2017 මාර්තු 04 වන සෙනසුරාදා

මහත්තයා නැතිවුණා කියලා දන්නේ ප්‍රවෘත්ති ඇහැව්වට පස්සෙ

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

 

මගේ දරු පැටව් දෙන්නා තාත්තා ඉල්ලලා අඬා වැටෙනවා. මම කොහොමද දෙයියනේ මගේ දරුවන්ට තාත්තා ගෙනත් දෙන්නේ මේ දුක් අඳෝනාව අපට ඇසුණේ පසුගිය 26 වැනිදා මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ මියගිය මැදිරිගිරිය දයාරත්න මහතාගේ නිවසෙනි.  පසුගියදා මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ ගල් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගියේ තවත් වටිනා ජීවිත දෙකක් අපට අහිමි කරමිනි.

වෙනදා මෙන්ම සුපුරුදු ලෙස මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ සේවයේ නිරත වන්නන්ට අනතුරක සේයාවක්වත් නොදැනිණි. නමුත් තම සේවා ස්ථානයේ ඇති අඩි 300ක පමණ උසින් යුතු නිසොල්මන් ගල්කන්ද දෙදෙනකුගේ ජීවිත අහිමි කරනු ඇතැයි ඔවුන් සිහිනෙකින්වත් සිතන්නට නැත.

පසුගිය 26 වැනිදා සිදුවූ මෙම අනතුරින් වාරි ව්‍යාපෘතියේ සේවයේ නියැළී සිටි බැකෝ රථ රියදුරෙක් සහ බැකෝ යන්ත්‍ර අලුත්වැඩියාවට පැමිණි කාර්මිකයෙක්ද මියගියහ. වැඩකරමින් සිටි කම්කරුවන් යටකරමින් විශාල ගල්කුට්ටි 100ක් පමණ කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බැකෝ රථයේ සේවය කරමින් සිටි පුද්ගලයා එතැනම මියගිය අතර බැකෝ යන්ත්‍රය අලුත්වැඩියාවට පැමිණි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය. එම ව්‍යාපෘතියෙහි ගල් කැඩීමේ නිරතව සිටි දාස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම ගල්කන්දට සිරවී සිටි අතර, එදින මධ්‍යහ්න 12 පමණ වනතුරු ඔහුගේ දිවි සුරකීමට මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරක්ෂක අංශ, පොලිසිය සහ ප්‍රදේශවාසීන්ට කළුගල් සමග සටන් වැදීමට සිදුවූයේ එම අනතුරෙහි බරපතළකම විදහාපාමිනි.

26 වැනිදා උදෑසන සිටම මෙම අනතුරට පත් වූ සේවකයන් මුදාගැනීමට මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ ආරක්ෂක අංශ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයකින් යුතුව කටයුතු කළහ. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ යුදහමුදා කණ්ඩායම් 4ක් පමණ මෙම ස්ථානයට පැමිණ මෙහෙයුම් දියත් කළේ අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහාය. 

මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කෙරුණු මැටිහක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 හැවිරිදි නිශාන් ජයරත්න පසුගියදා රෝහලේ සිටම මෙම තත්ත්වය විස්තර කරනු ලැබුවේ මහත් කම්පනයෙන් යුතුවය.

අපි තුන් දෙනෙක් එකතැන වැඩකරමින් හිටියේ. එකපාරටම කන්ද කඩාගෙන වැටුණා. අපිට මොකද කරන්නේ කියලා හිතාගන්නවත් බැරිවුණා. සිහිය එනවිට මම හිටියේ රෝහලේ යැයි ඔහු පැවසීය.

අනතුරින් මියගිය බැකෝරථ කාර්මික ශිල්පි එම්.එම්. සුසිත ප්‍රියංකරගේ බිරිය වන ලක්මිණී ප්‍රදීපිකා මෙලෙස අදහස් දැක්වූවාය.

මගේ මහත්තයා නැතිවුණා කියලා මම දන්නේ රාත්‍රී ප්‍රවෘත්තිවලට කිව්වට පස්සේ. එතකම් මම හිතන් හිටියේ එයාට අමාරු නැහැ කියලා. කවුරුත්ම මට කිව්වේ නැහැ එයා නැතිවෙලා කියලා. වෙනද වගේම මහත්තයා උදේ 6.00ට තමයි වැඩට ගියේ. අම්මට දෙන්න කියලා කෑම එකකුත් අරන් තමයි එයා ගියේ. උදේ 9.00ට විතර මිනිස්සු කතාවුණා කළුගඟ බැම්මක් කඩා වැටිලා කියලා. ඔක්කොම ඒ පැත්තට දිව්වා. මමත් ඒ පැත්තට දිව්වා. පස්සේ එතන හිටිය මිනිස්සු කිව්වා මහත්තයට තුවාල වෙලා ඉස්පිරිතාලේ අරන් ගියා, ඔයා ගෙදර යන්න කියලා. අපිට අවුරුදු 03 දුවෙක් ඉන්නවා. මහත්තයා වැඩට ගියේ අපිටම කියලා ගෙයක් හදාගන්න කියලා. මම හීනෙකින්වත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා.

අනතුර සිදුවූ අවස්ථාවේම මියගිය මැදිරිගිරිය ජී.පී.එස්. හන්දිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ඩී.ඩබ්ලිව්.ජී. දයාරත්න මහතාගේ බිරිය වන බී.ජී. විජිතා ප්‍රියංගනී මහත්මිය මෙසේ පැවසීය.

මගේ මහත්තයා කළුගඟ ජලාශයේ නැවතිලා වැඩ කරන්නේ. එයා හැමදාම උදේට මට කතා කරනවා. එදත් කතා කරලා කිව්වා දුවව පන්ති යවන්න කියලා. දුව මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. උදේ 10ට විතර අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා කළුගඟ ගල්කන්දක් කඩාගෙන වැටිලා කියලා ප්‍රවෘත්තිවලට කිව්වා කියලා. එතකොට තමයි මමත් දන්නේ. පස්සේ මම එයාට කෝල් ගත්තා ආන්සර් කළේ නැහැ. ටික වෙලාවකට පස්සේ තමයි පොලිසියේ කෙනෙක් කතා කරලා කිව්වේ අනතුරෙන් එයාට තුවාල වෙලා රෝහල් ගත කරලා ඉන්නේ කියලා. මම කවදාවත්ම හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. අපිට දරැවන් දෙන්නෙක් ඉන්නවා. පොඩි පුතාට තවම අවුරුද්දයි මාස 05යි. අපේ ගේ හදාගන්න තමයි මහත්තයා රෑ-දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළේ. මගේ දරැුපැටව් තාත්තට කතා කරනවා. මම කොහොමද දෙයියනේ මේ දරුවෝ දෙන්නට තාත්තා කෙනෙක් දෙන්නේ.

මෙම අනතුරින් මියගිය පුද්ගලයන් දෙදෙනාගේ නිවෙස්වලට මූලික වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ලබාදී ඇති අතර, එම පවුල්වලට තවත් වන්දි මුදල්, නිවාස දෙකක් සහ ඔවුන්ගේ බිරින්දෑවරියන්ට රැකියා දෙකක් ලබාදීමට නියමිත බවද මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් මීට පෙර පිපිරීමට ලක්ව ඇති ස්ථානයට කොන්ත්‍රාත්කාර චීන සමාගම පස් දමා වසා ඇති බවත්, මෙම ස්ථානයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් පැවතියද සමාගම් නිලධාරීන් සේවකයන්ට දිගටම සේවය කරන ලෙස දැනුම්දුන් බවත් සහ බලධාරීන්ගේ නොසැලකිල්ල මෙම අනතුරට හේතුව බවයි ප්‍රදේශවාසීහු පවසති.

 හසිත් අංජන