2017 මාර්තු 04 වන සෙනසුරාදා

දේපාලනයේ ජරා රණ්ඩු සාහිත්‍යයටත් අැවිත්

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 218

සුනේත්‍රා රාජකරුණානායක අප රටේ සම්මාන ගණනාවක් හිමිකර ගත් ලේඛිකාවකි. ඇගේ රිදී තිරංගනාවි නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ඊට පසු 2008 ස්වර්ණ පුස්තක සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය පොදු පුරුෂයා නවකතාවට හිමිවූ අතර 2011 දී කවිකඳුර නවකතාවට ද එම සම්මාන දෙකම හිමිවිය. මෙයට අමතරව ස්වර්ණ පුස්තක අවසන් වටයට ද ඇගේ නවකතා රාශියක් (2016 කොළඹයා සහ ෂැංහයියා ඇතුළුව) නිර්දේශ විය. මේ සුනේත්‍රා දේශය සමඟ තම සාහිත්‍ය අත්දැකීම් බෙදාහදා ගත් අයුරුයි.

ඔබේ අලුත්ම පොත ගැන කිව්වොත්?
කොළඹයා සහ ෂැංහයියා නවකතාවට පසුව මගේ පරිවර්තනයක් නිකුත් වුණා. සඳරුස් බැම්ම මගේ හිතවත් තායිලන්ත ලේඛකයකුගේ කෘතියක්. කවරේ ඇන්ඳෙත් මමමයි. ඊට පසු වියට්නාම් චාරිකාවකට ගියා. වියට්නාම් අත්දැකීම් එක්කර ලියූ වියට්නාමයට සෙනෙහසිනි කියන පොත ළඟදීම නිකුත් වේවි. ඊට අමතරව අලුත් කෙටිකතා පොතකුත් නිකුත් වීමට තිබෙනවා.

කොළඹයා සහ ෂැංහයියාට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?
ගිය අවුරුද්දේනේ පොත නිකුත් වුණේ. විචාර කිසිවක් නැතිව මුල් මුද්‍රණය මාසෙකින් ඉවර වුණා.

ඔබ දැන් වෘත්තීය ලේඛිකාවක් වෙලා?
ඔව්, දැන් ඒ තත්ත්වෙට පත්වෙලා. රාජ්‍ය නොවන සංවිධානවල විවිධ වැඩවලිනුත් ඈත්වෙලා ඉන්නේ. මම වඩාත් කැමති කිසිම උත්සවයකට නොයා ගෙදරට වී ලියන්නයි. මූලික වශයෙන් පොත්පත් තමයි මගේ ආදායම.

ඔබේ වෘත්තීය වගේම විනෝදාංශයත් ලේඛනයද?
ලිවීමට පොඩි කාලෙ ඉඳන්ම තිබුණ විශාල ආසාවක්. පළවෙනි පොත ගැහුවෙ කාර් එක විකුණලා. සඳුන්ගිර ගිනි ගනී නවකතාව. ඒක ඩී.ආර්. විජේවර්ධන සම්මානයට නිර්දේශ වුණා. ඒ නවකතාව කිසිම විචාරයක් නැතුව මාස තුනක් තුළ පිටපත් 2000ක් විකුනුණා. තවමත් මම කිසිම පොතකට උත්සවයක්වත් තියලා නැහැ.

මේ සමාජයේ වෘත්තීය ලේඛකයෙක් වීමට අපහසු බවයි, වැඩිදෙනෙක් පවසන්නේ?
මම නම් එහෙම පවසන්නේ නැහැ. මොකද මට නම් වෘත්තීය ලේඛිකාවක් ලෙස සිටීමට පුළුවන්. මගේ ජීවිතයේ සරල බවත් එයට බලපානවා ඇති. අපේ ගෙදර කවදාවත් උත්සව ගන්නෙ නැහැ. ඇඳුම් පැළඳුම් පවා සරලයි. ගෘහභාණ්ඩ පවා චාම්. මම ඉන්දියාවෙ ගියාට සාරියක්වත් අරගෙන නැහැ. ඒ නිසා පොත්වලින් ලැබෙන ආදායම ප්‍රමාණවත්.

ලංකාවේ සාහිත්‍ය සම්මාන කුලකයක් පවතින බවත් ඔබත් එහි ප්‍රධාන චරිතයක් බවත් සමහරු පවසනවා?
ඒකනම් මම දන්නෙ නැහැ. මම මුලින්ම පොත් ලිව්වෙ ස්වර්ණ පුස්තක සම්මාන පටන් ගන්නත් පෙරයි. මුලින්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණෙ මම ඉංග්‍රිසියෙන් ලියපු කෙටි කතාවකට. ඊට පසු රිදී තාරංගනාවි නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. ඒ කාලේ මම ලංකාවෙත් නෑ. සම්මාන ලැබුණු බව දන්නේ හිතවතුන් සුබපතන විටයි. සම්මාන නොලැබුණු කෙනෙක් හිතේ අමාරුවට ඔය කතාව කිව්ව වෙන්නත් පුළුවන්.

ඔය චෝදනාව ඔබට වැඩිපුර එල්ලවන්නේ ස්වර්ණ පුස්තක සම්මානය ඇරඹුණාට පසුවයි?
ස්වර්ණ පුස්තක මට දෙවරක් ලැබුණා. ඒ පොත් දෙකම අනෙක් සම්මාන උළෙල හැම එකකටම නිර්දේශ වුණා. ඒ දෙකටම රාජ්‍ය සාහිත්‍ය සම්මානත් හිමි වුණා. මට ඒක විස්මයක් වුණා. ඒකට හේතුව මම සම්ප්‍රදායික භාෂා රටාවෙන් ලියන්නෙ නැති නිසා. දැන් අවුරුදු ගාණක් තිස්සේ නන්දා මාලනීට, මාලනී ෆොන්සේකාට එකදිගට සම්මාන ලැබෙනවා. ඒ අයට කවුරුත් ඔය චෝදනා කරන්නෙ නැහැනේ. මම නම් හිතන්නේ සම්මාන නොලැබුණු අය හිතේ අමාරුවට තමයි ඔය කතාව කියන්නේ.

සම්මාන බලාපොරොත්තුවෙන් සිට නොලැබුණාම සම්මාන හිමිවූ ලේඛකයන්ට දොස් පැවරීම සාමාන්‍යයක් වෙලාද?
ඔව්, මම ඒවාට කැමති නෑ. සඳුන්ගිර ගිනි ගනියි නවකතාව ඉදිරිපත් කරපු වර්ෂයේ ඩී.ආර්. විජේවර්ධන සම්මානය හිමි වුණේ ජයතිලක කම්මැල්ලවීරට. මම ඔහුට සුභපැතුවා එයට පුවත්පත් හෝ වෙනත් මාධ්‍ය යොදාගෙන පහරදීමට කටයුතු සංවිධානය කළේ නැහැ. ඔය චෝදනා ගැන කලබලවෙලා වැඩක් නැහැ. අමරකීර්තිට, කිර්ති වැලිසරගේට ස්වර්ණ පුස්තක ලැබුණු විට මම සුභපැතුවා. ඒ ගැන සතුටු වුණා.

ඔබ පොත් දොරට වැඩීමේ උළෙලවලදීත් අපට දකින්න ලැබෙන්නේ නැහැ?
ඔය කියන හැම උත්සවයකට යාමට නම් ඒකට වෙනම කාලයක් ඕනෙනේ. වෙන වැඩක් නොකරන කෙනෙක් වෙන්න ඕනෑ. දැන් හුඟ දෙනෙක් පොත් දොරට වැඩීම්වලට යන්නේ අනුන්ගෙ මඟුල් ගෙදරට ගිහින් තමන්ගේ මඟුල් ගෙදරටත් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා බැණ බැණ හරි යනවා. මම එහෙම නොගියාම සමහරු වෛර බඳිනවා.

සම්මාන නිසා මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය බෙදිලද?
සම්මාන නිසා අපට අවුරැද්ද පුරාම දකින්න අහන්න ලැබෙන්නේ රණ්ඩු. දේශපාලනයේ තිබෙන ජරා රණ්ඩු සාහිත්‍යයටත් ඇවිත්. අපි නම් අපේ පාඩුවේ පොතක් ලියාගෙන ඉන්නවා. දැන් එහෙම ඉන්නත් බැරි සමාජයක්නෙ තියෙන්නේ. නිහඬව හිටියත් බණිනවා. මේ සම්මාන අරගලය නිසා අද සාහිත්‍ය ක්ෂේත්‍රයේ යාලුවෝ නැහැ වගේ. ද්වේශ සහගත කටයුතු නිසා සුහදව ආශ්‍රය කිරීමට බැරි තත්ත්වයක් උදාවෙලා.

ස්වර්ණ පුස්තක ඇතුළු සාහිත්‍ය සම්මාන නිසා අද නවකතා කලාව දියුණු වෙලාද?
ලොකු වර්ධනයක් තිබෙන බවක් පේන්නෙ නැහැ. නමුත් ලොකු වෙනසක් නවකතා ක්ෂේත්‍රයේ ඇතිවෙලා තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ලේඛකයන්ගේ යථාරූපී හරි හතරැස් නවකතාව අලුත් ආකෘති ඔස්සේ ඉදිරියට ගිහින්. සඳුන්ගිර ගිනි ගනී සහ රිදී තිරංගනාවි පොත්වලින් මම හතරුස් ආකෘතිය බින්දා. දැන් ප්‍රවීණයොත්, තරුණ ලේඛකයනුත් බිය නැතිව සම්මත ආකෘති බිඳ දමනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. හැබැයි ඒ නිසාම සම්මත ආකෘතියෙන් ලියන පොත් පහළ බවක් මම කියන්නේ නැහැ. ඒක තීරණය වන්නේ ඒ ඒ ලේඛක ලේඛිකාවන් තුළ තිබෙන කුසලතාව සහ දැක්ම මතයි.

අලුත් පරපුරේ ලේඛකයන් අතර කැපීපෙනෙන චරිත කව්ද?
මම කියවපු පොත් අතරින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, මංජුල වෙඩිවර්ධන වගේ තරුණයන් තුළ හොඳ ප්‍රතිභාවක් තිබෙනවා. ඔවුන්ට ලස්සනට ලියන්න පුළුවන්. මම හිතනවා අනාගතයේ ඒ අය අපි යම් තැනකට ආවානම් ඒ තැනත් පහුකරලා යාවි කියලා.

 කුසුම්සිරි  

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00