකින් පසු ඔවුන් නැවත තනතුරු භාරගන්නා බව පවසා තිබේ. මේ ඉල්ලා අස්වීම් නිසා නිදහසෙන් පසු ප්‍රථමවරට මුස්ලිම් කැබිනට් ඇමැතිවරුන් නොමැති කැබිනට්ටුවක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

► චමිඳු නිසල් ද සිල්වා