ගොකරැල්ල පොල්ගොල්ල පිරිවෙණේ සංගීතාචාර්යවරයා ඔහුය. ඒ ඩැනිස්ටර් පෙරේරා. රටේ බොහෝ දෙනෙක් ඩැනිස්ටර්ව දන්නේ නමින් නොවේ. ඔහුගේ සංගීත නිර්මාණවලිනි. අමරසිරි පීරිස් ගයන හන්තානට පායන සඳ, මගේ පුංචි රෝස මලේ, උදම් රළ ඇතුළු ගීත රැසක් ඔහුගේ සංගීත රටාවෙන් හැඩගැන්වී ඇත. සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, සමිතා එරන්දතී, ශෂිකා නිසංසලා, අතුල අධිකාරි ඇතුළු ගායක ගායිකාවන් රැසකට ඔහු සංගීතය නිර්මාණය කර තිබේ. පසුගිය රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මානය ලැබුණේ ඔහුගේ නිර්මාණයක් වන සත්පත්තිනි ටෙලිනාට්‍යයේ තේමා ගීතයටයි. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංගමය මගින් සරෝරුහ සම්මානයද ඔහුට පසුගියදා පිරිනැමිණි.
අද පවතින වාතාවරණය යටතේ සංගීත නිර්මාණකරුවන් සහ ගායක ගායිකාවන් පසුබෑමකට ලක්වෙලා සිටිනවා. හොඳ නිර්මාණ බිහිකිරීමට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ලොකු වියදමක් දරා ගීතයක් නිර්මාණය කළත් ඉන් ලැබෙන ප්‍රතිඵලය අඩුයි, මාධ්‍යවල ගීත ප්‍රචාරය කර ගැනීමට තිබෙන අපහසුතාවය නිසා. ඩැනිස්ටර් කතාබහ අරඹමින් අප සමඟ පැවසුවේය.
දැන් අපට ඇසීමට ලැබෙන බහුතරයක් ගීතවල අර්ථයක් දැකීම අසීරුයි?
ඔව්. ගීත කලාවේ අතරමංවූ ස්වභාවයක් තිබෙනවා. මම නම් මූලිකව දකින්නේ පද රචනාවල ගැටලුව එයට ප්‍රධාන හේතුව ලෙසයි. සමාජයට යහපත් පණිවුඩයක් ලබාදෙන ගීත අහන්න ලැබෙන්නේ කලාතුරකින්. අර්ථාන්විත පද රචනා දුලබයි. ඒ වගේම ප්‍රවීණයොත් නිර්මාණ බිහි නොකර පස්ස ගහලා ඉන්නවා.
අද වැඩිපුර අහන්න ලැබෙන්නේ ප්‍රේම විලාප නේද?
ඒක ඇත්ත. පදරචකයෝ බහුලව ලියන්නේ ප්‍රේම විලාප. අඳෝනා.
ප්‍රවීණ පද රචකයන් පවා අද නිහඬයි?
හොඳ සාහිත්‍යමය ගුණයකින් යුත් ගීතවලට ඉල්ලුම අඩුවෙලා. හොඳ ගීතයක අර්ථය වටහා ගැනීමට වැඩි දෙනකුට බැහැ. මේ නිසා එවැනි ගීත ලියැවෙන්නෙත් නැහැ. ගීතයක ගැඹුර ගැන හිතන්න ඥානයක් නැහැ. මේ නිසා සරල මතුපිට අරුත් දනවන ගීතවලට තමයි තරුණ පෙළ කැමති. ඒ නිසයි, ප්‍රවීණ ගීත රචකයන් නිහඬව සිටින්නේ.
සංගීත ගුරුවරයෙක් විදිහට ඔබ සිසුන්ට මේ ගැන අවබෝධ කර දෙනවද?
මම පෞද්ගලිකව සිසුන් තුළ හොඳ රසඥතාවක් ඇති කිරීමට මහන්සි ගන්නවා. යම් පිරිස් උසස් සංගීතයට කැමැතියි. සමාජ ජාලවලින් පවා අලුත් සංගීත නිර්මාණ අහලා අපගෙන් ඒවා මොනවද කියලා විමසනවා. එවිට අපට දෙන්න උත්තරත් නැහැ.
බාල රසිකත්වය වර්ධනය කරන්නේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නේද?
විද්‍යුත් මාධ්‍ය රටට යම් දෙයක් කිරීමට උත්සාහ කළ යුතුයි. එතැනදී යම්කිසි ප්‍රමිතියක් නිර්මාණය විය යුතු බව මගේ අදහසයි.
එදා ගුවන් විදුලි මාධ්‍යය පමණක් තිබෙන විට විශිෂ්ට ගීත රැසක් බිහිවුණා. අද එවැනි පසුබිමක් නෑ නේද?
විශිෂ්ඨ ගීත කලාතුරකින් බිහිවෙනවා. නමුත් ඒවා ජනතාව අතරට යාමට මාධ්‍යවලින් ප්‍රචාරය වෙන්නෙ නැහැ. ප්‍රවීණයන් තම ගීත සඳහා නාලිකාවලට මුදල් ගෙවලා නැවත ප්‍රචාරය කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. එහෙම අවශ්‍යයත් නැහැ. මාධ්‍යවලින් නිතර ප්‍රචාරය වන්නේ ඉහළ රසිකත්වයක් ඇති කරන නිර්මාණ නොවෙයි. ඒකට හේතුව නම් අපට තේරැම් ගන්න අමාරුයි.
අද ප්‍රවීණ ගායකයන්ට පවා ගීත ප්‍රචාරය කරවා ගැනීමට එෆ්එම් නාලිකාවලට පගාව දීමට සිදුවෙලා?
ඒක ඇත්ත. ඒක තමයි ප්‍රශ්නය. එවැනි හේතුවක් නිර්මාණය වුණේ කොහොමද කියලා හිතාගන්න අමාරැයි. පසුගිය කාලයේ අපගේ ගීත ප්‍රචාරය වූ විට මාස කිහිපයකට සැරයක් සුළු ගෙවීමක් ලැබුණා. දැන් නම් එහෙම මුදල් එවන්නෙත් නැහැ.
නමුත් අනුන්ගේ ගීත රියැලිටි ෂෝවල කියලා දවසින් ජනප්‍රිය වන ගායකයන්ට හොඳ ඉල්ලුමක් තියෙනවනෙ?
ඔව්. ඒක තවත් ප්‍රශ්නයක්. ගායන හැකියාවේ යම් දක්ෂතාවයක් ඔවුන්ට ඇති. නමුත් එයින් වන්නේ මුල් ගීතයේ අයිතිකරැවාට විශාල අසාධාරණයක් වීමයි. මෙවැනි වැඩසටහන්වලට අලුත් ගීත යොදාගත යුතුයි. නවක ගායකයන් ප්‍රවීණයන්ගේ ගීත අනවසරයෙන් සංගීත ප්‍රසංගවල ගායනා කරනවා. නඩු දාගන්නවා. මේක කලාවට නොගැළපෙන දෙයක්. මේවා රියැලිටි කලාවත් සමඟ සිටින ආයතන දැනගත යුතුයි.
සංගීතයේ පිබිදීමක් සඳහා කළ යුත්තේ කුමක්ද?
අපට විශිෂ්ඨ සංගීතඥයන්, ගායක ගායිකාවන් ඉන්නවා. මේ පරිසරය නිසා ඔවුන් නිද්‍රාශීලී පිළිවෙතක සිටින්නේ. මම නම් කියන්නේ ඔවුන් අවදිකර සජීවී බවට පත්කළ යුතු බවයි. ඒකට රජය විසින් පවා නිර්මාණ සංරක්ෂණ ක්‍රමයක්, ඔවුන්ට ආදායමක් ලැබෙන ක්‍රමයන් ආරම්භ කළ යුතුයි.
ප්‍රේක්ෂක